2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

සිවගුරුනාදන් පහ සමත්ද?

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ තෙවැනි අධ්‍යක්ෂණය වූ 5 සමත් චිත්‍රපටය ඇරඹෙන්නේ නරඹන්නාට පූර්විකාවක් ලබාදෙමිනි. හෙවිලිකන්දේ කැලෑ ගම්මානේ ලාබාල සමත්, තාමත් වයස අවුරුදු දහයයි. එහෙත් මනසින් ඔහු තරුණයෙක්. තරුණයකු වීමට ලාබාල වැඩිවුවත් මොහු වගකීම්සහගත ලාබාල තරුණයෙක්.

තම නිර්මාණයට පූර්විකා  ඉදිරිපත් නොකර එය ප්‍රේක්ෂකයන්ට වටහාගැනීමට ඉඩ තැබුවා නම් වඩාත් වැදගත් බවයි, අප නම් සිතන්නේ. මේ නිසා නරඹන්නා චිත්‍රපටයට පිවිසෙන්නේ අවුරුදු දහයක තරුණයෙක් වැනි දරුවකුගේ වික්‍රම දැකබලා ගැනීමේ සිතුවිලිවලින් යුක්තවය. එය ළමුන්ට ආමන්ත්‍රණය කරන චිත්‍රපටයක රැඳිය යුතු කුතුහලය අඩු කිරීමට හේතුවකි.

හෙවිලිකන්ද කඳුකර කැලෑ ගම්මානයකි. රමණීය වනාන්තර හා දියඇලි, හෙල්මළු කුඹුරු, ගිරිදුර්ග ආදියෙන් යුත් මේ ගම්මානයේ දුෂ්කර පාසලක ඉගෙනගන්නා සමත් (අමිරු කෝරළගේ) සියුම් නුවණකින් යුත් සිසුවෙකි. ඔහුට අවශ්‍ය නිදහස් පරිසරයේ හැසිරෙමින් අමුතු නිර්මාණ ඉදිරිපත් කිරීමටය. සමත්ගේ පියා (උද්දික ප්‍රේමරත්න) හා මව (දිල්හානි ඒකනායක) ගොවිතැන්වලින් හා හකුරු නිපදවීමෙන් දිවි සරිකර ගනිති. ඉතා සරල දුප්පත් ජීවිතයක් ගත කරන සමත්ගේ මනෝභාවයන් සංකීර්ණය.
පියාගේ ගොවිතැනට අවශ්‍ය ජලය පහසුවෙන් ලබාගැනීමට ඔහු ජල රෝදයක් සැලසුම් කරයි. පාඩම් කිරීමට ආලෝකය ලබාගැනීමට මේස විදුලි පහනක් නිර්මාණය කරයි. මෙලෙස දුෂ්කරතා විඳින ඔහු පොසොන් පෝයට කැරකෙන කූඩුවක් තනා ගැමියන් පුදුමයට පත් කරයි. ශිෂ්‍යත්වය ගැන ඔහුගේ උනන්දුව හීනවුවත් ගුරු දෙගුරු උනන්දුව මත ඔහු විභාගයට වාඩිවේ.

