ඕ.අයි.සී. මහත්තයා.... මම මාදිපොළින්, ගොඩක් දවසකින් කතා කළෙත් නෑ. හරියට තොරතුරක්වත් නැති නිසයි සද්ද නැතුව හිටියේ.... හැබැයි ඔන්න අද නම් සුපිරි හෝඩුවාවක් දෙන්නමයි කතා කළේ....
දුරකථන ඇමතුමකින් මෙසේ එකදිගටම කියාගෙන ගියේ මාදිපොළ ප්‍රදේශයේ කෙනෙකි. ඔහු දඹුල්ල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික ඔත්තුකරුවෙකි. දින ගණනාවකට පසුව දුරකථනයෙන් තමා ඇමතූ හිතවතාට සවන්දුන් ස්ථානාධිපතිවරයාට අසන්න ලැබුණේ මෙවන් තොරතුරකි.
මාදිපොළ පැත්තේ මිනිහෙක් ඉන්නවා... ඌ අමුතු ගේමක් ගහන්න හදනවා.... මුන්ගේ වැඩේම නිධන් හාරන එක. දැනටත් එකක් ගොඩදාගෙන ඉන්නේ... රත්තරන් මැණික් නොවේ “මුතු”ගොඩක් තියෙන්නේ... මිනිහා දැන් ඒවා විකුණන්න කෙනෙක් හොයනවා.... දැන් වැඩේ තියෙන්නෙ පොලීසිය අතේ...
පොලිස් ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික ඔත්තුකරුගේ තොරතුරු සම්බන්ධයෙන් අවිශ්වාසයක් නැත. එසැණින් ඔත්තුකරුට තමා වහා ක්‍රියාත්මක වන බව කීවේ ස්තූතිය ප්‍රකාශ කරමිනි. ඔහු පළමු පියවර ගත්තේ සිය නිලධාරියෙකු අමතමිනි.
පණිවුඩයක් ලැබුණා.... නිධානයකින් ගත්තු මුතු ඇට වගයක් විකුණන්න හදනවාලු. දැන්ම කතා කරලා ටීම් එකක් ලෑස්ති කරන්න. මේ උපදේශය දඹුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දුන්නේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී. විජේවීර මහතා වෙතය.
ඔත්තුකරු සමඟ මම කතා කළා.... අවශ්‍ය විස්තර අහගත්තා... ක්ෂණිකව සැලසුමක් හදාගත්තේ ඊට පස්සෙ. මුතු විකුණන්න ලෑස්ති නිසා අපි ගැනුම්කරුවෝ වගේ පෙනී සිටියා. පිට පළාතකින් ආපු ව්‍යාපාරිකයෙක් විදිහට වෙස් වලාගෙන යන්න තීරණය කළා.
මෙසේ සැලසුම ආරම්භ කළේ උප පොලිස් පරීක්ෂක විජේවීර මහතා ඇතුළු පිරිසකි. ඒ සඳහා පිටත්ව යාමට කොළඹ ප්‍රදේශයේ බව හැඟවෙන සුඛෝපභෝගී නවීන ජීප් රථයක් උපයෝගී කරගැනුණි. එහි නැගී ගිය නිලධාරීන් තිදෙනා නිරතුරුවම පෙනී සිටියේ මැණික් ව්‍යාපාරිකයන් ලෙසය. එහි ළාබාල පෙනුමැති නිලධාරියා පෙනී සිට තිබුණේ ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා වශයෙනි. ඔවුන් රැගත් ජීප් රථය ගලේවෙල නගරයට ගොස් දුරකථන මාර්ගයෙන් ගනුදෙනුවේ පළමු තැරුව්කරු මුණගැසුණේය. ඔහු කියා සිටියේ බඩු තියෙන්නේ මගේ යාළුවා ළඟ. එයා හම්බවෙන්න යනුවෙනි. ඊට අවනත වූ නිලධාරීහු ඔහුට ගරුකරමින් ඒ උපදෙස් පිළිපැද්දාහ. අනතුරුව තැරැව්කරු ජීප්රථය රැගෙන ගියේ “කනාදන”ප්‍රදේශයටය. එහෙත් පෙන්නනවා කී මුතු සාම්පල එකවිට දැකීමට හැකිවූයේ නැත. ඊට නොසෑහෙන වේලාවක් ගතවිය.
සාවධානව බලා සිටි නිලධාරීන් වෙත තැරැව්කරු පැමිණියේ උජාරුවෙනි. ඔහු සාම්පල වශයෙන් බබළන මුතු ඇට දෙපළක් පෙන්වීය.
මේ වගේම තොගයක් තියෙනවා... කිසිම පලුද්දක් නෑ... කෝටි තුනහමාරයි. නිධානයකින් ගත්තු බඩු. වටිනවා අත උඩින්ම. ලක්ෂ තුන්සිය පනහ මහත්තයලාට ලොකු නෑ නේද?
මේ විස්තර කරන්නේ පෙර කී තැරැව්කරුය. ඉන්පසුව මැණික් ව්‍යාපාරිකයාගේ පුතා වශයෙන් පෙනී සිටි නිලධාරියා දුරකථන ඇමතුමක් ලබාගත්තේ සිය පියාට කතා කරනා ලෙසය.
