බාල තෙල් චෝදනාව බොරුවක් - තෙල් ලේකම්
හදිසි මිලදී ගැනීම් නිසා ඩොලර් ලක්ෂ ගාණක් පාඩුයි - තෙල් වෘත්තීය සමිති
පෙට්‍රල් හිඟය අවසන් වී මසක් ගතවීමට මත්තෙන් ගුවන් ඉන්ධන අර්බුදයක් මතුව තිබේ. පෙට්‍රල් හිඟය ඇති වූයේ ඉන්දීය තෙල් සමාගම ප්‍රමිති පරාසය නැති බාල තෙල් ගෙනා බැවිනි. එම සමාගම විසින්ම නැවතත් බාල ගුවන් යානා තෙල් ගෙනා බවට චෝදනා එල්ල වී තිබේ. කොළඹ වරායේ සිට කි.මී 5ක් පමණ ඈතින් නවතා තිබූ අදාළ නැවේ තෙල් සාම්පල පරික්ෂා කිරීමට කොලොන්නාව හා සපුගස්කන්ද රසායනාගාරයට ගෙන යනු ලැබිණි. ප්‍රථම පරීක්ෂණය අසමත්ය. හේතුව ඉන්ධනවල රොඩු මිශ්‍රවී තිබීමය. පසුව දෙවැනි පරීක්ෂණයකට ද යොමු කරන බව ඛණිජ තෙල් අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේය. නමුත් දෙවැනි පරීක්ෂණයෙන් ද අසමත් වුවත් එහි ප්‍රතිඵලය වෙනස් කර බාල තෙල් ගොඩබෑමේ උත්සාහයක් තිබෙන බවට ආරංචියක් පැතිර යමින් තිබේ.
“දෙවැනි පරීක්ෂණයේදී සාම්පල් එක ඕකේ වෙලා තියෙනවා. ඒ අනුව තමයි තෙල් ගන්න තීරණය කරලා තියෙන්නෙ. සෑහෙන කාලයක් මුහුදේ තිබ්බම රොඩු සෙට්ල් වෙනවා. ඊට පස්සේ සාම්පල් ගත්තම ඕකේ වෙනවා. සාම්පල් එකේ ස්පෙසිෆිකේෂන් 20න් 19ක් හරි. එකක තමයි පාටිකල්ස් තිබුණේ. සමහර ටැංකිවල මළකඩ තිබිලා තියෙනවා. මුලින් චෙක් කරද්දි ඔක්කොම එකට දාලයි චෙක් කළේ. ඒකෙන් තමයි ෆේල් වුණේ. ඊට පස්සේ මලකඩ තිබුණ ටැංකිය අහුවෙලා තියෙනවා. ගුවන් යානාවලට තෙල් සපයද්දි හතර පස් තැනක අපි ෆිල්ටර් කරනවා. ඒ නිසා ඇත්තටම මේක ප‍්‍රශ්නයක් නෙවෙයි. දැන් පරිපාලනය ප‍්‍රමිති පරාසයේ නැති තෙල් භූමිතෙල්වලට ගන්නයි තීරණය කරලා තියෙන්නේ. මේකෙදි යම්කිසි පාඩුවක් සංස්ථාවට වෙනවා නම් ඒ සඳහා වන්දියක් ලබාගන්න තීරණයක් අරගෙනද කියල බලන්න ඕන.” යනුවෙන් නම සඳහන් නොකළ තෙල් සංස්ථාවේ නිලධාරියෙක් කීවේය.
