2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

එක උණ්ඩයයි තබ්බෝවේ ඇත් රාජා ඉවරයි!

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 192

තබ්බෝවේ තනි දළයා වෙඩිතබා ඝාතනය කර ඇති බවට වූ පුවත ලැව්ගින්නක් සේ පැතිරී යන්නට වූයේ පසුගිය මාසයේ විසිනව වැනිදාය. එසැණින් මතකයට නැගුණේ හයේ කණුව සෙල්ලන්කන්දල් රක්ෂිතයේ වාසය කරන තනි දළ ඇතා ද යන්නය. එහෙත් ඝාතනයට ලක් වී තිබුණේ දළ දෙකේ තරුණ වයසේ පසු වූ සද්දන්තයෙකි.

තනි දළයා ඝාතනය වන්නේ ඊට සති එකහමාරකට පසු දෙසැම්බර් මස (10) වැනිදාය. ඒ අතර කාලය තුළ 7 වැනිදා  එගොඩපිටිය පලීගම ප්‍රදේශයේ කෙනරක් වෙඩි ප්‍රහාරයකට ලක් වී බරපතළ තත්ත්වයේ සිටිය දී ප්‍රතිකාර ලබාදීම සිදුවිය. නවගත්තේගම තම්මැන්නාවැටිය ප්‍රදේශයේ තවත් වන අලියකු වෙඩිතබා ඝාතනය වන්නේ ඉන් දින දෙකකට පසුවය. දරුණු වන අලින් වෙනත් ප්‍රදේශවලට රැගෙන යාමට ද සිදුවී ඇත්තේ එම අලින්ගේ ජීවිතවලටද ඇති අනාරක්ෂිතභාවය නිසාවෙනි.

තබ්බෝව වැවේ වැටී සිටි ඇතා ඝාතනය කිරීමට ටී 56 ගිනි අවියක් යොදාගෙන ඇති බවට ද කතාවක් විය.
මේ සිදුවීම් නිසා 2014 වසරේ දී ඇත්දළ ජාවාරම්කරුවකුගේ ග්‍රහණයට ලක්වී ටී 56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කර ස්වයංක්‍රීය අත් කියතකින් දළ කපාගෙන ගොස් තිබියදී දින කිහිපයකට පසුව හමු වූ පලිගම ඇත් රජු යැයි නම් දැරූ වයස අවුරුදු විසිපහක් පමණ වූ අඩි අටහමාරක් පමණ උස දළ ඇතා පිළිබඳ මතකය යළි අවදිවිය.

අඩි තුනක් පමණ දිග අලංකාර වූ දළ යුගලක් මුව දරාගෙන එම ඇත් රජුට බොහෝ කාලයක් ලක් දෙරණ අලංකාරවත් කරමින් සිටින්නට අපරාධකරුවෝ ඉඩ නොදුන්හ. කරුවලගස්වැව සහ අවට ප්‍රදේශවල කොතරම් වන අලි සිටිය ද දැකුම්කළු අඩි හතරක් පමණ දිග වූ ඇත්දළ යුවළක් සහිතව ජීවත් වූ එකම දළ ඇතාද ජීවිතයෙන් සමුගෙන අවසන්ය. 2017.11.29 රැය පහන් වීමට පෙර ඩෙවික්කරුවකු විසින් එම අවසනාවන්ත මරණය සිදුකර ඇත.

ඇතාගේ දේහය තිබෙන ස්ථානය වසම භාර ග්‍රාම නිලධාරී ඕ.ඒ. සුනිල් මහතා “තබ්බෝව ඇත් රජාට වෙඩි තියලා තබ්බෝව වැවේ මැරිලා වැටිලා ඉන්නවා” යැයි පැවසුවේ දැඩි සිත් වේදනාවෙනි. කරුවලගස්වැව ප්‍රාදේශීය වැදුණු සභාව ඉදිරිපිට ඇති අයියනායක දේවාලය අසලින් වැවට යන මාර්ගය පිහිටා ඇත. එතැන් සිට මීටර 300 ක් පමණ ගොස් ඇතා වැටී සිටි ස්ථානයට යා යුතුව තිබුණි. වැස්සත් සමඟ පස බුරුල් වී වාහන යාමට නොහැකිව වනජීවී නිලධාරීන්ගේ වාහන එරී තිබුණ ද යතුරුපැදියෙන් එම ස්ථානයට ළඟාවීමට අපට හැකිවිය.

