2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

පුංචි ඡන්දෙට කැඩෙන සන්ධාන

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 210

තව දින 60කින් පුංචි ඡන්දය ලෙස ප්‍රසිද්ධ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතය. පෙරවාරි 10 හෝ 17 යන දිනක පැවැත්වෙනු ඇතැයි කියන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ ක්‍රියාවලිය දැන් සිදුවෙමින් තිබේ. මේ නාමයෝජනා ක්‍රියාවලිය උණුසුම් මාතෘකාවක් වී ඇති බවක් විවිධ නායකයන් නිකුත් කරන ප්‍රකාශවලින් පෙනෙන්නට තිබේ. මෙවර මැතිවරණයේ විශේෂම ලක්ෂණය වන්නේ ගමේ ආණ්ඩු බලය ඇල්ලීමේ පොරය පෙරමුණ කිහිපයක් අතට සීමා වී තිබීම නිසාය. ඒ පෙරමුණ අතර ඉහළින්ම සිටින්නේ එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එ.ජ.නි.ස. පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය යන කණ්ඩායම්ය. දේශපාලන පක්ෂ යන ශ්‍රේණිය යටතේ මැතිවරණයට ඉදිරිපත් වන මෙම කණ්ඩායම් කොට්ඨාස ගණනාවක් සඳහා දැනටමත් අප මුදල් තැන්පත් කර හමාරය. නමුත් නාමයෝජනා නම් සම්පූර්ණයෙන් අවසන් කරගැනීමට මේ කිසිදු පෙරමුණකට හැකි වී නැත. එනම් ඒ ඒ පෙරමුණුවල සාමාජික පක්ෂ ඉල්ලන අපේක්ෂක කෝටා ඉලක්කය ලබානොදීම නිසා ඇතිවූ ගැටලු නිසාය. 

එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණය එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වී තරග කීරීමට කලින්ම තීරණය කර තිබූ පක්ෂ කිහිපයක් අවසානයේ ස්ථාන ගණනාවක එ.ජා.ප.යෙන් ඉවත් වී ස්වාධීනව තරග කිරීමට පියවර ගෙන තිබේ. නාමයෝජනා සම්බන්ධ ගැටලු ඊට බලපෑවේය. එ.ජා.ප නාමයෝජනා ගැටලු බහුතරයක් හටගෙන තිබෙන්නේ කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්ක පළාත් පාලන ආයතන සම්බන්ධයෙනි. මීට අමතරව මාතලේ, රත්නපුර, කෑගල්ල හා කළුතර සම්බන්ධයෙන් සුළු සුළු ගැටලු තිබෙන බවත් වාර්තා වෙයි. විශේෂයෙන් එක්සත් ජාතික පෙරමුණට මතුව තිබෙන මෙම ගැටලු සඳහා බහු මන්ත්‍රී කොට්ඨාස බලපා තිබෙන බව පැහැදිලිය. මෙම පෙරමුණ තුළ එක්සත් ජාතික පක්ෂය නිසා දෙමළ ප්‍රගතිශීලි සන්ධානයට බරපතළ අසාධාරණකමක් සිදුව ඇතැයි ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝගනේෂන් මහතා චෝදනා කරන්නේය.

“එක්සත් ජාතික පක්ෂයට තාම බහු ආසන සංකල්පය ගැන අවබෝධයක් නෑ. බහු ආසන තියෙන්නේ ආසන තුළ සිටින සුළු ජාතීන්ට නියෝජනයක් ලබාදීමට. ඒක අවබෝධ කරගන්නේ නැතිව එ.ජා.ප.ය බහු ආසනවල එකම ජාතියේම අපේක්ෂකවරු පත්කරගෙන යනවා. එහෙම නම් අපිව ඇයි ළඟ තබාගන්නේ! අපි හැමදාම පක්ෂයක් හැටියට පළාත් පාලන ආයතනයට තරග කළේ තනියම. මේ සැරේ අගමැතිවරයා ආරාධනා කළ නිසා තමයි එකතු වුණේ. නැත්නම් මේ සැරෙත් තනියෙන් තමයි තරග කරන්නේ. එහෙම ගියාට පස්සේ පක්ෂයේ ඇත්ත ස්වරූපය අපි දැක්කා. අගමැතිතුමාගේ නියෝග හා උපදෙස් පක්ෂයේ මන්ත්‍රීවරු ආසන සංවිධායකවරු ගණන් ගන්නේ නෑ. නාමයෝජනා තීරණය කරන්නේ නායකතුමා නෙවෙයි, අපි තමයි කියලා ආසන සංවිධායකවරු අපේ මූණටම කිව්වා. මේ දේවල් සම්බන්ධයෙන් පක්ෂ නායකයාටත් මහලේකම් කබීර් හෂීම් ඇමතිතුමාටත් මම පැමිණිලි කළා. නමුත් සංවිධායකවරු ඔවුන්ගේ පාලනයේ නෑ. සංවිධායකවරු අපි එ.ජා.ප.යත් එක්ක සිටීමේ ජාතික වැදගත්කම නොසලකා තමන්ගේ ආසනය ගැන පමණක් හිතලා කටයුතු කරනවා. පක්ෂ නායකයා මේ දේවල් පහළ මට්ටමේ නායකයන්ට අවබෝධ කර දීලා නෑ. ඒ නිසයි අපිට මේ ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. දැන් අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ඡන්දෙදි එ.ජා.ප.යෙන් එළියට යන්න.” යැයි මනෝගනේෂන් මහතා කියයි.

