මේ වාරකන් කාලයයි
ගොළු මුහුද පුරා
අවලාද කියමින්
රළ ගෙඩි පවා
ගාලු කළුගල් බැම්මේ
හිස ගසාගන්නා රාත්‍රියයි
සවන් දොර අඟුළුලා උඩු හිතක
හූ කියනවා මුහුදු පතුලත
ගිමන් නොනිවූ
සැඩ සුළං කැරැල්ලක් ඇවිත්
උණුවෙලා ගිය කාගෙදෝ සුසුමක්
තවරලා මුවදොරේ දෙපාමුල
තටු කඩා දුවයි කොග්ගලට
අරවින්දගෙයි නන්දගෙයි අතර මැද
කෙස්ගසක් තරම්වත් නැති හිස්තැනක
පටු කෝණ වෙළෙඳ වීදී දිග
තත්ත්පරය පවා
දිගු කෑලිවලට කපා
පණ පිටින් වළ දැමූ
කෙටි ජීවිතේ දිගු කතා
අවදිවෙනවා ඇති ඉඳහිට
රේන්ද සාප්පු ගාණේ
අදත් ඇවිද යනවිට
රාත්‍රියට නටබුන් පිරුණු නුවර පාළුය
එක හිතක් පමණක් සැරිසරන
අහෝ ඛේදයකි මෙකී ඉරණම
ලෝකයාගේම දුක දන්න
ලේන්බාන් වීදියේ මහා කවියාටත් නොපෙණුනා නම්
සීනිගම දෙවොල් දෙවියන්ගේ
පඬුපුල් අසුන කෝම උණු වෙන්නද
I ඩොමිනික් චන්ද්‍රසාලි