2018 වසරේ පෙබරවාරි මස මැද දිනයක පැවැත්වීමට අපේක්ෂිත පළාත් පාලන මැතිවරණය සඳහා සංවිධාන කටයුතු මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව මේ වනවිට යුහුසුළුව සිදුකරමින් සිටී. වසර දෙකක් තිස්සේ කල්යමින් පැවැති මෙම මැතිවරණය කවදා පැවැත්වේද යන්න පසුගිය සමයේ අවිනිශ්චිතව තිබුණු නමුත් මේ වනවිට සියලු බාධක අභිබවා මැතිවරණයට නාම යෝජනා කැඳවීම ආරම්භ වී තිබේ. මහනගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276කින් සමන්විත පළාත් පාලන ආයතන 341ක් සඳහා එකම දිනයක මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතී. කොට්ඨාස සහ මිශ්‍ර සමානුපාතික ක්‍රමය අනුව පැවැත්වෙන මෙම මැතිවරණය ජනතාවට අලුත්ම අත්දැකීමක් වන අතර මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමෙන් පසු පැවැත්වෙන මුල්ම මැතිවරණය මෙය වීමද සුවිශේෂ වේ.
මෙයට පෙර පළාත් පාලන ආයතන 336ක් සඳහා මන්ත්‍රීවරුන් 4486ක් පත්ව සිටි අතර මෙවර අයතන 341ක් වෙනුවෙන් පත්කර ගැනීමට අපේක්ෂිත මන්ත්‍රී සංඛ්‍යාව 8356කි. මෙය එකකට එකක් පමණක වැඩිවීමක් වන අතර පසුගිය මැතිවරණවලට වඩා වැඩිපුර ඡන්ද මධ්‍යස්ථාන පවත්වා ගැනීමට සහ නිලධාරීන් වැඩි කොටසක් රාජකාරී සඳහා යෙදවීම නිසා විශාල පරිශ්‍රමයක් දැරීමට මෙන්ම අති විශාල මුදලක් වැය කිරීමට ද සිදුව තිබේ. එසේම ප්‍රථම ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද සංඛ්‍යාව ගණන් කිරීමට සිදුවීම නිසා ද යෙදවිය යුතු සේවක සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. එසේම දිවයින පුරා එකම දිනක මැතිවරණ පැවැත්වීම නිසා ද රාජකාරි කටයුතු සඳහා නිලධාරීන් සංඛ්‍යාව වෙනදාට වඩා වැඩි කිරීමට සිදුව තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ මෙම මැතිවරණය සඳහා රුපියල් කෝටි 350ක් වැයවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති නමුත් එය කෝටි 400 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවය. මෙවර ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව පසුගිය මැතිවරණයට වඩා 150,000කින් පමණ ඉහළයාමද වියදම් වැඩිවීමට හේතුවී තිබේ. පසුගිය මැතිවරණයේ මුළු ඡන්ද දායක සංඛ්‍යාව 15,760,817ක් විය. එසේම මැතිවරණ මෙම වසරේ ජූනි මස පැවැත්වීමට සැලසුම්කර තිබුණ ද එය 2018 වසර දක්වා කල් යාමද වියදම ඉහළ යාමට හේතුවක් වී ඇති බව සභාපතිවරයා කියයි. එසේම එයින් 2/3 පමණ ප්‍රමාණයක් පළාත් පාලන මැතිවරණ සඳහා වැයවන නිසා 2018 වසරේ පැවැත්වීමට නියමිත පළාත් සභා ආදී වෙනත් මැතිවරණ සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුවට සිදුවනු ඇත.
කෙසේ වුව ද සෑම භාණ්ඩයකම සහ සේවාවකම මිල සීඝ්‍රයෙන් ඉහළ නගින සමයක මැතිවරණ වියදම් ඉහළ නොගොස් සිටියැයි යන්න පිළිගත නොහැකිය. ඒ නිසා බලාපොරොත්තු වැයට වඩා වැඩිපුර වියදම් කිරීමට සිදුවනු ඇත. නිතර නිතර මැතිවරණ පැවැත්වීම නිසා පසුගිය සමයේ විශාල වියදමක් දැරීමට සිදු වුවද ආදර්ශයක් වශයෙන් මෙවර පළාත් පාලන මැතිවරණ සියල්ලම එක දිගක පැවැත්වීමට හැකිවීම වැදගත් සිද්ධියක් බවද විශ්ලේෂකයෝ පවසති. එසේම සෙසු මැතිවරණද එකම දිනයක පැවැත්වීමේ අවශ්‍යතාව ඔවුහු පෙන්වා දෙති.
මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරී ඊ.ඒ.වීරසේන මහතා පවසන්නේ මැතිවරණය ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මිලියන 350 මුදලින් පිරිමසා ගැනීමට හැකිතරම් දුරට උත්සහ ගන්නා අතර අනවශ්‍ය අවස්ථාවලට මුහුණදීමට සිදුවුවහොත් පමණක් මෙයට අතිරේක වශයෙන් මුදල් ප්‍රතිපාදන වැය කරන බවය. ඔහු පවසන්නේ 2017 වසරේ මැද මැතිවරණය පැවැත්වේයැයි අපේක්ෂාවෙන් මෙම මුදල් ඇස්තමේන්තු කළද අනපේක්ෂිත ලෙස එය 2018 දක්වා කල්යාම නිසා මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බව කියයි.
මෙයට පෙර අවසන්වරට පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ 2011 වසරේදී වන අතර එය අදියර තුනකින් පැවැත්වීම නිසා වැය වූ මුදල රුපියල් මිලියන 2127කි. එම මැතිවරණය එකම දිනයක පැවැත්වූවානම් මෙම වියදම තවත් අඩුකර ගන්නට තිබූ බව මූල්‍ය නිලධාරීවරයා පවසයි. එසේ වුවද මෙසේ මැතිවරණය එකම දිනක පැවැත්වුවද මන්ත්‍රීවරුන් තේරීමේ ක්‍රමය අනුව සහ ඡන්ද ගණන් කිරීමේ ක්‍රමය අනුව 2011 වසරට වඩා සංකීර්ණ ක්‍රියාවලියක නිරතවීමට සිදුව තිබේ. ඒ නිසා වැයවන මුදල ඉහළ ගොස් ඇත.
“පසුගිය ඡන්දවල වියදම් ඡන්දයෙන් ඡන්දයට අඩු වැඩි වෙනවා. ජනාධිපතිවරණයක වියදම සාමාන්‍යයෙන් අඩුයි. එයට හේතුව එය එකම සරල ක්‍රමයකට මුළු දිවයිනේම පැවැත්වීමයි. පාර්ලිමේන්තු මැතිවරණ දිස්ත්‍රික් මට්ටමෙන් පැවැත්වීම සහ වෙනත් ක්‍රමය නිසා වියදම ඊට ටිකක් වැඩි වෙනවා. 2015 ජනවාරිවල පැවැත්වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයේ වියදම රුපියල් මිලියන 2975ක් වුණා. මේ පාර පළාත් පාලන මැතිවරණය මිලියන 2975ක් වුණා. මේ පාර පළාත් පාලන මැතිවරණය සඳහා ඇස්තමේන්තුව මිලියන 3500ක්. මෙය පෙර පැවැති මැතිවරණ සමඟ සංසන්දනය කළවිට බැලූ බැල්මට වැඩිවීමක් ඇති බව පෙනීයාම සත්‍යයයි. මෙවර මැතිවරණය ඡන්ද කොට්ඨාස මට්ටමෙන් කරන්නේ මුළු කොට්ඨාස සංඛ්‍යාව 4750ක් සහ මධ්‍යස්ථාන 14000කට අධිකයි. ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානවලයි කරන්නේ. මධ්‍යස්ථානවල හා ප්‍රධාන ගණනය කිරීමේ මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනයට මුදල් වැයකළ යුතුයි. වැඩිපුර කාර්ය මණ්ඩල යෙදිය යුතුයි. ඒ අයට ආහාර පාන හා පහසුකම් සැලසීම අවශ්‍ය වෙනවා.”
