2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

රජරට දිය බුබුළ

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

රජරට තැනිතලාව නිර්මාණකරණයට තෝතැන්නකි. රජරටින් බිහි වී ජාතික මට්ටමට පැමිණි කවීහු, ගීත රචකයෝ අප අතර සිටිති. රජරට ප්‍රදේශයේ නිර්මාණකරුවන් අතර කැපීපෙනෙන නිමල් උඩගෙදරගේ දිය බුබුළ කාව්‍ය සංග්‍රහය උතුරුමැද කලා උළෙලේ විශිෂ්ට සම්මානයට පත් කෘතියකි. මෙයට පෙර කරඹ මල්, නෙලුඹු ඇට යන කාව්‍ය සංග්‍රහ ද ඔහු පළකර තිබේ.

දිය බුබුළ දෙස බැලීමේ දී පෙනීයන්නේ කවියා තමා ජීවත්වන වැව් බැඳි රාජ්ජයේ අත්දැකීම් රැසක් තම කාව්‍යොක්ති සඳහා පාදක කරගෙන ඇති බවයි. ඒ අතරින් සමහර අත්දැකීම් පෞද්ගලිකය. තවත් සමහරක් පොදු අත්දැකීම්ය.

කොතඟ පිනිබිඳ කවිය කියවන අපට මතක් වන්නේ රැවන්වැලි සෑයයි.

බොදු දන පැමිණ
වැතිරී වඳින
හද බැති කුසුම
විකසිත කරන
රන්කොත මුදුන
බුදු රැස් ගඟුල

බුදු ගුණයෙන් පිරිපුදුන් මහ සෑයේ කොත නිදිවරාගෙන සීතලේ සිටින අතරම පිනි බිඳුවක් නිර්මාණය කරයි. සෑයට වඳින දහස් ගණන් දෙනා නොදැනුවත්වම කොත මත දිලෙන පිනි බිඳුවට ද වඳිති. නමුත් කිසිවකුත් නොදැන හිරැ නැගෙත්ම පිනි බිඳුව වියැකී වියළී යයි. මෙය බුදු දහමේ දාර්ශනික සත්‍යයක් ද පාඨකයාට ළඟාකරවන සංකල්පනාවකි.

නිමල් තම කවි සඳහා බොහෝවිට කෙටි වැකි භාවිත කරයි. අවශ්‍යම වචන පමණක් තෝරාගැනීමට ඔහු පරිස්සම් වන බව පෙනේ. දෙබිඩි වත, වාමන රෑප, මහ හඬ, කෙළෙස් සටන, වෙසක් කූඩු ඇතුළු කවි පන්ති රැසක මේ ලක්ෂණය දැකගත හැකිය. නමුත් සමහර අවස්ථාවලදී අනවශ්‍ය පරිදි සංක්ෂිප්ත කිරීමට යාම නිසා කවිවල රිද්මය බිඳවැටුණු අවස්ථා ද හමුවේ. %ඌ ගෙම්බාය^ කවියෙන් එයට උදාහරණ සැපයේ.

දිය මං
දියගති
දැනගත් 
නිති 
ඌ ගෙම්බාය

දිය බුබුළ කවිය ද බෞද්ධ දාර්ශනික සංකල්පනාවක් විග්‍රහ කිරීමට ගත් උත්සාහයකි.

ගඟට බට හිතවත
මොහොතක් අවුත් හෙමිහිට
ළංව නැඹුරැව බුබුළ වෙත
බලව මැන
ඔබ කයෙහි හැඩරුව
සිතුවම්ව ඇති අන්දම

බටු ගොවියා ගැන බටු පණුවා කී කව අද ගොවි ජනතාව මුහුණදෙන සුලබ අත්දැකීමක් කවිකර පැවසීමකි. එය අපූරු කාව්‍යොක්තියකින් ආරම්භ වුවද පාඨකයා බලාපොරොත්තු නොවන සුලබ අවසානයකට එළඹේ.

අපෝ අපෝ බටු දැන් හැම තැනම ඇති
රුපියල් දෙකට දුන්නෝතින් ගත්තෑකි

භූ විෂමතා කවිය සුලබ අත්දැකීමක් වුවත් දුලබ ආකෘතියකින් පැවසීමට කවියා සමත් වී සිටී. භූගෝල විද්‍යා පාඩමේ භූ රූප මව අහිමි වූ කුසුමලතා නම් ශිෂ්‍යාවගේ අත්දැකීම් හා සමපාත කරන්නේ අපූරු කාව්‍යොක්ති මවමිනි.

කඳුළක් නැගී නුඹ නෙතග
ගලයි කොපුලෙන් පහළට
සියලු පැණි රස දුක් ලෙස
සිත පතුලෙහිම සඟවමින

බොහෝ කවීන් අත්දැකීම් කරගන්නා ප්‍රේමය වෙනුවට නිමල් උඩගෙදර ජීවිතයේ යථාර්ථය කවියෙන් සෙවීමට උත්සාහ කරනෙකි. ඔහුගේ සිත් ගැනීම, පෙම් පුවතක්, දෙවන පෙම වැනි කවිවලින් ද ඒ බව පෙනේ.

නිමල් උඩගෙදර සියුම් කාව්‍ය අනුභූති සොයායන කවියෙක් බව පෙනේ. ඔහු තම කාව්‍යොක්ති පිළිබඳව තවදුරටත් සැලකිලිමත් වීම අවශ්‍යය. එමෙන්ම කවියේ යටිපෙළ පිළිබඳව තවදුරටත් සිතමින් නිර්මාකරණයේ යෙදීමෙන් තම අනන්‍යතා ලක්ෂණ සහිත සහිත සාර්ථක මඟක් විවර කරගැනීමට ඔහුට ඉඩහසර ලැබෙන බවට ඉඟි දිය බුබුළ පළ කරයි.

 පාඨක