වනපෙත් සිසාරා ඇවිදිමින් ආහාර සොයාගෙන වසර විස්සකට ආසන්න කාලයක් ජීවත් වූ ඇතා තබ්බෝව වැව තුළ අවසන් හුස්ම හෙලා තිබුණේ නෙත ගැටෙන කාගෙත් හදවත් කම්පාවෙන ආකාරයෙනි. දකුණු පස දළ පමණක් පෙනීමට තිබුණ ද වම් දළ සම්පූර්ණම මහපොළොව යටට කිදාබැස තිබෙනු දක්නට ලැබුණි. දෑසේ කදුළු වැගිරී තිබුණි. දකුණු පාදයේ ඉහළම ප්‍රදේශයට වැදුණු වෙඩි සලකුණක් දර්ශනය විය.

වයඔ  වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමේදී ඇතාට වෙඩිතබා ඝාතනය කර ඇති බවට නිගමනය කළේ උණ්ඩයක් ඇතාගේ දේහයේ තිබී සොයාගැනීමෙන් පසුවය. කොටන තුවක්කුවකින් තබන ලද වෙඩිල්ලක් වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තරයට සිදු වූ ලේ වහනය වීම නිසා ඇතා මියගොස් ඇති බවට වෛද්‍යවරයා නිගමනය කළේ පැය කිහිපයක් කළ පරීක්ෂණකින් පසුවය. වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන බලපත්‍ර සහිත කොටන තුවක්කුවක් බව පොලීසියට තොරතුරු සොයාගෙන ඇත.

ඇතා අවසන් වරට ආහාරයට ගෙන තිබූ කැකිරි දිරවීමටත් පෙර ඇතා මියගොස් තිබුණි. ඝාතකයා සොයා මෙහෙයුම් සිදුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි හමුවිය. මේ ඝාතකයන් සොයා දඬුවම් ලබාදීමට නිලධාරීන්ට විශාල දායකත්වයක් ලබාදෙන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ඕ.ඒ. සුනිල් මහතාගේ දෑසින් කඳුළු වැටුණු අවස්ථා කිහිපයක් නෙත ගැටුණි. ඇතාගේ මරණයෙන් දැඩි සිත් වේදනාවට පත් වී සිටින ග්‍රාම නිලධාරීවරයකු අප දුටු පළමු අවස්ථාව එය විය.
ඇතැම් රාජ්‍ය නිලධාරීන් එක්ව ඇතුන් ඝාතනය කරන විට මෙවැනි ග්‍රාම නිලධාරීන් පැසසීමට ලක් කළ යුතුව ඇත. ඝාතකයා සෙවීමේ කටයුත්ත කරටගෙන තොරතුරු සොයමින් කටයුතු කරන්නේ ද ග්‍රාම නිලධාරීවරයාය. මේ වන විට එක් අයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දී ඇත. අත්අඩංගුවට පත් ඔහු ඝාතකයාම ද වෙනත් අයකු ද යන්න තවමත් නිසි තොරතුරක් නොමැත.

යන්තම් යොවුන් වියට පැමිණි මෙම දළ ඇතා තබ්බෝව ජනතාවට ආගන්තුකයෙක් නොවීය. තරුණ දළ ඇතකුගේ අවසන් ඉරණම මේ ආකාරයෙන් නිමවේ යැයි කිසිවකුත් නොසිතූහ. ඇතාගේ ඝාතනය සිදු වී දින දෙකක් ගතවෙන්නටත් පෙර වෙඩිවැදී බරපතළ තත්ත්වයේ පසු වූ කෙනරක් හමුවූයේ එගොඩපිටිය පලිගම ප්‍රදේශයෙනි. ප්‍රතිකාර කළද තත්ත්වය සුබදායී නොවන බව වෛද්‍යවරයාගේ නිගමනය විය.

