අපේ ප්‍රදේශයේ සිටින දේශපාලන උණකාරයෙකු වන වංහුං සැම්සන්, මෙදා පාර පොහොට්ටුවෙන් බැරි නම් නැට්ටෙන් හරි ඉල්ලනවා. යැයි පුරසාරම් දොඩමින් තැන තැන ඇවිද්දේය. ඔහුගේ උප්පැන්නයට සම්බන්ධයක් නැති වංහුං කෑල්ල, ප්‍රදේශවාසී හිතවතුන් විසින් පිරිනැමූ ගෞරව නාමයකි. සැම්සන් ද ඊට කැමති විය. ඔහු දුරකථන ඇමතුමක් දුන්නත් අයියේ මං මේ වංහුං කතා කරන්නේ යැයි කියන්නේ එහෙයිනි.
උඳුවප් සීතල තදින් දැනුණු සවස් කාලයක රත් වෙම්දෝ නොවෙම්දෝ යි සිතමින් සිටියදී, වංහුං මා හමුවීමට ආවේය. ඔහුගේ මුහුණ දිල්ලියේ අහස මෙන් අඳුරු වී තිබුණි.
මොකද වංහුං මූණ එල්ලගෙන?
හරි අප්සෙට් එකනේ වුණේ. ඇයි අයියට ආරංචි නැද්ද?
නෑ. නෑ. මොකද වුණේ?
මගේ නොමිනේෂන් එක රිජෙක්ට් වුණානේ.
අයියෝ ඇත්තද... ඉල්ලුම් පත්තරේ හරියට පුරවන්ඩ නැතුව ඇති
ඒකනේ කියන්නෙ අයියේ. ඉල්ලුම් පත්තර පුරවන්ඩ දන්නවනම් අපි ඡන්දෙ ඉල්ලනවයැ. ඒ නිසා, මම සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව ලෝයර් කෙනෙක්ට වැඩේ බාර දීලා තිබුණේ. බැලින්නම් ඒකා දෙකයි පනහේ පෙරකදෝරුවෙක්. වැඩේ හරියට කරලා නෑ. මාර සවුත්තුව අයියේ
මැතිවරණ කොමිෂන් සභාවේ දේශප්‍රිය මහත්තයා කියලා තිබුණා ඒගොල්ලෝ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්නේ කැමැත්තෙන් නෙවෙයි නොකර බැරි කමට කියලා. ඒ මහත්තයට පුළුවන්කමක් තිබුණනම් ඔය ඔක්කොම නාම යෝජනා රිජෙක්ට් කරලා දායි. මිනිහට මේ රට ගැන කැක්කුමත් තියෙන බව පේනවා.
දැන් ඉතින් කරන්ඩ දෙයක් නෑ අයියේ. ක්‍රොස් ඕවර් එකක්වත් දාන්ඩ තමයි වෙන්නේ
දැන් ඉතින් ගෙඹි පිනුම් පැනලා වැඩක් තියෙනවයෑ
එහෙම නෙවෙයි අයියේ. දැන් දැන් ක්‍රොස් ඕවර් කරන අයට ඇමැතිකම් දෙනවනේ. එහෙම කෙනෙක් ළඟට හේත්තු වුණොත් ගොඩ තමයි.
වංහුං පුළුල් සිනාවක් පෑවේය.
ඒත් වංහුං පනින පනින එක්කෙනාට දෙන්න, කොහෙද ඔය හැටි ඇමැතිකම් තියෙන්නේ?
මම ඇසුවෙමි.
ඒක සිම්පල් වැඩක්නෙ අයියේ. සම්පූර්ණ ඇමතිකමක් නැතත් මොකද, නියෝජ්‍ය පට්ටමක් හරි හම්බවෙනවනම්
දැන් නියෝජ්‍යලත් වැඩි වෙලානෙ ඉන්නෙ
ඉන්නකො කියනකල්, මම උදාහරණයක් පෙන්වන්නම්. අධිකරණ ඇමැති ළඟට නියෝජ්‍ය කෙනෙක් දානවා. මූල්‍ය අපරාධ ඇමැති කියලා
ඒකනම් හොඳයි තමයි. එක්කෝ මිනිහත් ඩීල් දාගෙන ඉඳී. නැත්නම් නඩු ටික ඉක්මන් කරලා පෝලිමට ඉස්පිරිතාලේ යවයි.
ඉස්පිරිතාලේ?
ඔව් දැන් ලොක්කො හිරේ දාන්නේ නෑනේ. ඉස්පිරිතාල වාට්ටුවට යවන්නේ
ඒක ඇත්ත. සේරම ලෙඩ්ඩු
ඉතින් වංහුං, තව ඇමැතිකමක් ගැන කියනවකො. එකෙක් දෙන්නෙක් නෙවෙයිනේ පිල් මාරු කරන්නේ. හැමෝටම එක හැන්දෙන් බෙදන්න එපැයි.
වරාය හා ධීවර කටයුතු ඇමැති ළඟට දානවා. හම්බන්තොට වරාය අධීක්ෂණය හා චීන සම්බන්ධතා ඇමැති කෙනෙක්.