වැඩි මිලක් ගෙවා තෙල් මෙට්‍රික් ටොන් 10,000 හදිසියේ ඇනවුම් කිරීමට සංස්ථාව කටයුතු කර තිබුණි. ඒ ඉදිරි ජනවාරියේ ගුවන් යානා තෙල් ගබඩාව හිස්වී ගුවන් යානා තෙල් හිඟයක් ඇති වීමට ඉඩ ඇතැයි නිලධාරීන් නිර්දේශ කළ නිසාය. ප්‍රථම පරීක්ෂණයෙන් බාල තෙල් යැයි අනාවරණය වී මිලදී ගැනීම ප්‍රතික්ෂේප වූ පසු නැවේ අඩියේ තිබූ තෙල් ටොන් ගණනක් අඩුවී ඇතැයි වෘත්තිය සමිතියක් චෝදනා කරයි. නැවේ අඩියේ තිබූ රොඩු සහිත තෙල් ඉවත් කිරීමට ඔවුන් උත්සාහ කිරීම ඊට හේතු වී ඇතැයි සිතිය හැකිය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් වීම සහ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමට සාපේක්ෂව ගුවන් යානා ඉන්ධන සඳහා ඇති ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. මේ වනවිට දිනකට ඒ සඳහා ලීටර මිලියන 1.3 ක් අවශ්‍යය. දෛනික ගුවන් යානා ඉන්ධන ඉල්ලුම 2020 වර්ෂය වනවිට දිනකට ලීටර් මිලියන 2 දක්වාද 2030 වර්ෂය වනවිට එය ලීටර් මිලියන 3.5 දක්වා ද වැඩි වනු ඇත. මෙරටදී ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම පූර්ණ වශයෙන් සිදු කරනුයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුෙපාළ සහ මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැය 24 පුරා ගුවන් තෙල් සපයයි. රත්මලාන ගුවන්තොටුපොළේ දී අභ්‍යන්තර ගුවන් ගමන් සාමූහික සහ විධායක ජෙට් යානා සහ ඇතැම් නම් කරන ලද විදේශීය යුද ගුවන් යානා සඳහා ඉන්ධන පිරවීමේ පහසුකම් ලබා දෙයි.
දිනකට අප රට පැමිණෙන සහ පිටව යන ගුවන් යානා ප්‍රමාණය 180කි. ඉන් 100ක් පමණ තෙල් ලබා ගනියි. යුරෝපයේ අධික සීතල තත්ත්වය නිසා වර්ෂ අවසාන මාස තුන හතර මෙරටට එන ගුවන් යානා ප්‍රමාණය තවත් 20කින් 30කින් පමණ ඉහළ යයි. ඒ අනුව මේ දිනවල මෙරටට ගුවන් තොටුපොළවලට එන යන යානා ගණන 200ක් පමණ දක්වා ඉහළ යයි. මෙරට ගුවන් සමාගම්වල ගුවන් යානා අනිවාර්යයෙන් තෙල් ලබාගන්නේ මෙරටෙනි. ඊට අමතරව මෙහි පැමිණෙන විදේශ ගුවන් යානා ද තෙල් ලබා ගනියි. එයින් විශාල ලාභයක් සංස්ථාවට ලැබෙයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විදේශ මුදල් ලැබෙන ප්‍රධානතම මාර්ගයද එයයි. මෙරට ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේය. විදේශ සමාගම්වලින් මිලදී ගන්නා ඉන්ධන කොළොන්නාව පර්යන්තයේ ගබඩා කරයි. කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට දුම්රියෙන් එම පරිශ්‍රයට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රවාහනය කෙරේ.
නැවක ඉන්ධනවල රොඩු තිබුණේ නම් එය ෆිල්ටර් කළ හැකිය. ෆිල්ටරයකින් ෆිල්ටර් කර වෙනත් නැවකට එම තෙල් මාරු කිරීමෙන් රොඩු ඉවත් වෙයි. එසේත් නැතිනම් නැවේ ෆිල්ටරයක් සවිකර ෆිල්ටරයෙන් තෙල් පොම්ප කරගත යුතුය. එහිදි ෆිල්ටර් සඳහා වෙනම මිලක් ගෙවිය යුතුය. එමෙන්ම රොඩු සහිත තෙල් දවස් කිහිපයක් එකම ස්ථානයක තැබූ පසුව රොඩු අඩියට බැස රොඩු තට්ටුවක් නිර්මාණය වේ. නමුත් එහිදි ඉන්ධනවල තිබෙන රොඩු නැතිවී යන්නේ නැත. එසේ වුවද මේ කිසියම් හෝ ක‍්‍රමයක් අනුගමනය කිරීමෙන් පසු ගන්නා සාම්පල් පරීක්ෂණ කිරීමේදී රොඩු නැති විටද ගැටලුවක් වන්නේ නැත. තෙවැනි ක‍්‍රමය තුළින් රැවටීමක් ද කළ හැකි බැවින් සාම්පල් සඳහා තෙල් ගන්නේ නැවේ අඩියේ සිටය. තෙල් සංස්ථාවේ නම් හෙළි කිරීමට අකමැති තවත් නිලධාරියෙක් මෙලෙස අප හා අදහස් දැක්වූවේය.
