මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස
සම්මානිත මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු සිංහල මහාචාර්යවරයාය. ඊට පසු ඔහු සිංහල විශ්වකෝෂයේ කතු පදවිය ද දැරුවේය. සිංහල භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ ප්‍රාමාණික උගතෙක් වන ඔහු පර්යේෂණ කෘති රාශියක කතුවරයා ද වේ. දේව ඇදහිලි, ජාතිකත්වය සහ භාෂා විෂයය ආදි විෂයයන් ගැන ඔහු අධ්‍යයනය කර කෘති පළකර තිබේ.
මේ දිනවල ඔබ නිරතවන සාහිත්‍ය කටයුතු ගැන විස්තර කළොත්...?
මහාචාර්ය කේ.එච්.ද සිල්වා ඉංග්‍රීසියෙන් ලියූ ඩී.එස්. සේනානායක චරිතාපදානය සිංහලට පරිවර්තනය කිරීම කරනවා. නිදහස ලබාගැනීමට ඩී.එස්. කළ ප්‍රයන්ත ගැන හුඟ දෙනෙක් නොදන්නා කරැණු එම කෘතියේ ඇතුළත්.
මහාචාර්ය කේ.එම්.ද සිල්වාගේ ඩී.එස්. පොත උගතුන් අතර සම්භාවනාවට ලක්වූ කෘතියක් නේද...?
ඔව්... මහාචාර්ය කේ.එම්.ද සිල්වා පේරාදෙණියේ හිටපු ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයාගේ. එතුමා ජාත්‍යන්තර කීර්තියට පත් විද්වතෙක්. එතුමා මේ පොත ලිවීමට ලන්ඩන්වල තිබෙන පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ තිබෙන රහස් ලිපි පවා විමර්ශනය කර තිබෙනවා. දුලබ කරුණු රැසක් මෙහි අඩංගු වෙනවා.
අද ලංකාවත් තොරතුරු තාක්ෂණය පැත්තෙන් දියුණු වෙලා. නමුත් පාඨකයා සාහිත්‍යයෙන් ඈත් වෙලා බවයි පෙන්නේ...?
ඒක ඇත්ත කාරණයක්. දැන් පොතපත ගැන ඉස්සර තරම් උද්යෝගයක් නෑ. ඒකට හොඳම උදාහරණය තමයි උදේට හැම රූපවාහිනී චැනල් එකකම ප්‍රවෘත්ති සිරස්තල වැඩසටහන් කරනවා. නමුත් ඒ එකකවත් සාහිත්‍ය ලිපි ගැන පොඩ්ඩක්වත් කියවන්නේ නැහැ. ඒක පුදුම සහගත දෙයක්. ලංකාදීපයේ විමංසා කියලා පිටු 4ක අතිරේකයක් කරනවා. තවත් පත්තරවල සාහිත්‍ය පිටු තිබෙනවා. නමුත් ඒවා ගැන විද්‍යූත් මාධ්‍යවල අවධානයක් නෑ. ඒක අපරාධයක්.
අද විද්‍යුත් මාධ්‍යවල සාහිත්‍ය වෙනුවට නළු නිළියන්ගේ ඕපාදූප වැදගත් වෙලා වගේ...?
ඔව්... සාහිත්‍ය ගැන මුද්‍රිත මාධ්‍යවල තිබෙන උනන්දුව විද්‍යුත් මාධ්‍යවල දක්නට නෑ. ඒක මාධ්‍යවල එක්තරා වගකීමක් කියලා මට හිතෙනවා. නැත්නම් සාහිත්‍ය ගැන තිබෙන උනන්දුව ගිලිහිලා යන්න ඉඩ තිබෙනවා.
ඔබ දකින විදිහට අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ විද්‍යුත් මාධ්‍යත් සාහිත්‍යයට කෙණෙහිලිකම් පෙන්වනවාද...?
නෑ... මම දන්න විදිහට නම් නෑ. සාහිත්‍යා ද කාරණා පිළිබඳව ඒ රටේ විද්‍යුත් මාධ්‍යවල ලොකු අවධානයක් තිබෙනවා. අපේ රටෙත් කලින් එහෙම තිබුණා. පුවත්පත් සිරස්තල මෙහෙයවන පුද්ගලයා අනුව තමයි මෙහෙම වෙන්නේ. අද තරුණ නිවේදකයෝ තම තමන්ගේ රුචි අරුචිකම් අනුව තමයි වැඩසටහන් කරන්නේ. එයාලා සාහිත්‍ය ගැන දන්නේ මොනවාද?
රටේ රසඥතාව වර්ධනයට මාධ්‍යවලට වගකීමක් තිබෙන බව පේන්නේ නැහැනේ...?
ඔව්... ඒක ඇත්ත. 70 දශකයේ ආණ්ඩුවේ ලොකු වගකීමක් වශයෙන් සාහිත්‍ය රසවින්දනය සැලකුණා. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටවලා හොඳ චිත්‍රපට නිෂ්පාදනයට උදව් කළා. සංස්කෘතික අමාත්‍යංශය මඟින් සාහිත්‍ය කෘතිවලට සහයෝගය දුන්නා.
