2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

කන්ගැට්ටලාගෙන් කටුගේ රැකගන්න!

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 398

පසුගිය දිනෙක පාසල් පද්ධතියේ ප්‍රථම විධිමත් පාසල් කෞතුකාගාරය විවෘත කිරීම ගැන පුවතක් අප සහෝදර ලංකාදීප පුවත්පතේ වෙබ් මුද්‍රණයේ පළව තිබුණි. එයට දැක්වූ පාඨක අදහස් කියවන විට මෙරට කෞතුකාගාර ගැන පොදු ජනතාව තුළ පවතින මතවාදය ප්‍රකට විය.

මේ එම පාඨක අදහස් කිහිපයකි.

හැමතැනම සීසීටීවී හයිකරලා. කටුගේ ඇතුළ පිට යන එන අය නිරීක්ෂණය කිරීමට දිවා රාත්‍රී මුරසේවා යොදා ආරක්ෂාව තර කරන්න.

ඔන්න දැන් ළමයින්ට කටුගෙවල් බිඳින්නත් ඉගෙනගන්න පුළුවන්.

කඩුව තමයි ෂුවර් නැත්තේ.

බලාගෙන ළමයිනේ, කන්ගැට්ටාගෙන් ප්‍රවේසම් වන්න.

මෙම අදහස්වලින් පැහැදිලි වන්නේ සාමාන්‍ය ජනතාව තුළ මෙරට කෞතුකාගාරවල ආරක්ෂාව ගැන විශ්වාසයක් නැති බවය. ඒ බව තවදුරටත් හෙළිකරමින් පසුගියදා රාජ්‍ය ගිණුම්කාරක සභාව තම වාර්තාවක් මගින් පාර්ලිමේන්තුවට දන්වා තිබුණේ 2012 වර්ෂයේ සිදුවූ කෞතුකාගාර කඩු ඇතුළු පුරාවස්තු සොරකමට වසර 12 ක් ගතවීත් එහි ආරක්ෂාවට නිසි වැඩපිළිවෙළක් නැති බවය.

මෙම වාර්තාව සකස් කර ඇත්තේ මේ වර්ෂයේ ජනවාරි සිට මැයි දක්වා ආයතන 36 ක් රාජ්‍ය ගිණුම්කාරක සභාව හමුවට කැඳවා කරන ලද විමර්ශන අනුවය. එහිදී හෙළිවී ඇත්තේ කෞතුකාගාරයේ නිසි පරිදි ආරක්ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කර නැති බවත්, දැනට පවතින කැමරා පද්ධතියේ දුර්වලතා රැසක් පවතින බවත්ය. රාත්‍රී කාලයේ දර්ශන ඉන් ලබාගැනීමට නොහැකි බවද හෙළිවී ඇත.

වර්ෂ 2012 දී හොරකම සිදුවන අවස්ථාවේ සීසීටීවී කැමරා පද්ධතිය අක්‍රීය වී පැවතුණු බව පැවසුණි. එම පද්ධතිය මේ වනතුරු නිසි ලෙස ස්ථාපිත කර නැති බවද වාර්තාව සඳහන් කරයි.

වර්ෂ 2012.08.16 දා රාත්‍රී කෞතුකාගාරය බිඳ රන් ආලේපිත අසිපත් අටක්, බස්තමක හිස කොටසක්, රන්මුදු හයක්, දඹරන් කහවනු දෙකක්, පැරුණි මුදල් තොගයක්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භාවිත කළ අසිපතක් ආදී මිල කළ නොහැකි පුරාවස්තු සම්භාරයක් සොරාගෙන ගොස් තිබිණි. මේ ගැන ඒ දිනවල මාධ්‍ය සංදර්ශන පවත්වමින් පරීක්ෂණ සිදුකළද ටික කලකින් එම උණුසුම මැකී ගියේය.

