දත් සුද්ධ කිරීමට
ඉදුණු බිලිං ගෙඩි කිහිපයක් ගෙන හොඳින් සපන්න. පසුව ඔබේ දත් දෙපළ හොඳින් මදින්න. දත් සිදුරු ආදිය ද හොඳින් මදින්න. ඉන් පසුව කටේ ඇති බිලිං ඉස්ම ඉවත්කොට තල තෙල් ටිකක් කටට ගෙන හොඳින් කට සෝදන්න.
ඉස්හොරිවලට
දෙහි ගෙඩි කිහිපයක් පොල් කිරෙන් තම්බා පොඩිකරගන්න. මෙය හිසේ ගල්වා විනාඩි 30 ක් පමණ තබා හොඳින් හිස සෝදන්න. දින තුනක් පමණ මෙය කිරීමෙන් ඔබේ ඉස්හොරි සුවකර ගැනීමට හැකි වේ.
උකුණන් වඳකර ගැනීමට
කොහොඹ මල් ගෙන හොඳින් අඹරාගන්න. මෙය හිසේ ගා විනාඩි 30 ක් පමණ තබා හිස සෝදාහරින්න. හිසේ ඇති උකුණන් වඳ වේ.
කනට කුඩා සතෙකු ගිය විට
දියලුණු බිංදු කිහිපයක් කනට වත්කර ටික වේලාවකින් හිස අනෙක් පසට හරවන්න.
දත් පණුවන් කෑමට
ගම්මිරිස්, වියළි ඉඟුරු, පිලමුල් පොතු, දියලුණු එකසමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා දත මුල තබන්න.
දත් කැක්කුමට
සීනක්කාරං පුළුස්සා කුඩුකර බෝතලයකට දමා වතුර පුරවා තබාගන්න. මෙයින් ඔබේ කට සෝදන්න. දත් කැක්කුමට හොඳ අත්බෙහෙතකි.
ඉරුවාරදයට
තල තෙල්, සහිඳ ලුණු, සුදු ලූණු මී පැණියෙන් අඹරා නළලේ ගාන්න.
හිසේ රුදාවට
කහකුඩු රෙදිකඩක දමා පහන් තිරයක් මෙන් සාදා ගිතෙලෙන් පොඟවා දල්වා එම දුම නාසයට උරන්න.
දෙහි ඇඹුලෙන් ඉඟුරු ගලගා නළලේ ආලේප කරන්න.
අළුහම්වලට
පේර කොළ, අමුකහ, ඇත්තෝර කොළ සමව ගන්න. මෙය හොඳින් කොටා එහි යුෂ අව්වේ කකාරා අළුහම් ඇති තැන්වල ආලේප කරන්න. පැයකින් හොඳින් සෝදාහරින්න.
පණුහොරිවලට
සමදරා කොළ, නිදිකුම්බා කොළ තම්බා සෝදා, හුණු, කහ, කපුරු සමව ගෙන පිරිසුදු තැඹිලි තෙලින් අඹරා ගාන්න.
බඩේ අජීර්ණයට
අමු ඉඟුරු, මුරුංගා පොතු, පොල් හකුරු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා, එය උණු වතුරෙන් කෑමට පැය භාගයකට පමණ පෙර බොන්න.
ඉන්නන්ට
රතු ලූණු ගෙඩියක් කපා කැපූ පැත්තට හුණු ටිකක් ගා ඉන්නා මතුපිට ආලේප කරන්න. මෙය සමේ වෙනත් තැන්වල ආලේප නොකරන්න. ඉන්නන් මතුපිට පමණක් ආලේප කරන්න.
බඩේ දැවිල්ලට
ආඩතෝඩා කොළ, නෙල්ලි, බාර්ලි සමව ගෙන තම්බා සීනි දමා උදේ සවස බොන්න.
මාසික වේදනාවට
කූරතම්පලා ගස සහමුලින් තම්බා බොන්න.
සුවඳැල් කෙසෙල් ගෙඩි කෑමට ගන්න.
සුදු කබරවලට
ඉරිවේරිය ගස සහමුලින් ගෙන පුච්චා අළු ටික ඇල් වතුරෙන් අනා කබරවල ආලේප කරන්න.
පීනසට
අසමෝදගම්, තිප්පිලි, බෙලිමුල්, සිද්ධිගුරු, බැදපු කොත්තමල්ලි, කුරුඳු පොතු කලං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා පත ½ බැගින් පානය කරන්න.
වේලුණු කැස්සට
රසකිඳ, ආඩතෝඩා මුල්, කටුවැල්බටු කලං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත ½ බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.
සුව සතුට ගෙනදෙන දුර්ලභ අත්බෙහෙත් නම් ආයුර්වේද ග්‍රන්ථය ඇසුරෙනි.