ඉන් දින කිහිපයක් ගතවූ පසු තනි දළයා ඝාතනය විය. සිරුර පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂිතයේ තිබී හමුවූයේ දිනකට පසුවය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමේදී වෙඩිතබා ඇති උණ්ඩ ශරීරයේ තිබී හමුවුවද ඝාතනය කර ඇත්තේ විෂක් ශරීරගත කිරීමෙන් බව නිගමනය විය.

එදිනම තවත් අලියකු ඝාතනයට ලක් වී තිබුණේ නවගත්තේගම ප්‍රදේශයේ අභය භුමිය තුළ අලිවැට ආසන්නයේදීමය‍. දඩයම්කරුවකුගේ වෙඩි පහරවල් කිහිපයකින් එම ස්ථානයේම අලියා මියගොස් තිබුණි. අඩි දහයකට ආසන්න උසකින් යුත් මෙම හැඩිදැඩි අලියා ප්‍රදේශයේ සිටි විශාලතම වන අලියා බවට කා තුළත් කතාබහට ලක්විය.

ශ්‍රි ලංකාවේ වනාන්තර ආශ්‍රිතව දිවිගෙවන වන සතුන් මුහුණදෙන අවාසනාවන්ත ඉරණම යළි යළි සපථවෙමින් අලි ඇතුන්ගේ ජීවිත අහිමිවීමට පටන්ගෙන ඇත්තේ මෙලෙසිනි. නීතිය ප්‍රමාණවත් නොවීම තුළ මෙවැනි ඝාතකයන් පහසුවෙන් බේරීයනු ඇත. කෙසේ කීවද කෙසේ ලීවද මියගිය අලි ඇතුන්ට සාධාරණය ඉටුකිරීමට කිසිවකුට නොහැකි බව කිව යුතුය.

ගිනිඅවි අතදැරූ අයගේ මෙවැනි ක්‍රියාවලීන් කිසිම වන ජීවියකුගේ ඉරණම තීන්දු කිරීමට ඉඩ තැබිය යුතු නැත. තම තමන්ගේ යුතුකම් හා වගකීම් නිසියාකාරයෙන් ඉටුකරනවාද යන්න මහජන මුදලින් යැපෙන වගකිවයුතු අය සිතිය යුතු බව සිහිපත් කළ යුතුය. මෙම වන සතුන් ඝාතනය කරන්නේ ඇත්දළ ජාවාරම්කරුවන් නොව මස්වැද්දන් බව සිහිපත් කළ යුතුය.

වගකිව යුතු නිලධාරීන් බලධාරීන් නිහඬව බලාසිටින කල සොබාදහමේ මවටද නිහඬව බලාසිටීම හැර කළ යුතු යමක් නැත. මෙවැනි ඝාතකයන් සඳහා මරණීය දණ්ඩනය ලබාදිය යුතුමය. කරුවලගස්වැව ප්‍රදේශයේ තුවක්කු බලපත්‍ර ලබාදීම කුමන පදනම් මත සිදුවනවාද යන්න ගැටලුවකි. වන අලි ඝාතන පමණක් නොව, මිනිස් ඝාතන සඳහා ද බලපත්‍ර ගිනිඅවි භාවිත කිරීම් වාර්තා වී ඇත. එහෙත් මේ සඳහා ගත යුතු නිසි ක්‍රියාමාර්ග ගෙන තිබුණේ නම් අලි ඇතුන්ට සහ වෙනත් වන සතුන්ට තබ්බෝව අභය භූමිය තුළ නිදහසේ ජීවත් වීමට හැකිවනු ඇත.

