2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

ඔන්න අපි බැන්දා.. කොළඹදී කෙරුණු චීන කසාද

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 203

17 වැනිදා ඉරිදා කොළඹ නගර සභා පිටිය වටා රතු පැහැති කොඩි දක්නට තිබුණි. සිංහ කොඩි ද රතු චීන කොඩි අතර තැනින් තැන ගාම්බීරව ලෙලදුණේය. නගර සභා පිටිය ද මංගල උත්සව සාලාවක සිරියක් ගත්තේය. එහි පැවැති උත්සවයක් නිසා අවට අහස ද රතු පැහැයෙන් දිස්වූයේ දල්වා තිබූ පහන් හේතුවෙනි. වාදනය වූයේ චීන සංගීතයයි. පිටතින් ලියා තිබුණේ රාජකීය මංගල උත්සවය යනුවෙනි. කොළඹ නගර සභා පිටියේ රාජකීය මංගල්‍යයට මනාල යුවළවල් කැඳවාගෙන ආවේ සරසන ලද මෝටර් රථ 50කිනි. පිටියේ පිවිසුම් දොරටුව අලංකාර කැටයම්වලින් සරසා තිබුණි. ඒ දෙපස අශ්වයන් පිට නැගී අශ්වාරෝහකයෝ රුඳී සිටියහ. අවට පොලිස් ආරක්ෂාව ද තර කර තිබුණි. 

එදින මංගල්‍යයේ දී චීන මනාල මනාලියෝ 100ක් අතිනත ගත්හ. හෙළ සිරිතට අනුව පැවැති මේ මංගල්‍යය චීනුන්ට මෙන්ම අපට ද අලුත් අත්දැකීමක් විය. එම චීන මනාල මනාලියන් අතර පිරිසක් උඩරට සම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටියහ. තවත් පිරිසක් චීන සම්ප්‍රදායට අනුව රතු පැහැති ඇඳුමින් ද තවත් පිරිසක් බටහිර පන්නයට ද සැරසී සිටියහ. මල් කුමරියන් ලෙස සිටියේ රෝස පැහැති ගවුම්වලින් සැරසුණු ශ්‍රී ලාංකික දරු දැරියන් ය.

අලකේෂ්වර රජ පවුලේ පුතෙකුත් එක මනමාලයෙක්

රතු පලස මතට මනාල මනාලියන් කැඳවාගෙන ආ පසු මංගල භේරී වාදනය හා වෙස් නැටුම් මධ්‍යයේ මංගල පෝරු මෙන් තනා තිබූ විශේෂ පීඨික පහ වෙතට කැඳවාගෙන යනු ලැබූහ. ඉන් අනතුරුව අණ බෙරකරුවෙක් රාජකීය මංගල්‍යය පිළිබඳ පුවත ප්‍රකාශයට පත් කළේ මෙසේය. “චීන ජාතික කුල කුමරැන් හා කුමරියන් සිය දෙනෙකු හෙළ සිරිතට අනුව විවාහ ගිවිස ගනිමින් පෝරුමස්ථකාරෑඪ වන හෙළයේ ඓතිහාසික මහා මංග්‍යය මෙසේ සමාරම්භක වන වගයි.” පසුව මංගල මුදු හුවමාරුව, අතපැන් වත් කිරීම, අෂ්ටක හා ජයමංගල ගී ගායනය, මංගල කේක් කැපීම හා පහන් දැල්වීම ආදිය ද සිදු කෙරුණි. පසුව අමුත්තන් විසින් මනාල යුවළ වෙත විවාහ සහතික පත් පිරිනැමුණි.

උත්සවයට සහභාගී වූ වැඩි පිරිස චීන ජාතිකයන්ය. අතරින් පතර ලංකිකයෝ ද සිටියහ. ඔවුන් අතේ කුඩා රතු චීන කොඩි සහ ලංකා සිංහ කොඩිද විය. උඩරට නර්තනයකින් මේ උත්සවය ආරම්භ වූ අතර අවසන් වූයේ චීන නර්තනයකිනි. නමුත් ඥාතීන් සහ ආරාධිතයන්ගේ කාගෙත් නෙත යොමු වී තිබුණේ නර්තන කණ්ඩායම දෙස නම් නොවේ. බැල්ම ඉවත් නොකර ඔවුන් බලා සිටියේ ඉදිරියේ සිටගෙන සිටින මනාල මනාලියන් දෙස ය. ඒ අපූර්වත්වය නිසා ය. එදින සියලු නර්ථන ඉදිරිපත් කෙරුණේ රැජිණි සෙල්වනායගම් රංගනායතනයෙනි.

අප රට සහ චීනය අතර වසර 60 රාජතාන්ත්‍රික සබඳතා හා තේ රබර් ගිවිසුමට වසර 65ක් පිරීම මෙන්ම දෙරටේ ඓතිහාසික සබඳතා යළිත් ශක්තිමත් කරමින් සේද මාවතේ තරුණ සංසදය හා එක්ව සංචාරක කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ මේ රාජකීය මංගල උත්සවයේ චීන ජාතික තරුණ මෙන්ම මැදිවියේ යුවළ ද වූහ. වසර 55ක පමණ යුවළක් ද ඒ අතර සිටියහ. එමෙන්ම ඔලිම්පික් පදක්කම්ලාභීන් තිදෙනකුද ඒ අතර සිටීම සුවිශේෂත්වයක් විය. උඩරට ඇඳුම් සැරසුණු එක් මනාල යුවළක් මෙසේ මාධ්‍ය වෙත අදහස් දැක්වූහ.