නිරීක්ෂණ ශක්තියෙන් යුත් සමත් කිසිවකු නොසිතූ පරිදි ලංකාවේ පළමුවැනියා වශයෙන් විභාගයෙන් සමත් වේ. ඔහු නගරයේ උසස් පාසලකට වරම් ලබයි. එතෙක් නාට්‍යෝචිතව ළමා මනසට ගැලපෙන සුන්දර චිත්‍රපටයක් වශයෙන් ගලායන 5 සමත් හි රිද්මය බිඳවැටෙන්නේ සමත් උසස් පාසලට ඇතුළු වූ දා සිටය. ලංකාවෙන් ප්‍රථමයා වන්නට බලාපොරොත්තු තබාගෙන සිට දෙවැනියා වශයෙන් සමත් වී එම පාසලටම එන ධනවත් දරුවාගෙන් නිතරම සමත්ට අරියාදු ඇතිවේ. බොහෝවිට මේ අරියාදු ළමා මනසට නොගැලපෙන තරම් ප්‍රචණ්ඩ ක්‍රියා බවට පත්වේ. සමහර අවස්ථාවලදී අපට සෝමරත්න දිසානායකගේ සිරි රජ සිරි චිත්‍රපටය ද මෙහිදී මතක් වේ. එහිදීද ගමෙන් එන දරුවාට නිතර නගරයේ ධනවත් දරුවාගෙන් ගැහැට විඳින්නට සිදුවේ. සෝමරත්න දිසානායක එම අවස්ථාව අනවශ්‍ය දිග්ගැස්සීම්වලින් තොරව නිරූපණය කළ ද පහ සමත් හි සමහර අවස්ථාවලදී දරුවන්ට නරඹා සිටීමට අපහසු තරම් මැර ක්‍රියාකාරකම් බහුල වේ. එක් අවස්ථාවකදී පරිගණකයෙන් ගමට විදුලිබල ව්‍යාපෘතියක් සමත් සැලසුම් කරන්නේ පාසලේ ව්‍යාපෘති තරගයක් සඳහාය. ඔහුගේ තරගකරුවා වන ධනවත් සිසුවා එය සොරකම් කරයි. පසුව සමත් සමඟ යාලුවීමට කැමති බව දන්වා ඔහුව ක්‍රීඩාපිටියට ගෙන්වාගෙන මිතුරු පිරිසත් සමඟ එක්ව හොඳටම පහරදෙයි. එලෙස පහරදෙමින් අනෙක් සිසුහු ගීතයක් ද ගායනා කරති. මේ අවස්ථා අපට මතක් කර දෙන්නේ චිත්‍රපටවල දුෂ්ඨ නළුවන්ගේ හැසිරීම් පෙළකි. ළමා චිත්‍රපටවලට මෙවැනි දර්ශන කෙතරම්දුරට ගැලපෙනවාදැයි විමසිය යුතුය.

තිර රචනයේදී රසික සුරවීරආරච්චි මේ ගැන තවදුරටත් සිතාබැලිය යුතුව තිබුණි. අවසානයේ දී ධනවත් දරුවා හදිසියේ සියල්ල අවබෝධ කරගෙන වැරදි වටහාගෙන සමත්ගේ ගමට විදුලිය ලබාදීමට මුල්වුවද ඒ වනවිට ප්‍රචණ්ඩත්වය දරුවන් අත්විඳ අවසන්ය.

සමත් ලෙස රඟපාන නවක නළුවකු වන අමිරු කෝරළගේගේ රංගනය බොහෝදුරට සාර්ථක තලයක රඳවාගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වේ. නිතර කල්පනා කරන අලුත් දෑ ගැන සිතන දරුවකුගේ චරිතය ඔහු තුළින් ඉස්මතු වේ. නමුත් ප්‍රධාන සහායක නළුවා වන ධනවත් සිසුවාගේ චරිතය තවදුරටත් වර්ධනය කරගත හැකිව තිබුණි. එම චරිතයෙන් කැපීපෙනෙන්නේ දුෂ්ට ගති ස්වභාවය පමණි. එම දරුවා තුළ සමත් කෙරෙහි වෛරයක් ඇතිවන්නේ ශිෂ්‍යත්වයෙන් ලංකාවෙම අංක එක වීම ඔහු උදුරාගත් හෙයිනි. ඒ බව ධනවත් දරුවාගේ ආච්චි කියන වචන මාලාවකින් අපට පැහැදිලි වේ. දරුවන්ට ජයග්‍රහණය වගේම පරාජයත් දරාගැනීමට හුරුකළ යුතුයි. ඇය පවසන්නීය. ඒ වගේම කටපාඩම් කර විභාග ලියනවාට වඩා සොබාදහම රසවිඳිමින් නිරීක්ෂණ ශක්තිය වගාකරගන්නා සිසුවා තුළ වැඩි දක්ෂකමක් වර්ධනය වන බවද මෙම තිරරචනයෙන් ඒත්තු ගැන්වීම යහපත්ය.

ළමා චිත්‍රපටවල යථාර්ථය ඉක්මවා ගිය සිදුවීම් දැකගත හැකිවීම ස්වභාවිකය. ජල රෝදයක් තැනීමට සැලසුම් කිරීම, ග්‍රාමීය විදුලිබලාගාරයක් සැලසුම් කිරීම වැනි දෑ දරුවකුට නොකළ හැකි දේ ලෙස අපට නොපෙනේ. නමුත් පන්ති සගයෙකුගෙන් (ඔහුත් ශිෂ්‍යත්වය විශිෂ්ට ලෙස සමත් බුද්ධිමතෙකි) මෙතරම් පළිගැනීම් සිදුවීම නම් ළමා චිත්‍රපට ශානරයෙන් ඔබ්බට ගිය ක්‍රියාකාරකමකි.