“මෙඩියිව්ස් කියන මේ නැව ගන්නේ අයි.ඕ.සී. එකෙන් හදිසි මිලදී ගැනීමක් විදිහට. හේතුව 13 වැනිදා එන්න තිබුණ මෙට්‍රික් ටොන් 20,000 සහිත නැව එනකොට තෙල් හිඟයක් ඇති වීමට පුළුවන් නිසා. ඒ නිසා නිලධාරීන් වහාම තවත් මෙට්‍රික් ටොන් 15,000ක්වත් අවශ්‍ය යැයි නිර්දේශ කළා. ඒ නිසා හදිසි අවශ්‍යතාවයට ඩොලර් තුන් ලක්ෂ තිස්පන්දාහක් ගෙවා මිල දී ගත්තේ සංස්ථාවට විදේශ විනිමය එන්නේ ගුවන් තෙල්වලින් නිසයි. කටුනායකදී තෙල් දීගන්න බැරි වුණොත් ගුවන් යානා ඉන්දියාවේ චෙන්නායිවලට ගොස් ඉන්ධන පුරවාගනී. අපෙන් තෙල් ගැනීම නතර වෙයි. ඒ හදිසි ඇණවුම් අනුව නැව ආ යුත්තේ 5 වැනිදා සවස 5-7 අතර වුවත් නැව 10 වැනිදා ආවේ 11ට. 13දා එන්න තිබ්බ එම නැව එද්දි ටොන් 20,000ක තෙල් සහිත ෂෙන් නැව එදින හවස ඇවිත් තෙල් බානවා. ඒ නිසා ප‍්‍රමාද වූ නැව ඇතුළට ගන්න බැරැව ගැඹුරු මුහුදේ රඳවා තිබුණා. කි.මී 5ක් විතර මුහුදේ තියෙද්දි තමයි සාම්පල් ගත්තේ.
ඒ සාම්පල් කොළොන්නාවෙ තියෙන නවීන ඉලෙක්ට්‍රොනික් ලැබ් එකෙන් සහ සපුගස්කන්ද මැනුවල් එකෙන් ටෙස්ට් කරද්දී දෙකෙන්ම ප‍්‍රතික්ෂේප වුණා. ප‍්‍රතික්ෂේප වෙන්න හේතුව රොඩු වැඩි වීමයි. එහෙම දෙයක් ආපහු ක්ලියර් වෙන්නේ දවස් තුනක් විතර තියලා රොඩු බැස්සම. ප‍්‍රතික්ෂේප වෙලා 11 වැනිදා ගිය නැව ආපහු ආවෙ 15. එදා හවස ගත්තු සාම්පල් හොඳ වෙනවා කොළොන්නාව සහ සපුගස්කන්ද දෙකෙන්ම. මේ ආවෙත් මෙඩියිව්ස් කියන අයි.ඕ.සී. නැවමයි. කලින් ගෙනාපු මෙට්‍රික් ටොන් 14,000මයි. එතකොට වෙන නැවකට මාරු කරලා නෑ. නැව වෙන වරායකට ගිය බවක් වාර්තා වෙන්නෙත් නෑ. එහෙනම් ෆිල්ටර් සවිකර ආපහු පොම්ප කරලත් නෑ. දවස් තුනක් තිබ්බාට පස්සේ රොඩු සෙට්ල් වෙලා තිබුණත් අහුවෙනවා. සාම්පල්වලට තෙල් ගන්නෙ යටින්ම නිසා. ඒ නිසා මෙහෙම ක්ලියර් වෙන්න පුළුවන් හේතුව සාම්පල් අරගෙන තියෙන්නේ උඩින් වීමයි. එහෙමත් නැත්තම් මුල් වාර්තාව බොරු වෙන්න ඕන.”