“මීට අවුරුදු තුනකට කලින් ශ්‍රී ලංකාවේ තමයි අපි මුලින් හමුවුණේ. ඒ නිසා අපිට අවස්ථාවක් ලැබුණා අපි හමුවුණු තැනටම ඇවිත් විවාහ වෙන්න. බොහෝ දෙනෙකුට මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අපි හුඟක් සතුට වෙනවා. අපි සිය දෙනෙක් එකට විවාහ වෙනවා. ඒ නිසා අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ.” ඉංග්‍රීසියෙන් අදහස් දැක්වූ එම යුවළ කතාව අවසන් කළේ “අපි බැන්ඳා. ගොඩාක් සතුටුයි. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා.” යනුවෙන් සිංහලෙන්ම කියමිනි.

මනාල යුවළ් 100 අතර ශ්‍රී ලංකාවට වැදගත් යුවළක්ද සිටියහ. ඒ අප රටට ලේ ඥාති සම්බන්ධකම් තිබෙන රාජකීය කුමාරිකාවගේ පුතු සහ ලේලියයි. ඒ සුන් හයි හුඅයි (sun hai huai) සහ ලින් කුආන් (lin qian) යුවළයි. අලකේශ්වර රජ පවුලෙන් පැවත එන කුමාරිකාව ෂූ සී උයින් ඊ (Xu shi uin e) ය. ඇගේ සැමියා සුන් යාහොං (sun yahong) ය. මීට වසර 600කට පමණ පෙර චීනයට යාමට සිදුවූ අලකේශ්වර පවුලේ දරු මුණුපුරෝ අද දක්වාම සිටිති. රයිගම රාජධානියේ රජු අලකේෂ්වර රජුට චීනයට යාමට සිදුවූ ඉතිහාසය මෙසේය.

වෙරළ ආසන්නයෙහි සිට ඈත ක්‍ෂිතිජය දක්‌වා මුහුදු තලය වසා දැවැන්ත නැව් සිය ගණනක්‌ නැංගුරම් ලා තිබිණි. මකර රූප නැව් බඳෙහි ඇඳ තිබූ විවිධ වර්ණයෙන් යුත් නැව්වල අලංකාර ධජ පතාක දහස්‌ ගණනක්‌ ලෙළදෙමින් පැවතුණි. බේරුවල වරායට දිස් වූ මේ දර්ශනය දුටුවෝ චීන සේනාවක් පැමිණ ඇති වග රයිගම රජු අලකේශ්වරට දැන්වූහ. ඒ 1405 දී පමණ “මිං” රජ පෙළපතේ “ඉයුලෝ” චීන අධිරාජ්‍යය සමයයි. ඉන්දීය වෙළඳ ආධිපත්‍ය නතු කරගැනීමට කැලිකට් බලා යමින් සිටි “ෂෙන් හේ” නැමැති චීන සෙන්පතිවරයා පුද පඬුරු සහ පූජා භාණ්ඩ රැගෙන අප රටට පැමිණියේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන වැද පුදා ගැනීමටය. එහෙත් අලකේශ්වර රජු රාජ ආඥාවක් පනවා, ඒ චීන සෙන්පතියා අල්ලා ගැනීමට නියෝග කළේය. නමුත් චීන සෙන්පතියා කැලිකට් බලා යන අතරතුර වෙනත් යුද්ධයකට පැටලී දුර්වල වූයේ නම් අපේක්ෂිත ඉලක්කය සපුරාගත නොහැකි බව වටහාගෙන පලා ගියේය.

තෙවසරකට පසු කැලිකට් ගමන් අවසන් කොට පැමිණෙන ෂෙන් හේ රජු නොසිතූ මොහොතක 3000ක චීන හමුදාවක් සමඟ පැමිණ රටට ආක්‍රමණයක් එල්ල කළේය. මෙ‍ය විශාල යුද්ධයක් බවට පත්වුවත් අවසානයේ අලකේෂ්වර රජු චීන හමුදාවට හසුවිය. ෂෙන් හේ අලකේෂ්වර රජු චීනයට රැගෙන ගියේය. චීනයට ගිය සෙන්පතියා චීන රජතුමාට අලකේෂ්වර රජු ඉදිරිපත් කළේය. චීන රජු සහ අමාත්‍ය මණ්ඩලය ඉදිරියේ අලකේෂ්වර රජු වැරදිකරැවෙක් විය.​ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට යහපත් සිතින්, පැමිණි සෙන්පතිට කරදර හිරිහැර කළත් චීන අධිරාජ්‍යයා අලකේෂ්වර රජුට අනුකම්පා කළේය. එනිසා මරණීය දණ්ඩනය නොපමුණුවා ශ්‍රී ලංකාවේ රජකමෙන් පහ කළේය. අනතුරුව අලකේෂ්වර රජුට චීනයේ ජීවත්වීමට සිදුවිය. රජුගේ පරම්පරාවෙන් පැවත එන කුමාරිකාව හමුවූ අපට ඇය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබිණි.