ඒකත් නරකම නෑ. මිනිහට බැරියෑ හම්බන්තොට මුහුදෙනුත් කොටසක් චීනෙට විකුණගන්ඩ.
මුදල් ඇමැති ළඟට දානවා බැඳුම්කර අධීක්ෂණ නියෝජ්‍ය ඇමති කෙනෙක්.
ඇත්තටම වංහුං, ඒකත් නියම අදහස. එතකොට එයාට තමයි සම්පූර්ණ වගකීම... ඊට පස්සේ කවුරුවත් ස්වෙච්ඡාවෙන් සාක්කි දෙන්ඩ යන්ඩ ඕනෙත් නෑ.
ක්‍රීඩා ඇමැති ළඟට යවනවා කණ්ඩායම් තේරීමේ සහ පුහුණු කිරීමේ නියෝජ්‍ය ඇමති කෙනෙක්.
බොහොම අගෙයි. එතකොට කණ්ඩායම්වල අභ්‍යන්තර ප්‍රශ්න මොකුත් මතුවෙන්නේ නෑ. අනිත් අතට අපේ ක්‍රිකට් ටීම් එක දැන් දැන් පරදින විදිහට, ක්‍රීඩා ඇමතිලා දෙතුන් දෙනෙක්වත් නැතුව බෑ.
ඒකනම් ඇත්ත අයියේ. ලැජ්ජ බය තියෙනවනම් මෙලහකටත් ඉල්ලා අස්වෙලා.
ලජ්ජා බය තියෙන එවුන් ලංකාවේ දේශපාලන කෙරුවේ 1948ට කලින්. එහෙම අය ඉන්නවානම් පාර්ලිමේන්තුවම හිස් වෙයි. ඒ කතා වැඩක් නෑ. තව ඇමැතිකමක් ගැන හිතනවකෝ.
වංහුං හිස කසමින් කල්පනා කළේය.
අපි ජනමාධ්‍ය ඇමැතිතුමාට දෙමු, ටෙලි නාට්‍ය කටයුතු බාර නියෝජ්‍ය ඇමැති කෙනෙක්.
ටෙලි නාට්‍ය ගැන බලන්න ජනතාව ඉන්නවනේ. ඒකට මොකටද ඇමැති කෙනෙක්?
එයාට පුළුවනි ටෙලි නාට්‍යයක එක කොටසකින් පනස්දාහ ගානේ අරගෙන ඇමතිගේ මහජන සේවා අරමුදලට දාන්න. අසරණභාවයට පත්වුණු තරුණ ටෙලි නිළියන්ට මහල් නිවාස, රථ වාහන පිරිනමන්න.
අනේ ඒකනම් ලොකු පින්කමක්. නළුවන්ටත් මොනවාහරි දුන්නොත් නරකද?
ඒගොල්ලන්ටනං බෙල්ලේ වැල දා ගන්න හොඳ කඹයක් දුන්නම ඇති.
මම වංහුං සමඟ තර්ක කරන්නට නොගියෙමි. එහෙත් ඒ මොහොතේ මගේ සිතට නැඟුණු අවංක අදහස වූයේ, කඹය වෙනුවට, පිස්තෝලය බැගින් දිය හැකි නම්, එය ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය කර්මාන්තයේ අභිමානය පිණිස හේතුවිය හැකි බවය. එය, ටෙලි සම්මාන උළෙලකදීම ප්‍රදානය කළ හැකිනම්, සම්මාන නොලබන නළු - නිළියනට එසැණ රංගනයක යෙදීම සඳහා ඉතා ප්‍රයෝජනවත් විය හැකිය. (මෙම ප්‍රදානයන්ට නුසුදුසු සහ ඒවා ප්‍රතික්ෂේප කිරීමට පෙළඹෙන රංගන ශිල්පී, ශිල්පිනියන් ද මෙරට කලා ක්ෂේත්‍රයේ සිටිනා බව දන්නෙමි. මාධ්‍යවේදියා සහ පුවත්පත් කලාවේදියා අතර මෙන්ම, නළුවා සහ රංගන ශිල්පියා අතර ද පැහැදිලි වෙනසක් ඇතැයි, බී. බී. සී. ආයතනයේ සමීක්ෂණයකින් හෙළිවී ඇත.)
මා කල්පනා කරමින් සිටින බව දුටු වංහුං, මට බාධා නොකර පිටව යාමට සැරසුණි.
වංහුං යන්ඩද ලෑස්ති. තමුසෙට බැරිද මටත් මොනවාහරි ඇමැතිකමක් සෙට් කරන්ඩ
මොකද බැරි? මම අයියව දාන්ඩද කමල් ගුණපාල ඇමතිතුමා ළඟට?
අනේ එපා. ඊට හොඳයි කෝච්චියට බෙල්ල තියන එක.
එහෙනම් ලෝන් අගුණතුංග ඇමතිතුමා ළඟට දාන්නම්?
අනේ එපා. ඇදගෙන නාලම නිව්මෝනියාව හැදිලා මැරිලා යයි.
වංහුං අඩියක් ගැසීමටවත් නොඉඳ, අඩියට දෙකට ගෙදරින් එළියට බැස්සේ, හිනාව පුපුරා යන්නට පෙරය.
♦කපිල කුමාර කාලිංග