ඔහු පවසන්නේ මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඉතාම සංකීර්ණ බවයි. සභාවෙන් සභාවට වෙන වෙනම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ යුතුයි. ඒ සඳහා මුද්‍රණ වියදම් අධික වේ. එයට හේතුව ප්‍රභේද වැඩි වීමයි. ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් මුද්‍රණාල තෝරාගෙන කටයුතු කිරීමට සිදුව ඇත. රහස්‍ය කටයුතු රාජ්‍ය මුද්‍රණාලයෙන් කර ගන්නා අතර ඒ සඳහාද ගෙවීම් කළ යුතුය. එසේම මුළු ඡන්ද දායක සංඛ්‍යාව වන 15,910,817 අයට ඡන්ද දැන්වීම් කාඩ් තැපෑලෙන් යැවිය යුතුය. තැපෑලෙන් යැවීම සඳහා වන වියදම අධික වේ. තැපැල් ඡන්ද දායකයන් සඳහා තැපැල් ඡන්ද පාර්සල් යැවීමට එකක් සඳහා රුපියල් 110ක් පමණ වැය වෙයි. තැපැල් කටයුතු සඳහා මුළු වියදම මිලියන 300 පමණ වේයැයි ගණන් බලා තිබේ.
ප්‍රධාන මූල්‍ය නිලධාරී පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම මෙවර රාජ්‍ය නිලධාරීන් වැඩි වශයෙන් යොදා ගැනීමට සිදුවන අතර ඔවුන් සඳහා වැටුප්, අතිකාල සහ යැපීම් දීමනා ආදිය සඳහා ද වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති බවය. ලක්ෂ 3කට අධික සේවකයන් මැතිවරණ රාජකාරි සඳහා යොදවයි. 2016 හා 2017 වසරවල රාජ්‍ය සේවකයන්ට සිදුවූ වැටුප් වැඩිවීම නිසා ඔවුන්ට ගෙවන අතිකාල දීමනා, සංයුක්ත දීමනා සහ වැටුප්වලට සැලකිය යුතු මුදලක් වැඩිපුර ගෙවන්නට සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි. මේ සඳහා රුපියල් මිලියන 1750ක් වෙන්කර තිබේ. ලිපි ද්‍රව්‍ය හා මැතිවරණ භාණ්ඩ හා උපකරණ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 150ක් වේ. මැතිවරණ සමයට රජයේ වාහනවලට අමතරව පෞද්ගලික අංශයෙන්ද වෙනත් ආයතනවලින්ද වාහන කුලී පදනම මත ගැනීමට සිදුවේ. එසේම ඡන්ද ස්ථානාධිපතිවරුන්, තේරීම්භාර නිලධාරීන් ආදී විවිධ රාජ්‍ය සේවකයෝ මැතිවරණ රාජකාරි සඳහා තම තමන්ගේ පෞද්ගලික වාහන යොදා ගනිති. මෙවර එම වාහනවලට ගෙවීම් සඳහා රුපියල් මිලියන 250ක් ද ඉන්ධන සඳහා වැයකළ යුතුවේ.
එසේම වීරසේන මහතා පෙන්වා දෙන්නේ බොහෝ ඡන්ද මධ්‍යස්ථානවලට ගන්නා ගොඩනැගිල්ල විවිධ අඩුපාඩු තිබෙන බවය. ඒවා මැතිවරණ දිනට පෙර සකස් කළ යුතුවේ. මේ සඳහා රුපියල් මිලියන 85ක් මෙවර වෙන්කර තිබේ. ඡන්ද මධ්‍යස්ථානවල සේවය කරන නිලධාරීන්ට සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කාර්යාලවල අයට සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කාර්යාලවල අයට මෙන්ම මැතිවරණ කටයුතු සඳහා යොදවන සෑම නිලධාරියෙකුටම ආහාර පාන සැපයීම සාම්ප්‍රදායානුකූලව කෙරෙන්නකි. කෑම, බීම, තේ සහ සියලු සුබසාධන වියදම් සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වෙන්කර ඇත.
මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 275 – 300 පමණ මුදලක් වැය වේයැයි ගණන් බලා ඇත. ඡන්ද මධ්‍යස්ථානවලට හා සම්බන්ධ කාර්යාලවලට සේවය සඳහා යොදවන පොලිස් නිලධාරීන්ගේ දීමනා සහ අතිකාල ආදිය සඳහා වෙන්කර ඇති මුදල මිලියන 400 ක් වේ. ඡන්ද මධ්‍යස්ථානවලට සහ කාර්යාලවලට තාවකාලික ස්ථාන ද ඇතුළුව විදුලිය ජලය හා දුරකතන පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 400 ක් ඇස්තමේන්තු කර තිබේ.
මැතිවරණ සමයේ කොතරම් නීති පැනවුවද නීති විරෝධී ලෙස බැනර්, දැන්වීම්, පෝස්ටර්, කටවුට් ආදිය ප්‍රදර්ශනය කිරීම දිගටම සිදුවේ. මේ සඳහා අපේක්ෂකයන් හා පක්ෂ ද මුදල් වැයකර මඟ දෙපස මෙන්ම පොදු සහ පෞද්ගලික ස්ථානවල නීති විරෝධී ප්‍රදර්ශනය කිරීම් සිදුකෙරේ. මේ සඳහා වැයවන මුදල පිළිබඳ ඇස්තමේන්තු කර නොමැති වුවද මේවා ඉවත් කිරීම සම්පූර්ණයෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බවට පත්ව තිබේ. මේ සඳහා සේවකයන් සහ යන්ත්‍ර සූත්‍ර යොදවන අතර, දෙපාර්තමේන්තුව මගින් කළද, වෙනත් ආයතන මගින් ඉටුකළද මුදල් ගෙවීමට සිදුව ඇත්තේ තම දෙපාර්තමේන්තුවට බව මුල්‍ය නිලධාරීහු පවසති. මේ කාර්යය සඳහා රුපියල් මිලියන 60 ක් වෙන්කර තිබේ. කෙසේ වුවද මැතිවරණ කටයුතු සඳහා අතිරේක වශයෙන් සෑම අමාත්‍යාංශයක් හා දෙපාර්තමේන්තුවක් ද වැය කරන මුදල් මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිපූර්ණය කරනු ලැබේ. කොටස් වශයෙන් හෝ ලැබෙන අයැදුම්පත්‍ර අනුව හෝ එය සිදුකරයි.
මෙවර මැතිවරණ ක්‍රියාවලිය වෙනත් මැතිවරණවලට වඩා සංකීර්ණ වන නිසා ඡන්ද දායකයන් සහ අදාළ නිලධාරීන් මෙන්ම දේශපාලන පක්ෂ මෙන්ම ඡන්ද අපේක්ෂකයන්ද, මාධ්‍ය ද දැනුවත් කළ යුතු වේ. එම වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ කර ඇත. ඡන්ද දායකයන්ට මෙය අලුත් අත්දැකීමක් නිසා ඔවුන් දැනුවත් කරන වැඩමුළු දිස්ත්‍රික් මට්ටමින් හා මැතිවරණ කාර්යාල හරහා සිදුකෙරේ. ප්‍රජාමූල සංවිධානද දැනුවත් කරන අතර මෙම සම්මන්ත්‍රණ හා වැඩමුළු සඳහා වෙනදාට වඩා විශාල මුදලක් වැය කරන්නට සිදුව ඇති බව මුල්‍ය නිලධාරීවරයා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ කෙතරම් මුදල් අවම කිරීමට උත්සාහ කළද අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වැයකිරීම් නැවැත්විය නොහැකි බවය. කෙසේවුවද යහපත් කළමනාකරණයක් තුළින් අවම වියදමකින් සාර්ථකව මැතිවරණ රාජකාරි මෙහෙයවීමට කටයුතු යොදා තිබේ. එහෙත් මැතිවරණය සඳහා වියදම් වූ මුළු මුදල ගණනය කිරීම මැතිවරණය අවසන් වූ විගස කළ නොහැකි අතර විවිධ ආයතන හා කාර්යාලවලට ගෙවීම් සිදුකිරීමෙන් අනතුරැව සෑහෙන කාලයත් ගතවනු ඇත.
යසවර්ධන රුද්‍රිගූ