අලකේෂ්වර රජුගේ කීවැනි පරම්පරාවද ඔබ නියෝජනය කරන්නේ?

අපි 19 වැනි පරම්පරාව.

කො‍හොමද මේ ඉතිහාසය ඔබ දන්නේ?

අපේ අම්මලා තාත්තලාගෙන් අපි අහලා තියෙනවා. අවුරුදු හයසීයක ඉතිහාසය පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණා වගේම අපේ ඉතිහාසය ලිඛිතවත් අපි ළඟ තියෙනවා.

එහෙම ඒ අවුරුදු හයසීය තුළ අලකේෂ්වර රාජ වංශය චීනයේ මොනවද කළේ?

මුල් පරම්පරාව චීනයට ගියාට පස්සේ එයාලට ලංකාවට නැවත එන්න ලැබුණේ නෑ. එයාලා චීනයේ නැවතුණා. ඔවුන් බොහෝ පිරිසක් භාෂා පරිවර්තකයන් විදිහට වැඩ කළා. වෙනත් භාෂාවන් චීන භාෂාවට පරිවර්තනය කළා. කෝපොන්සෝ කියලා තනතුරක් තිබුණා. ඒ තමයි පරිවර්තක තනතුර. මුල්කාලයේ පිරිස කොපොන්සෝවරු. ඊට පස්සේ පාසල් යෑමේ අවස්ථාව ලැබුණා. ඒ නිසා බොහෝ දෙනෙක් ගුරුවරු විදිහට හිටියා. දැන් විවිධ ක්ෂේත්‍රයන්වල ඉන්නවා.

එහෙම නම් මේ අවුරුදු හයසීය තුළ මේ ලාංකික පවුලට චීන ජාතිකයන් කොහොමද සැලකුවේ?

අපේ කට්ටිය හිටියේ ට්රන්සෝ නගරයේ. ට්රන්සෝ කියන්නේ වරාය නගරයක්. අවුරුදු පන්සියකට කලින් ලෝකයෝ ලොකුම වරායන්වලින් තුන්වන වරාය තමයි ඒ. ඒ නිසා තමයි එම ස්ථානය පදිංචි සඳහා තෝරගත්තේ. ඒ වරායට හැම රටකින්ම එනවා යනවා. එතෙන විවිධ අය ඉන්නවා. ඒනිසා කිසිම අපහසුතාවයක් වුණේ නෑ. කිසිම බාධාවක් ඇති වුණෙත් නෑ. පවතින්න පහසු වුණා.

මොනවද මේ රාජපරම්පරාව තුළ ශේෂ වෙලා තිබෙන ලාංකික සංස්කෘතික අංග හෝ සම්ප්‍රදායන්?

මේකට පිළිතුරක් දෙන්න අමාරුයි. අවුරුදු පන් හයසීයක් ගතවුණාට පස්සේ අපි තුළ තිබෙන ලාංකික සිරිත් විරිත් චර්යාවන් මොනවද කියලා හිතාගන්න අමාරුයි.

ඔබ අදහන ආගම මොකද්ද? භාෂාව මොකද්ද? මොනවද සමරන අවුරුද්ද?

අපි අදහන්නේ බුදු දහම. අපිත් සමරන්නේ චීන උත්සව. කතාකරන්නෙත් චීන භාෂාව.

එහෙම නම් පුතාගේ විවාහය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කළේ ඇයි?

අපිට ඕන වුණා අපේ ඥාති සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වගෙන යන්න.

17දා රාත්‍රියේ මංගල සාදය සංවිධානය කර තිබුණේ වෝටර්ස් එජ් හෝටලයේ දීය. එම සාදය අතරතුරු චීන නර්තන, සංගීතය සහ අපූරු නිර්මාණ රුසක්ද වේදිකා ගත කෙරුණි. එමෙන්ම එහිදී විවිධ වර්ගයේ ශ්‍රී ලංකා - චීන ආහාර පාන වලින් යුත් රාත්‍රී භෝජනයක්ද පිළියෙළ කර තිබුණි. අනතුරුව එම මනාල මනාලියෝ 100 එදින රාත්‍රියේම බස්රථවලින් පිටව ගියහ. ඔවුන්ට අනුරාධපුර, හම්බන්තොට, නුවරඑළිය ප්‍රදේශවල හෝටල්වල මධුසමය ගත කිරීමට අවස්ථාව සලසා දී තිබිණි. එම පිරිස නැවත 22දා කොළඹ පැමිණියහ. එදින පැවැති විශේෂ උත්සවයකින් පසු ඔවුහු චීනය බලා ගුවනින් පිටත් වූහ.

සටහන: සකීෆ් සාම් තන්වීරි
සේයාරූ I සරසි නෙත්මි