වතුකරයේ ප්‍රබල පක්ෂයක් වන ප්‍රගතිශීලී දෙමළ ජාතික සන්ධානය නුවරඑළිය සහ බදුලු දිස්ත්‍රික්කයේ සියලු ආසන සඳහා එ.ජා.ප.ය සමඟ එක්ව තරග කරයි. නමුත් කොළඹ මහ නගර සභාව ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල තෝරාගත් ආයතන කිහිපයකම ස්වාධීනව තරග කිරීමට තීරණය කර තිබේ. වෙනම තරග කර මැතිවරණය අවසන් වූ පසු ආයතනයේ බලය පිහිටුවාගැනීමට පක්ෂ දෙක එකතුවීමේ එකඟතාවක් ද ඇතිකරගෙන තිබේ. නැගෙනහිර පළාත සහ වන්නි දිස්ත්‍රික්කයේ ස්වාධීනව තරග කරන මුස්ලිම් කොංග්‍රසය ද සෙසු පළාත්වල ආයතන රාශියක තරග කිරීමට එ.ජා.ප.යෙන් ඉවත්වීමට පියවර ගෙන තිබේ. නමුත් එ.ජා.ප.ය සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීමට තවමත් උත්සාහ දරමින් සිටින බව එම පක්ෂ මහ ලේකම් නිසාම් කාරියප්පර් කියා සිටියේය.

“සාමාන්‍යයෙන් ඕනෑම පෙරමුණක යම්කිසි පදනමක් තියෙන පක්ෂ එකතුවෙනකොට අපේක්ෂකයන් බෙදාගැනීමේ දී ප්‍රශ්න මතුවෙනවා. ඒ වගේම අලුත් ක්‍රමයට යනකොට ඉස්සර මන්ත්‍රීවරු කීහිපදෙනෙක් එකම කොට්ඨාසයකට වැටෙනවා. ඒ නිසයි ගැටලු මතුවෙන්නේ. කොහොම නමුත් අපි දැන් 90%ක් නිරාකරණය කරගත්තා. ඒත් නැගෙනහිර සහ ඉන් පිට දිස්ත්‍රික්කවල ආයතන යම් ප්‍රමාණයක අපි තනියෙන් යනවා.” ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් පවසයි.

තම පක්ෂය නායකත්වය දරන පෙරමුණ තුළ තිබෙන නාමයෝජනා බෙදාගැනීමේ ගැටලුවේ ස්වභාවය විස්තර කරමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙසේ සඳහන් කළේය.

“එක්සත් ජාතික පෙරමුණ සිටින පක්ෂවල ශක්තිය තිබෙන්නේ විවිධ මට්ටම්වල. ඒ වගේම භූමියේ හැටියටත් ඉදිරිපත් කරන අපේක්ෂකයන් නිසා තෝරාගැනීමේ සංකීර්ණතා මතුවෙලා තියෙනවා. මැතිවරණ ක්‍රමයේ ස්වභාවය නිසාත් අපේක්ෂකයා තෝරාගැනීම තවත් සංකීර්ණයි. විශේෂයෙන් බහු ආසන තියෙන ස්ථානවලදී. නමුත් එක්සත් ජාතික පක්ෂය සියලු සහෝදර පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. විසඳාගන්න බැරි තැන්වලදී අදාළ පක්ෂ තම පක්ෂ නායකයා යටතේ නිදහසේ තනිව තරග කිරීමටත් පියවර අරගෙන තියෙනවා. ඒ අනුව රවුෆ් හකීම්, රිෂාඩ්, මනෝගනේෂන් යන ඇමතිවරු තමන්ගේ පක්ෂය යටතේ ස්ථාන කිහිපයක තනිව තරග කිරීමට තීරණය කරගෙන තියෙනවා. ඒවා අපේක්ෂා කරන්න පුළුවන් කාරණා. නමුත් අපි උත්සාහ කරන්නේ මේ සියලු පක්ෂ සියලු ස්ථානවල එකට තරග කිරීමටයි.” 

මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඉහළ බලාපොරොත්තුවකින් පසුවන ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂ අතර නාමයෝජනා අර්බුදය දරුණු ‍ලෙසම දකින්නට පුළුවන. ඉකුත් සති දෙක තුළ ඒකාබද්ධයේ ප්‍රබලයන් කිහිපයක් මෛත්‍රී පිලට එකතු වීමට තරම් තත්ත්වය දුරදිග ගිය බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ සාමාජික පක්ෂ 20ක් තරම් දැවැන්ත සන්ධානයක මෙවැනි ගැටලු මතුවිය හැකි බවයි. 
“එක පැත්තකින් කොට්ඨාස ගණන සීමිතයි. නමුත් අපේක්ෂක ගණන අසීමිතයි. අනිත් පැත්තෙන් අපෙන් අපේක්ෂකත්වය ලබාගන්න පොරකනවා, අපි ජයග්‍රහණය ලබන කණ්ඩායම නිසා. අපේක්ෂකත්වය බෙදාගැනීමේ දී තීව්‍ර තරගයක් ඇතිවුණේ ඒ නිසා. අලුත් මැතිවරණ ක්‍රමයේ දී දේශපාලන පක්ෂවලටත් අලුත් අත්දැකීමක්. ඒ වගේම එක කොට්ඨාසයක දී එක පක්ෂයකට අපේක්ෂකයෙක් වෙන් කළොත් ඒ කොට්ඨාසයෙදි අනිත් සියලුම පක්ෂවලට අපේක්ෂකත්වය අහිමිවෙනවා. ඒ නිසා තමයි තරගය තීව්‍ර වුණේ. තරගය නිසා ඇති වූ කේන්ති යෑම්, සිත් රිදවීම්, සියල්ලම සමනය වී අවසන්.”

ඒකාබද්ධ විපක්ෂයේ පොදුජන පෙරමුණ නොවන සාමාජික පක්ෂ ත්‍රීවීල් පක්ෂ සේ සලකා විශාල අසාධාරණයක් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෑතක දී මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.

වැඩිදුරටත් ඔහු පෙන්වා දී තිබුණේ පොදුජන පෙරමුණ නොවන සෑම පක්‍ෂයකටම නාමයෝජනා කෝටා ප්‍රශ්න තිබෙන බවයි. එම සියලුම පක්‍ෂවලට මුළු අපේක්‍ෂක සංඛ්‍යාවෙන් 5% ක්‌ හෝ දීමට එකඟතාවක්‌ ලැබී නැතැයි ද එම නිසා පක්‍ෂ නායකයන් අසතුටක් හා කලකිරීමකින් සිටින බව ද එහිදී මන්ත්‍රීවරයා චෝදනා කර තිබුණි. මන්ත්‍රීවරයා මෙසේ ද පවසා තිබුණි.

“නාමයෝජනා ක්‍රියාදාමය සිද්ධවෙන ආකාරය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නැහැ. අනිත් පක්‍ෂවලටත් සාධාරණ අපේක්‍ෂක සංඛ්‍යාවක්‌ දිය යුතුයි. එය නොදෙනවා නම් එතැන තිබෙන්නේ ඉතාම අකෘතඥ සහ එම පක්‍ෂ මෙම ප්‍රවාහයෙන් එළියට තල්ලු කර දැමීමේ වෑයමක්‌. එය විසඳීමට අපි උත්සාහ කරනවා. ඒ වගේම පක්‍ෂ අතර අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කිරීමටත් තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය මෙන්ම පොදුජන පෙරමුණ ද කියා සිටින්නේ කොට්ඨාස ක්‍රමය තුළ පක්ෂ ගණනාවක් එකතු වී සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත් වීමේදී නාමයෝජනා ගැටලු මතුවීම සාමාන්‍ය දෙයක් බවය. උද්ගත වූ ඒ ගැටලු විසඳාගැනීමටත් ජාතික අරගලයක් සමඟ සැසඳීමේ දී නාමයෝජනා බෙදාගැනීමේ ගැටලු සුළු දෙයක් බවත් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කරුණු දක්වමින් පැහැදිලි කළේය.

“ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පක්ෂ රාශියක් එකතුවෙච්ච පක්ෂයක්. සියලු පක්ෂ නායකයො සියලුදෙනා එක්කාසුවෙලා කොට්ඨාසවලට අපේක්ෂකයෝ තේරැවා. කොට්ඨාසවලට අපේක්ෂකයෝ තේරීමේ දී නායකයන්ට අවසාන එකඟතාවයකට එන්න බැරි වුණා. ඒ ඒ පක්ෂවලට යම් යම් ගැටලු මතුවෙලා තියෙනවා. ඒ බව අපි පිළිගන්නවා. සමස්තයක් හැටියට සියලු දේශපාලන පක්ෂවලට සාධාරණයක් ඉටුකරන්න කටයුතු කරන්න කටයුතු කළා. ඒ පිළිබඳව යම් යම් අඩුපාඩු තියෙනවා. පක්ෂයෙන් දැනට දෙදෙනෙක් ඉවත් වුණා. ඇත්තටම ඔවුන් ඉවත් වුණේ නාමයෝජනා ප්‍රශ්නයක් හේතුවෙන් නෙවෙයි. ඔවුන්ට එකතු වීමට තිබ්බ වුවමනාවට මේ සිද්ධිය හේතුවක් කරගත්තා.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා තත්ත්වය පිළිබඳව දැනගැනීමට එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් විමසීමට අප උත්සාහ කළත් නාමයෝජනා සැකසීමේ කාර්යයන්වල නිරතව සිටින බව පවසා ඔවුහු කතා කිරීම ප්‍රතික්ෂේප කළහ. ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ ද නාමයෝජනා අර්බුදයක් ඇතැයි පැවසෙයි. ඒ අපේක්ෂකයන් බෙදාගැනීම සම්බන්ධව නොව අපේක්ෂකයන් සොයාගැනීම සම්බන්ධවය. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතැම් සංවිධායකවරුන් ඒ ඒ දිස්ත්‍රික්කවල වෙනත් පක්ෂයක අපේක්ෂකත්වය ඉල්ලා අපේක්ෂකත්වය නොලැබූවන්, එ.ජා.ප.යේ හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වූ පෙරටුගාමී පක්ෂ සාමාජිකයන් සහ වෙනත් අයට අපේක්ෂකත්වය දී ඇතැයි වාර්තා වෙයි. 

උතුරේ දෙමළ ජාතික සන්ධානයේ ද දරැණු බෙදීම් පසුගිය සතියේ වාර්තා විය. දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ තීරණය කර තිබිණි. එනිසා මහ නගර සභා, නගර සභ සහ ප්‍රාදේශීය සභා ගණනාවක තනතුරැ පවරා ගැනීමට ඉලංගයි තමිල් අරසු කච්චි ගෙන තිබූ තීරණය වෙනස් කර ගත්තේය. ඒ හේතුවෙන් උතුරේ නාමයෝජනා ගෝරිය තරමක් පාලනය වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණ පමණක් කිසිදු සන්ධානයකට හවුල් නැති බැවින් නාමයෝජනා ගෝරියක් එම පක්ෂය තුළ හටගෙන නැතැයි එහි මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඔවුන් තම ඡන්ද ව්‍යාපාරය ගෙන යාමට සැලසුම් කරන්නේ ද පුද්ගලයන් මූලික කර ගනිමින් නොව පක්ෂයේ ප්‍රතිපත්ති මූලික කරගනිමිනි.

මැතිවරණයට මාස දෙකකට පෙර සන්ධානය තුළ සාමාජික පක්ෂ අතර ඇතිව තිබෙන තරගය ඉදිරි දින කිහිපය තුළ කුමකින් කෙළවර වේදැයි තවම නිශ්චිතව කිව නොහැකිය. තමන්ට ලැබෙන කෝටාවෙන් සෑහීමට පත්නොවන පක්ෂ සන්ධානයෙන් ඉවත්ව ස්වාධීන වීමට හෝ ප්‍රතිවාදී සන්ධානයේ සාමාජිකත්වය ලබාගැනීමට වුවද පුළුවනි. නැතිනම් පක්ෂය පිටින් නොගියත් මන්ත්‍රීවරු තම හිතවතුන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් ද පිල් මාරු කළ හැකිය. මේ පුංචි ඡන්දය ආණ්ඩු බලයට එතරම් බලපෑමක් ඍජුව සිදු නොකළත් ඡන්ද ප්‍රතිඵල සහ සිදුවන පිල් මාරු ඉදිරි පක්ෂ දේශපාලනයටත්, ආණ්ඩුවේ ස්ථාවරත්වයටත්, පළාත් සභා මැතිවරණයටත්, ඊළඟ ආණ්ඩුවට තීරණාත්මකව බලපාන සාධකයක් වනු ඇතැයි ස්ථීරව කිව හැකිය.

♦ සකීෆ් සාම් තන්වීරි

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00