2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ගස් උඩ ගෙවල්වල තේ හදාගෙන බොන්න උණු දිය නාන්න මෙන්න යායුතු තැන

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

හම්බන්තොට වීරවිල වැව ආශ්‍රිත ප්‍රදේශය මේ වන විට ශීඝ්‍රයෙන් සංචාරක අවධානය, ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් බවට පත්වෙලා. දෙබරවැව සහ තිස්සමහාරාම නගරයන්ට මැදිව පිහිටා තිබෙන වීරවිල වැව අවට මේ වනවිට සංචාරක නවාතැන් කිහිපයක්ම බිහි වී තිබෙනවා. වීරවිල වැව් බැම්මේ සිට මීටර 200 ක් පමණ දුරින් පිහිටා තිබෙන සරායි විලේජ් හෝටලය ඒ අතරින් විශේෂයි.

මේ අපූරු නවාතැන එහි පැමිණෙන සංචාරකයන්ට අලුත් අත්දැකීමක් වගේම අපේ රටේ ගැමි සුන්දරත්වයට අතිශය සමීප හැඟීමක් සහ අවකාශයක් උදාකරදීමට සමත් ස්ථානයක්. රෑ දෙස් සංචරණ සංකල්පය ගුරු කරගනිමින් ඉදිවෙලා තියෙන මේ හෝටලය පරිසර හිතකාමීත්වය පිළිබඳ ඉහළ අවධානයක් යොමුකර තිබීමත් කැපීපෙනෙන ලක්ෂණයක්. 
මේ හෝටලයේ කාමර ඉදිකර තිබෙන්නේ අපේ රටේ අතීත ගැමි නිවාස ඉදිකර තිබූ ආකාරයටයි. ඒ නිසාම මැටියෙන් තැනූ නිවාස, හේනේ පැලක ආකෘතියට නිමකළ නිවාස දකින්න පුළුවන්. මේවායේ විශේෂත්වය තමයි ස්වභාවික පරිසරය සමඟ හොඳින් මුහුවන අයුරින්, ස්වභාවික වාතාශ්‍රය ලැබෙන අයුරින් නිර්මාණය කර තිබීම.

මේ හෝටලයේ නමට යොදා තිබෙන සරායි කියන වචනය බයිබලයේ සඳහන් වචනයක්. හීබෘ භාෂාවෙන් සරායි කියන්නේ සාරය යන අදහසයි. එම වචනය භාවිත කිරීමට උපරිම සාධාරණය ඉටුකරමින් මේ හෝටලය වෙත පැමිණෙන සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සැබෑ අනන්‍යතාව අත්විඳින්න ඉඩ සැලසෙනවා.

මෙහි නවාතැන් පහසුකම් සැලසෙන්නේ මැටියෙන් තැනූ නිවාස පහක් සහ ගස් මත ඉදිකළ නිවාස පහක් වශයෙනුයි. ඒ වුණත් තේ සහ කෝපි පිළියෙළ කරගැනීමේ පහසුකම්, උණුසුම් සහ සීතල ජල ස්නාන පහසුකම්, මදුරු දැල්, විදුලි පංකා, දුරකතන, වයිෆයි ඇතුළු බොහෝ නවීන පහසුකම් මේවායේ අඩංගුයි.

මෙතැන පිළිගන්වන ආහාරපාන වුණත් බොහෝදුරට කාබනික එළවළු සහ පළතුරු වීම විශේෂත්වයක්. ඒ වගේම මස් මාළු ආදිය වුණත් නැවුම්. ඒ සියල්ල අතරින් වීරවිල වැවෙන් ලබාගන්නා ඉස්සන් ආහාර දීසිය මෙතැනට එන හැම සංචාරකයෙක්ටම ඔවුන් නිර්දේශ කරනවා. ඔවුන් පිරිනමන රසවත්ම ආහාර දීසියක් ලෙස එය හැඳින්විය හැකියි. අඟල් 14 ක් 16 ක් දක්වා දිගින් යුතු මේ මිරිදිය ඉස්සන් ලංකාවේ විශාලම මිරිදිය ඉස්සන් විදිහටත් සැලකෙනවා. 

මීට අමතරව ශරීර යෝග්‍යතාවටත් මෙහිදී වැඩි තැනක් හිමිවෙනවා. යෝගා පුහුණු කිරීම් සඳහා රුසියානු උපදේශකවරියකුත් මේ හෝටලයේ සේවය කරනවා.

මෙහි සිට බුන්දල, යාල, සිතුල්පව්ව, කතරගම, කිරිවෙහෙර, උඩවලව, කලමැටිය, මිරිජ්ජවිල, ලුණුගම්වෙහෙර, පලටුපාන ආදී සංචාරක වැදගත්කමකින් යුත් බොහෝ ස්ථාන කරා කෙටි වේලාවකින් ළඟාවිය හැකියි. 

♦ සනත් වීරසූරිය 
සේයා රූ - අමිල ගමගේ