“ලැබ් එක පළවෙනි ටෙස්ට් එක ෆේල් කියලා, ඒ ලැබ් එකම දෙවැනි එක හරියි කියනවා නම්, තාක්ෂණ නිලධාරීන්ට පිළිගන්න වෙන්නේ ඒ රිපෝට් එකම තමයි.” වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමේදී කීවේය.
මේ ඇණවුමේ දී කෝටි ගාණක පාඩුවක් ද සංස්ථාව දරා ඇත. හදිසි ඇණවුමක් කළේ ඉන්ධන නැති වෙතැයි යන බියෙනි. නමුත් මෙඩියිව්ස් නැව එනවිටත් මෙට්‍රික් ටොන් 20,000ක් ද තිබුණි. මෙඩියිව්ස් නැව ආවේත් ප‍්‍රමාද වීය. මේ ප‍්‍රමාද හේතුව නිසාම මේ නැව ප‍්‍රතික්ෂේප කිරීමට තිබුණේ සාම්පල් පරික්ෂා කිරීමට ප‍්‍රථමයෙනි. එමෙන්ම මෙය ගුවන් යානා ඉන්ධන වන නිසා ප‍්‍රථම පර්යේෂණය ෆේල් වූ පසුව හෝ ප‍්‍රතික්ෂේප කරන්න තිබුණි. තෙල් ගනුදෙනුවේදී කොන්දේසි තිබේ. නැවක් ප‍්‍රමාද වී පැමිණියේ නම් ගැණුම්කරුට වන්දි ගෙවිය යුතුය. නැව පැමිණි පසු ගැණුම්කරු ප‍්‍රමාද කළේ නම් විකුණුම්කරුට වන්දියක් ගෙවිය යුතුය. නමුත් පසුගිය පාලන සමයේ සිටම සිදුව තිබෙන්නේ සංස්ථාව විසින් ප‍්‍රමාදයක් වූයේ නම් වන්දි ගෙවීමත් සමාගම විසින් ප‍්‍රමාද වූයේ නම් වන්දි නොගෙවීමත්ය.
“මේ එන්නේ ඉන්දියන් ඔයිල් සමාගමේ බලපෑම. කලින් තෙල් ප‍්‍රශ්නය ආවෙත් ඉන්දියන් ඔයිල් සමාගම අසාධාරණ විදිහට ගෙනැල්ලා ප‍්‍රතික්ෂේප වුණාට පස්සේ ආයෙත් ගේන්නම් කියලා ගේන්න බැරිවුණ නිසා. සමහරවිට ඇමැතිතුමාට සමාගම පාලනය කරන්න බැරි නිසා මෙහෙම වෙනවද දන්නෙ නෑ. අපිට හදිසි මිලදී ගැනීම තුළ ලොකු පාඩුවකුත් වෙලා තියෙනවා. එක බැරල් එකකින් ඩොලර් තුනක් අහිමි වෙලා තියෙනවා. ඩොලර් 840,000ක් අහිමිවෙලා තියෙනවා. ආණ්ඩුව උත්සාහ කරනවා ලංකා ඛණිජ තෙල් සංස්ථාවට මේක හරියට කරන්න බෑ, ඉන්දියන් ඔයිල් සමාගමට ගෙන්වන්න පුළුවන්කම තියෙද්දිත් ඇයි අපි මෙහෙම කරගන්නෙ කියලා පෙන්න ගන්න. ඉන්දියන් ඔයිල් සමාගම දිගින් දිගටම මෙරටට ගුවන් තෙල් ගෙන්වීමට සහ විකිණීමට බලපත‍්‍ර ඉල්ලීම් කරලා තියෙනවා.” එලෙස චෝදනා කළේ ඒකාබද්ධ ඛනිජ තෙල් වෘත්තීය සංගමයේ බන්දුල සමන්කුමාර මහතාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීවේය.