තාත්තේ බඩු බැලුවා.... හොඳයි වටිනවා. ගාණ වැඩියි. මොකද කරන්නේ? මේ සංවාදයට පසුව ඔහු කීවේ තාත්තා කියන්නේ ලක්ෂ 280ක් නම් ගන්නලු. මොකද කියන්නේ ඒ ගාණට වැඩේ කරමු කියාය. එහෙත් තැරැව්කරුවන් කියා සිටියේ ලක්ෂ තුන්සීයට සතයක්වත් අඩු නොකරන බවය. මේ වනවිටත් තැරැව්කරුවන් සිතා ඉන්නේ පැමිණ සිටින්නේ මැණික් ව්‍යාපාරිකයන් බවටය. මැණික් ව්‍යාපාරිකයාගේ පුතා වශයෙන් ඇමතුම ලබාගෙන තිබුණේ මෙහෙයුම බාර නිලධාරියාටය. එම අැමැතුම පෙර කී සැලසුමේ එක් අවස්ථාවකි. ඒ අනුව පිරිස ගනුදෙනුව නිමකරන්නට තීරණය කළේ රුපියල් ලක්ෂ තුන්සීයකටය.
මධ්‍යහ්න 12ට පමණ ගනුදෙනුව කතා කළද මුතු රැගත් පුද්ගලයා පැමිණියේ නැත. පැය ගණනක් ගතවූයේ නිකරුණේය. සවස 3ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු පැමිණියේ තැරැව්කරුවන්ගේ පණිවුඩය අනුවය. එහෙත් ඔවුහු දුරකථන මාර්ගයෙන් ගැනුම්කරුවන් ස්ථාන කීපයකට වරින්වර ගෙන්වන්නට පියවර ගත්හ. ඒ සෑම තැනකටම කලබලයෙන් තොරව ගිය පිරිස දෙසට පුද්ගලයන් දෙදෙනෙක් පැමිණෙමින් සිටියහ.
වෙලාව හරි. දැන් අපි මුතු ගන්නවා... දුරකථන ඇමතුමකින් කී පණිවුඩය ලැබුණේ අදාළ ප්‍රදේශයේ රහසිගතව සැඟවී සිටි උපපොලිස් පරීක්ෂක විජේවීර මහතාටය. ඒ වනවිටත් ඔහු සැකකාර තැරැව්කරුවන් සහ පසුව පැමිණි පුද්ගලයන් දෙදනා පිළිබඳව දුර සිට විමසිල්ලෙන් පසුවිය. ලද අවස්ථාව ප්‍රයෝජනයට ගත් විජේවීර මහතා ක්ෂණයකින් ක්‍රියාත්මක වී සැකකරුවන් සිය ග්‍රහණයට නතුකර ගත්තේය. පැනයන්නට සිතන්නටත් මත්තෙන් නිලධාරීන් පිරිස සැකකරුවන් වටකර හමාරය.
ආපු පුද්ගලයා ළඟ පාර්සලයක් තිබුණා. ඒකෙ මුතු තිබුණා. ගණන් කළාම බෝල 420ක් තිබුණා. හතර දෙනාම අත්අඩංගුවට ගත්තා. මුතු ළඟ තියාගෙන හිටිය කෙනා කීවේ පොළොන්නරුවෙ ගලක කෝවක තිබිලා ගත්තා කියලයි. අනිත් කෙනා කීවේ මාදිවෙල පරණ වත්තකින් හාරලා ගත්තා කියලයි. ගන්නකොට පස් එක්ක තිබුණා. පස්සේ හේදුවා කියලාත් කීවා. මේ හතර දෙනා එක්ක තව කෙනෙක් ගෙදරකට ගිහින් අල්ලා ගත්තා. සේරමලා පස් දෙනයි. මේ විස්තර කීවේ කට්ටිය වෙන වෙනම ප්‍රශ්න කළාමයි. නිරංගමුව මාදිපොළ ගමේ කෙනෙක් තමා මේක හාරලා තිබුණේ. ඔහු වෙනත් කෙනෙකුට කියලා විකුණන්න. පොරොන්දු කරගත්ත කෙනා හමුදාවෙ වැඩකරන කෙනෙක්. අයිතිකරුට මුතු ඇටයකට රුපියල් දාහක් ගාණෙ දෙන්නම් කියලා. තැරැව්කරුට ලක්ෂ පනහක් අරගන්නත් ඉතිරි ටික අනික් තුන්දෙනාට බෙදාගන්නත් තීරණය කරලා. ඒවට තමයි පැය කීපයක් ගතකරලා තිබුණෙ. මෙතන තුන්දෙනෙක්ම යුද හමුදාවේ සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරුන් වීම විශේෂයි. ඩබ්ලිව්.ජී. විජේවීර මහතා කීවේය.
සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නියෝග කෙරුණේ ලබන ජනවාරි 3 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නටය.
දඹුල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න, උප පොලිස් පරීක්ෂකවරැන් වන ඩබ්ලිව්.ජී. විජේවීර. ඇල්ලේපොල, පොලිස් සැරයන් 27325 අතාවුද, පොලිස් කොස්තාපල්වරුන් වන 77199 චතුරංග, 82677 අබේරත්න, 75240 දිනේෂ්, 75706 සිල්වා යන නිලධාරීහු වැටලීමට දායක වූහ.
♦සමන්ත ප්‍රදීප් විල්තෙර