80 දශකයේ ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ පිහිට වූ ජාතික රූපවාහිනියේ සභාපති වශයෙන් පත්වූ එම්.ජේ. පෙරේරා සියුම් රසඥතාවයකින් යුත් බුද්ධිමතෙක්. ඔහු ජාතික රූපවාහිනිය මඟින් ශාස්ත්‍රීය සංගීතය, සම්භාව්‍ය සංගීතය වගේ දේවල් ගැන අපූරු වැඩසටහන් කළා. මම හිතන්නේ රටේ උසස් රසඥතාව ගැන වගකීමක් ජනමාධ්‍යවලට තියෙන බවයි. ඒ වගකීමෙන් ඔවුන්ට බැහැරවෙන්න බැහැ.
ජනමාධ්‍ය ඒ වගේ ජාතික වගකීමකින් ඈත්වෙලා ඉන්නේ මාධ්‍ය අතරම තිබෙන තරගය නිසා නේද...?
අන්න හරි. රේටිං තරගයකුත් තිබෙනවා. මම දන්නෙ නෑ සාහිත්‍ය ගැන කතා කළොත් රේටිං බහීද කියලා. නමුත් මම හිතන විදිහට නම් රටේ සාහිත්‍යයට, උසස් රුචිකත්වයට කැමති එක්තරා පිරිසක් ඉන්නවා. ඒ බව ජනමාධ්‍ය අමතක නොකළ යුතුයි.
ජනමාධ්‍ය බලධාරින් විසින් ඒවා නියාමනය කරන බවක් පෙනෙන්නෙ නැහැනේ...?
ඔව්... එහෙම දෙයක් පෙන්නේ නෑ. මුදල් හඹායන ව්‍යාපාරික සංස්කෘතියක් තමයි පෙන්නේ. මේවායේ ඉන්නේ බොහොම අප්‍රබුද්ධ පිරිසක් වෙන්න පුළුවන්. රටේ සංස්කෘතිය, සාරධර්ම, කලාත්මක දේවල් ගැන පැවසීම කියන්නේ යහපත් දෙයක්. මිනිසුන්ගේ මනස ගොඩනැගීමක්. සාහිත්‍යයෙන් කරන්නේ මිනිසුන්ගේ මනස හැඩගැස්වීමක්. ඒක රටේ දියුණුව පෙන්වන කැඩපතක්. ඒක ඉතිහාසයනුත් පේනවා. කෝට්ටේ යුගය, දඹදෙනි යුගය වගේ රට සශ්‍රීකව තිබුණු කාලවල තමයි සාහිත්‍යයත් දියුණු වුණේ.
අද විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා සාහිත්‍ය සංවාද වෙනුවට ඕපාදූප කතාකරන බවයි ආරංචි...?
ඇත්තට ඕක අයිවර් ජෙනිස් 1940 ගණන්වල කියලා තිබුණා. විශ්වවිද්‍යාල බුද්ධිමය සංවාද පැවැත්විය යුතු තැනක් බව ඔහු කිව්වා. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලය 1950 ගණන්වල හැදුවේ බුද්ධිමය සංවාදවලට සුදුසු වටපිටාවක් නිර්මාණය කරමින්.
ඩොරික්ද සූසා, පිංතු පියතුමා, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය සරච්චන්ද්‍ර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න, මහාචාර්ය කේ.ඇන්. ජයතිලක වගේ අය සෑහෙන සංවාදවල යෙදුණා මට මතකයි. මේ බුද්ධිමය සංවාද ඔවුන් ශිෂ්‍ය නේවාසිකාගාරවලට පවා රුගෙන ගියා. එහෙම තිබුණු තැනක් මෙතෙන්ට වැටුණු එක ගැන අපට කණගාටුයි. නමුත් බුද්ධිමය සංවාදවල නිරත වෙන කිහිපදෙනෙක් පමණක් ඉන්නවා. බහුතරයක් එහෙම නැති බව නම් ඇත්ත.
ඔබ නිර්මාණ සාහිත්‍ය ගැනත් විමසිල්ලෙන් සිටින විද්වතෙක්. අපේ නවකතාවේ අලුත් ප්‍රවණතා දකින්නේ කෙසේද...?
අපේ අලුත් පරපුර නවකතාවේ අලුත් ඉසව් සොයායන බව පසුගිය කාලයේ මම දුටුවා. ස්වර්ණ පුස්තක උත්තරීතර මණ්ඩලයේ මම සිටියදී ඒ බව හොඳටම පැහැදිලි වුණා. නවකතාව ගැන නම් සතුටුවිය හැකියි. පුංචි සිංහල පාඨක පිරිසකටනේ සිංහල කෘති ලියැවෙන්නේ. ඒක අගය කළ යුතු වැඩක්.
කුසුම්සිරි