රාජ්‍ය ගිණුම්කාරක සභාව ජාතික කෞතුකාගාරයට උපදෙස් දී ඇත්තේ වෙනත් රටවල ජාතික කෞතුකාගාරවල සොර සතුරු, ගිනි ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ආරක්ෂණ පද්ධති පිළිබඳව අධ්‍යයනය කර ඒ පිළිබඳ විශේෂඥ කණ්ඩායමකගෙන් උපදෙස් ලබාගත යුතු බවය. ඊටපසු ආරක්ෂාව සුරක්ෂිත කිරීමට වැඩපිළිවෙළක් සකසන ලෙසයි. මෙලෙස උපදෙස් දෙන අතරම ඒ සඳහා වැයවන විශාල පිරිවැය ලබාදීමටද රජය කටයුතු කළ යුතු වේ. නැතහොත් වන්නේ මේ නියෝග පොතට පමණක් සීමාවීමයි.

ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ මෙන්ම ප්‍රකට පුරාවිද්‍යාඥයකු ද වන ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහට අප කතා කළේ මේ ගැන ඔහුගේ අදහස දැනගැනීමටයි.

කෞතුකාගාරයේ සමහර මැදිරිවල තිබෙන්නේ දෑකැති, නඟුල් වගේ ගොවි උපකරණ. මීහරක්, කුල්ල වගේ ඒවාත් තිබෙනවා. ඉතින් ඒ වගේ තැන්වලට සීසීටීවී කැමරා අවශ්‍ය නෑ. කෞතුකාගාරයේ තෝරාගත් තැන්වලට මේ වනවිටත් කැමරා සවිකර තිබෙනවා. ඒ වගේම පොලිස් ඒකකයක් දැන් පිහිටුවා තිබෙනවා. රාත්‍රී මුර සේවයක් ද ක්‍රියාත්මක වෙනවා. දවාලට සෑම ගැලරියකටම ආරක්ෂක නිලධාරීන් එක් අයෙක් හෝ දෙදෙනෙක් සේවය කරනවා. ඔහු පැවසුවේය. එමෙන්ම පොලීසිය සමඟ සම්බන්ධව කටයුතු කරන බවද ඔහු කීවේය.

අපි වහලා ගිහින් යතුරු ටික තියන්නේ පොලීසියේ. පසුදින උදේට පොලීසියෙන් තමයි යතුරු අරගන්නේ. එවැනි සෑහෙන ක්‍රමවේදයක් තිබෙනවා. කෞතුකාගාර සොරකම් බොහෝවිට වාර්තා වෙනවා. මහනුවර කෞතුකාගාරයේ තිබූ සෙනරත් රජුගේ ඔටුන්නත් පී.ඊ.පී. දැරණියගල හිටපු කාලේ සොරකම් කළා. හොරා හමුවන විට ඔටුන්න කෑලිවලට කපලා උණු කරලා. කොළඹ කටුගෙයි මෙයට පෙර පොඩි පොඩි හොරකම් සිදුවුණා. නමුත් හැමෝගෙම ඇස් ඇරුණේ 2012 මහා හොරකමෙන් පස්සෙයි. ඒ වගේම ලංකාවේ තිබෙන අනෙක් ජාතික කෞතුකාගාර වගේම පුරාවිද්‍යා කෞතුකාගාරවල ආරක්ෂාව ගැනත් අවධානය යොමුකළ යුතුයි. ඒවායෙත් වටිනා පුරාවස්තු, ස්මාරක රාශියක් තිබෙනවා.

කොළඹ ජාතික කෞතුකාගාරය පසුගිය පෙබරවාරියේ දී නවීකරණය කර විවෘත කෙරුණි. නමුත් එයට නවීන ආරක්ෂණ පද්ධතියක් සවිකර නැති බවයි. ගිණුම්කාරක සභා වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. මෙහි පළමු මහලේ මැදිරි 6 ක්ද, උඩුමහලේ මැදිරි 10 ක්ද වශයෙන් පවතී. මේ අතරින් දැනටත් සිංහාසන මැදිරිය, අවි ආයුධ හා කලා ශිල්ප මැදිරිය, කාසි සහ මුදල් ආදී මැදිරිවලට වැඩි ආරක්ෂාවක් සපයා තිබේ.