අලි ඇතුන් රටේ සම්පතක් ලෙස සැලකුවද එම සම්පත ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළක් පෙනෙන මානයකවත් දකින්නට නොමැති බව කිව යුතුමය. අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල සිදුකරන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් වන අලින් ජීවත්වන වාසභූමිවලදීම ඝාතනයට ලක්වීම අසාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී ඇත.

වන අලි ගම්වැදීමට හේතු වී ඇති ප්‍රධානම හේතු සාධකය වන්නේ සතුන්ට අවශ්‍ය ආහාරපාන අභය භූමිය තුළ නොතිබීම සහ අලින්ගේ වාසභූමි අක්කර සිය ගණන් වගාවන් සඳහා ලබාදීමය. වන සතුන්ගේ වාසභූමි අහිමිකරමින් සිදුකරන මිනිස් ක්‍රියාකාරකම් නැවැත්වීම වෙනුවට රජය ඒ සඳහා දීර්ඝකාලීන බලපත්‍ර ලබාදීම ද සිදුකරමින් වනජීවී සම්පත සහ වන සම්පත විනාශ කිරීමට සහය ලබා දී ඇත.

අලින්ගේ ආහාරය සඳහා අවශ්‍ය තණබිම් ජල තටාක නිර්මාණය කිරීමට සැලසුම් සකස් කෙරුණද ඒවා ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව අපොහොසත් වීම අලි ඇතුන් ඝාතනයට තවත් එක් හේතුවක් වී ඇත.

සමාජයේ කතාබහට ලක්වී ඇති ආකාරයට මිනිසාට වඩා අලි ඇතුන්ට සැලකීමක් දැක්වීම විමතියට කරුණක් නොවේ. වන සතකුට වඩා සිතන්නට හැකි මිනිසා විසින්ම වන අලින්ට ඒ තැන ලබාදී ඇතිසේම මිනිසකු ඝාතනය කිරීමට එරෙහිව මරණීය දණ්ඩනය පවා ලබාදීමට නීතියේ ප්‍රතිපාදන ඇතිසේම වන අලියකු ඝාතනය කිරීමේදීද එම නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවන ආකාරයට නීති සම්පාදනය විය යුතු කාලය එළැඹ ඇත.

ගිනිඅවි රැගෙන වනාන්තරයට ඇතුළුවන දඩයම්කරුවන් කඳන් බැඳීම මෙන්ම සංචාරක දඩයම් කර්මාන්තයේ ද නිරතවෙමින් මුවා, ගෝනා, වල් ඌරා වැනි සතුන් ඝාතනය කර මසුරු සොයන්නේ නීති ක්‍රියාත්මක නොවීම තුළයි. මේ සඳහා වගකිවයුතු වන්නේ වනජීවී දෙපාර්තමේන්තුව පමණක් නොවේ. ගිනි අවි බලපත්‍ර උපයෝගී කරගනිමින් නීතිවිරෝධී ගිනි අවි සකස් කරගැනීම පහසු වී ඇත. බලපත්‍ර සහිත ගිනි අවි යොදාගනිමින් දඩයම් කිරීම සිදුකරන බවට තොරතුරු ඇත.

අලි ඇතුන් සංරක්ෂණය කිරීම මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සපයා ගත යුතුය. කෙසේ වෙතත් අවම පහසුකම් යටතේ ජීවිතය පරදුවට තබා වන අලි සම්පත රැකගැනීමට වෙහෙස දරන පහළ පෙළේ නිලධාරීන් පැසසිය යුතුය. වනජීවී ඉහළ නිලධාරීන් පුටුවේ කැරකෙමින් පහළ නිලධාරීන් රාජකාරියට යොදවා පහසුකම් නොදීම තුළ නිසියාකාර සේවයක් සිදුකිරීමට අපොහොසත් වී ඇත. බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමුකර කටයුතු කරන්නේ නම් එය රටේ වනසතුන් රුකගැනීමේ ඉදිරි පියවරක් වනු ඇත.

I කතාව හා සේයාරූ
රෝවන් පෙරේරා - පුත්තලම

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00