“මත්තල ගුවන්තොටුපොළ විකුණන්න කටයුතු කළොත් අනිවාර්යයෙන් ඉන්දියන් ඔයිල් සමාගමට ගුවන් යානා තෙල් ලබාදීම දෙයි. ඒක හරහා අපිට ඩොලර් නැති වෙයි. අපිට ආර්ථික අර්බුදයක් ඇවිත් තියෙන්නෙ ඩොලර් නැති නිසා. ඩොලරයේ අගය ඉහළ ගිහින්. අපිට ඩොලර් ලැබෙන එක් ක‍්‍රමයක් තමයි ගුවන් යානා ඉන්ධන සපයලා ලබාගන්න ඩොලර්. ආර්ථිකය ගැන කතාකරන අයට මේක තේරෙන්නෙ නැද්ද කියලා මම දන්නෙ නෑ. ඒ නිසා තවදුරටත් ඩොලර්වල අගය ඉහළ ගිහිල්ල රුපියල තවදුරටත් අවප‍්‍රමාණය වීම තමයි ජාතික සම්පත් විකිණීම තුළින් එන බලපෑම. තව ටික කලකින් අපේ රටට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දීලා ඉවරයි. ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකත් අවුරුදු 99කට බදු දීලා. මත්තලත් දීලා. ඇමැතිතුමා කියපු විදිහට සපුගස්කන්ද පිරිපහදු ටිකත් පෞද්ගලික සමාගමකට අවුරුදු 15කට බදු දීලා තනිකර අයිතිය ඒ මිනිස්සුන්ට දුන්නොත් තනිකරම ඒ මිනිස්සු තමයි අවුරුදු 15ම පාලනය කරන්නේ. එහෙම දුන්නට පස්සේ මේ රටේ ඉතුරු වෙන දෙයක් නෑ.”
එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඛණිජ තෙල් අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ මහතා මෙසේ ප‍්‍රකාශ කරයි.
“වාර්තා වෙනස් කරන්න කියලා අපිට බලපෑමක් ආවෙ නම් නෑ. චෝදනා කරන අය හරියට දන්නෙ නෑ. තෙල් එන ක‍්‍රමවේද කීපයක් තියෙනවා. මේ තෙල් ගේන පටවන වෙලාවෙත් ටෙස්ට් එකක් කරනවා ඒ ස්ථානයේම. ඒ සාම්පල් එක පාස්වෙලා තිබුණේ. නමුත් මෙහෙ පළවෙනි සාම්පල් එක ෆේල්. මොකද නැවේ තිබුණ මළකඩ මික්ස් වෙලා. ඒවා ගත්ත ගමන් පේනවා කුඩු කුඩු වගේ. යකඩ වගේ දේවල් බර හින්දා යට තැන්පත් වෙනවා. අපි කිව්වේ ඕක තැන්පත් වෙන්න තියන්ඩ. තැන්පත් වුණාට පස්සේ දෙවැනි ටෙස්ට් එක කරන්ඩ. ඊට පස්සෙත් ඒ විදිහම නම් මේක රිජෙක්ට් කරන්ඩ ඕනෑ. හැබැයි දෙවැනි ටෙස්ට් එකෙන් පස්සේ පාස් වෙනවා නම් අපට ගන්න පුළුවන්. හැබැයි ඒත් නැවේ යටම තට්ටුවට යන මළකඩ ලේයර් එක ගන්න බෑ. අනිත් ටික ගන්න පුළුවන්. දවස් කීපයක් තියලා දෙවැනි ටෙස්ට් එකේ දී එක ටැංකියක හැර අනිත් හැම එකක්ම පාස් වුණා. අපි කිව්වා පාස්වුණ තෙල් තෙල් ටික ගන්ඩ. පාස්වුණේ නැති තෙල් ටික තව තියලා බලන්ඩ. මේක ලංකාවේ පළවෙනි වතාවට කරන එකක් නෙවෙයි. තෙල් ලංකාවට ගේන දවස ඉඳලම ටැංකිවල මළකඩ මිශ‍්‍ර වෙනවා. හැබැයි නෙවෙස්කා ලේඩි නැවේ සිද්ධවෙලා තිබුණේ ඒක නෙවෙයි. හැබැයි මේක එහෙම නෑ. දවස් දෙකක් තිබ්බ ගමන් හරි යනවා. සාමාන්‍ය ක‍්‍රියාවලියක්. ඒ නිසයි අපි ගන්න කිව්වා. දැන් බාපු කොටස හොඳටම හොඳයි. කිසි අවුලක් නෑ. සමහර අවබෝධයක් නැතුව බාල තෙල් කියනවා.”