කොළඹ ජාතික කෞතුකාගාරය 1876 දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරැණි. වසර 140කට වඩා පැරණි මෙම ගොඩනැගිල්ල මහල් දෙකකින් යුක්තය. එහි ඇති ශාඛා කෞතුකාගාර සංඛ්‍යාව අටකි. ඒ අතරින් ඕලන්ද යුග කෞතුකාගාරය (පිටකොටුව), මහනුවර කෞතුකාගාරය, රත්නපුර කෞතුකාගාරය ආදී කෞතුකාගාරවලටත් දැනට වඩා වැඩි ආරක්ෂාවක් අවශ්‍ය වේ. එයට හේතුව පුරාණ රාජ සමයන්වලට අයත් පුරාවස්තුවලට ලොබ බඳින ඒවා කෙරෙහි ඇස ගසාගෙන සිටින හොරු රට පුරාම සැරිසරන බැවිනි.

ශ්‍රී ලංකාවේ විශාලතම කෞතුක භාණ්ඩ එකතුව රැස්කර තිබෙන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේය. ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, සංක්‍රාන්ති යුගය, මහනුවර යුගය, චිත්‍ර, රෙදිපිළි සහ පිඟන් භාණ්ඩ, ධජ පතාක, අත්කම් හා කලාශිල්ප ඇතුළු මහජන ගැලරිවල මෙන්ම එහි ගබඩාවලත් මෙම පුරාවස්තු තැන්පත් කර තිබේ.

ආරම්භයේ දී පුරාවිද්‍යාත්මක භාණ්ඩ හා අත්කම් හා ස්වර්ණාභරණ වැනි භාණ්ඩ 1192 ක් එහි පැවතුණද පසුකාලීනව එයට තවත් පුරාවස්තු රාශියක් එකතු විය. මේ නිසා ගොඩනැගිල්ල ඉඩ මදිවීම නිසා එහි නැගෙනහිර පසින් 1909 දීද බටහිර පසින් 1930 දී තවත් ගොඩනැගිලි දෙකක් ඉදිකෙරුණි. කෞතුකාගාර ගොඩනැගිලි තුළ මෙන්ම විවෘත ආලින්දවලද පුරාවස්තු තැන්පත් කර තිබේ. ශෛලමය හා සමහර දැව භාණ්ඩ එළිමහන් ආලින්දවල දැකගත හැකිය.

මේ නිසා කෞතුකාගාරයේ ආරක්ෂාව නම් අත්‍යවශ්‍ය සාධකයකි. අමෙරිකාවේ මෙන්ම යුරෝපයේ කෞතුකාගාරවල ද තම කෞතුක භාණ්ඩ ආරක්ෂාව සඳහා සාම්ප්‍රදායික ක්‍රමවලට අමතරව නවීන උපක්‍රම භාවිත කෙරේ. වටිනා චිත්‍ර ආදියේ පිටුපස රැහැන් රහිත සංවේදක සංඥා උපකරණ සවිකිරීම ලේසර් කිරණ එවැනි උපක්‍රමවේ. අමෙරිකානු කෞතුකාගාර සංගමයේ ආරක්ෂක කමිටු සංගමය කෞතුකාගාර ආරක්ෂාව සඳහා ඉතා ක්‍රමවත් වැඩපිළි‍වෙළක් සකස් කර තිබේ. ශ්‍රී ලංකාවට ද එවැනි සැලැස්මක් අවශ්‍යය.

► කුසුම්සිරි විජයවර්ධන
       සේයාරූ: අන්තර්ජාලයෙනි