සමත්ගේ පියා ලෙස උද්දික ප්‍රේමරත්න සාර්ථක රංගනයකට උත්සාහ කළද ඔහුගේ චරිතය ගලපා ඇත්තේ ඔතෑනි මෝඩපහේ ගැමියකු ලෙසිනි. දිල්හානි අශෝකමාලා ධෛර්යයෙන් නැගීසිටින ගැමි ගැහැනියකට පණ පොවයි. දයාදේව එදිරිසිංහගේ ගමේ පාසලේ විදුහල්පති භූමිකාව සම්ප්‍රදායික ගැමි විදුහල්පතිවරයකු සිහිපත් කරයි. ඔහු ලොකු දේවල්වලට උත්සාහ නොකරන ගමේ පාසල් සිසුන්ගේ ස්වභාවය හඳුනාගත් විදුහල්පතිවරයෙකි.

චිත්‍රපටයේ ගලායාමට ගමට එන එකම බස් රථය ද සෑහෙන දායකත්වයක් දක්වයි. එහි රියදුරු ගිරිරාජ් කෞශල්‍ය සහ කොන්දොස්තර ප්‍රියන්ත සෙනෙවිරත්න වෙති. ගිරිරාජ් තම රංගනය සෑහෙන තරම් සාර්ථකව ගෙනගියද ප්‍රියන්තගෙන් අනවශ්‍ය පරිදි හාස්‍යය මතුකිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන තිබේ. ඒ නිසා චිත්‍රපටයෙන් ඉස්මතු විය යුතු මානවීය ගුණය වෙනුවට බොහෝ අවස්ථාවලදී හාස්‍යය ඉස්මතු වීම පෙනේ.

ළමා චරිත මෙන්ම සුළු චරිත ද සාර්ථකව මෙහෙයවීමට අධ්‍යක්ෂවරයා දැරූ උත්සාහය සාර්ථක වී ඇති බව පෙනේ. නගරයේ පාසලේ විදුහල්පතිවරයා වන සද්ධාමංගල සූරියබණ්ඩාර, කඩේ මුදලාලි වන මැල්කම් මචාඩෝ, ධනවත් දරුවාගේ පියා ලෙස ශ්‍යාම් ප්‍රනාන්දු ආදීහු එහිදී කැපීපෙනෙති.

කැමරා අධ්‍යක්ෂවරයා ලෙස තුසිත අනුරාධ සුන්දර රූපරාමු තම කැමරාවට හසුකර ගැනීමට උත්සාහ දරා ඇත. සමහර අවස්ථාවලදී ඩ්‍රෝන කැමරා මගින් ගුවන් ඡායාරූප අනවශ්‍ය පරිදි යොදාගෙන තිබෙන බව පෙනේ. ඒ අතරම චරිතවල ගැඹුරට කිමිදීමට කැමරාව භාවිත කළා නම් තවදුරටත් චිත්‍රපටයේ කතා තේමාව සාර්ථක වීමට ඉවහල් වනු ඇත. කපිල පූගලආරච්චිගේ සංගීතය ළමා සිත අවදි කිරීමට සමත්ය. රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණය ද චිත්‍රපටයේ සාර්ථකත්වයට දායකත්වය සපයයි. නමුත් සංස්කරණයේ දී අනවශ්‍ය දිග්ගැස්සීම් තවදුරටත් අඩුකරගත්තා නම් චිත්‍රපටයේ නිමාව තවදුරටත් ඔපවත් වනු ඇත. 

අද පහේ ළමයින්ට ළමා කාලය අහිමි වී ගොසිනි. දරුවන්ට වඩා දෙමාපියන් ශිෂ්‍යත්වයට පාඩම් කරන කාලයක් වී ඇත. එවැනි සමයක ළමා කාලය අහිමිකර නොගෙන ශිෂ්‍යත්වය සමත් වන්නේ කෙසේදැයි පහ සමත් කියාදෙයි.

 කුසුම්සිරි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00