“ගුවන් යානා තෙල් අපිට ඕන විදිහට ගුවන් යානාවලට ගහන්න බෑ. අපි ගුවන් යානාවලට ගහන්න ඉස්සෙල්ලා ඒකේ සාම්පල් එකක් පයිලට් බලනවා. ඔහු තීරණය කරනවා හරිද නැද්ද කියලා. අපි බාල තෙල් ගත්තත් අපිට විකුණන්න බෑ කවදාවත්. පයිලට් පාස් කරන්නෙ නෑ. ප්ලේන් එකට යමක් වුණොත් පයිලට් වගකියන්න ඕන. ඒ නිසා බාපු ටිකේ කිසිම අවුලක් නෑ. නැවේ දැන් තට්ටුවක් ඇති. ඒක අපි බාන්නේ නෑ. ගත්ත ටික ප‍්‍රමිතියෙන් හොඳටම හොඳයි. ඒක වගකීමක් ඇතිව කියන්න පුළුවන්.”
මේ සිදුවීම හේතුවෙන් ගැටලුවක් සිදු වූ බවට වාර්තා වී නැතැයි ගුවන් තොටුෙපාළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති එච්.එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
සිපෙට්කෝ ගුවන් තෙල් හී ප්‍රධාන කාර්යයන් වන්නේ ඉන්ධන පිරවීම පිරිසුදු හා වියළි ලෙස සිදු කිරීම, නවීන පිරිවිතරයන්ට අනුකූලව නිවැරදි ගුවන්යානයට නිවැරදි කාලයට අරපිරිමැස්මෙන් ආරක්‍ෂිතව සහ පරිසර හිතකාමී ලෙස ගුවන්තෙල් සැපයීම යැයි එහි නිල වෙබ් පිටුවේ සඳහන් වෙයි. ගුවන් තෙල්වල පිරිසුදුභාවය සහ ඒවා අපිරිසිදු වීම වැළැක්වීම නවීන ගුවන්යානාවල වැදගත්ම කරැණකි. නැතිනම් ගුවන්යානා එන්ජිමේ ආයු කාලය සහ ආරක්‍ෂාව මෙන්ම නඩත්තු පිරිවැය කෙරේද ඒවා විශාල බලපෑමක් ඇති කරයි. එබැවින් ගුවන්තෙල් මෙහෙයවීමේ කටයුතුවලදී තත්ත්ව පාලනය සහ නඩත්තුව අතිශය වැදගත්ය. AFQRJOS ඒකාබද්ධ මෙහෙයුම් පද්ධති සඳහා ගුවන් තෙල්වල ගුණාත්මකභාවය පිළිබඳ අවශ්‍යතා යටතේ වන නවීනතම පිරිවිතර පිරික්සුම් ලේඛනය ප්‍රකාර සිපෙට්කෝ පිරිපහදුවේදී ගුවන් තෙල් නිෂ්පාදනය කරනු ලබයි.
ගුවන් ඉන්ධන අතුරින් ජෙට් ඒ-1 සහ ඒ.වී වායු කටුනායක, මත්තල හා රත්මලාන යන ස්ථාන තුනෙන්ම ලබා ගත හැකිය. ජෙට් ඒ-1 බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ DEF STAN 91-91 හා ගුවන් ටර්බයින් තෙල් සඳහා ප්‍රකාශයට පත් කරන ලද ASTM ප්‍රමිති පිරිවිතර D1655 ප්‍රමිතිය යටතේ ද සපයනු ලැබේ. ගුවන් පෙට්‍රල් 100 LL බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ DEF STAN 91-91 යන නවීනතම ප්‍රමිති යටතේ ලබාගත හැක. වර්තමාන තාක්‍ෂණ සේවා සැපයුම්කරුවා වන්නේ පෙට්‍රොනාස් ඒවියේෂන් සමාගමයි. දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා Joint Inspection Group (JIG) මගින් ලබා දී ඇති ශ්‍රේණිය ‘Good’ ය. නමුත් මේ යන තත්ත්වය අනුව අපට Excellent ඉලක්කයට නොව Bad තත්ත්වයට යාමට සිදුවිය හැකිය.
I සටහන: සකීෆ් සාම් තන්වීරි