2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ජීවන වියදම බස්සන්න රටබඩු!

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 138

ද අපේ රටට බොහෝ දේවල් ආනයනය කෙරේ. විධිමත් ක්‍රමයට ආනයනය කරන දේවල් හැරුණු විට හොරපාරෙන් රටට එන දේවල් ද එමටය. එසේම ආණ්ඩුව තෝරාබේරා නොගෙන අවශ්‍ය දේවල් මෙන්ම අනවශ්‍ය භාණ්ඩ ද ආනයනය කිරීමට ඉඩ දී තිබෙන අයුරු දැකගත හැකිය. අද හර්නල් කටුවේ පටන් බොහෝ දේ පිටරටින් මෙරටට එන බව පෙනෙන්නට තිබේ. නගරයේ පදික වේදිකාවල නිරතුරුව අලෙවි වන සරුගල්, මල් පොකුරු, පාවහන්, පිඟන් කෝප්ප, වීදුරු ආදිය මෙන්ම විවිධ ක්‍රීඩා භාණ්ඩ හා ඉලෙක්ට්‍රොනික උපකරණ ද මෙයට හොඳ නිදසුන්ය. අනවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම නිසා විදේශ විනිමය නාස්ති වනවා හැරුණු විට එය දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට අහිතකර ලෙස බලපායි.

මෙයට පෙර පැවැති ආණ්ඩු මෙන්ම වර්තමාන ආණ්ඩුව ද අවිචාරවත් ලෙස භාණ්ඩ ආනයනය කිරීම නිසා රටේ ආර්ථිකයට විශාල පහරක් එල්ලවෙමින් පවතින බව මැදහත් ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ආනයනය කළ යුතු භාණ්ඩය සුවිශේෂි ලෙස තෝරාගෙන අත්‍යවශ්‍ය නම් පමණක් ආනයනය කළ යුතු නමුත් අද කරනුයේ රටේ යම් භාණ්ඩයක් හිඟ වූ වහාම කිසිදු වගවිභාගයකින් තොරව ඒවා පිටරටින් ගෙන ඒමට අවසර දීමයි. එසේම මේ බොහෝ අවස්ථාවල ආනයන බදු අඩුකිරීම නිසා රජයේ ආදායම ද අඩු වී තිබේ.

උදාහරණ ලෙස පැවසුවහොත් අල සහ ලූනු මිල දේශගුණික විපර්යාස නිසා හෝ නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා හෝ වැඩි වූ වහාම ආණ්ඩුව කළේ ඒවායේ ආනයන බද්ද අඩුකර ඕනෑම කෙනකුට ආනයනය කර අලෙවි කිරීමට අවසර දීමය. සීනි මිල ඉහළ ගිය නිසා සීනිවල ආනයන බද්ද කිලෝවට ශත 25 දක්වා අඩු කළ ආණ්ඩුව සීනි ආනයනය කිරීමට පෞද්ගලික වෙළෙඳුන්ට අවසර දී ඇත. පොල් මිල ඉහළ යාමට එකම විකල්පය ලෙස ආණ්ඩුව තෝරාගන්නේ පොල්මද ආනයනය කිරීමය. පොල්මද පමණක් නොව, ගෙඩිපිටින්ම පොල් ආනයනය කරන බවට එක්තරා ඇමැතිවරයෙක් පසුගියදා ප්‍රකාශ කර තිබුණි. ආණ්ඩුව මෙලෙස ආනයනය කරනුයේ දේශපාලන වශයෙන් ජනතාව ඉදිරියේ හොඳ නමක් දිනාගැනීමට විය හැකිය.

ඊළඟට සහල් පිළිබඳ ගැටලුව විශාල ලෙස උද්ගතව ඇත. මෙහිදී පසුගියදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජීවන වියදම් කමිටුව නිර්දේශ කර ඇත්තේ සිංහල අවුරුදු උත්සවය පසුවනතුරු මසකට හාල් කිලෝ ලක්ෂය බැගින් ආනයනය කිරීමටයි. උත්සව සමයේ දී සහල් මිල ජනතාවට දරාගත නොහැකිවන තරමට ඉහළ නගිනු ඇතැයි ආර්ථික උපදේශකයන් ආණ්ඩුවට අනතුරු ඇඟවීම මෙම තීරණයට හේතු වී ඇත.

එසේම මස්, මාළු, බිත්තර ආදිය ද මේ වන විට ආනයනය කෙරෙමින් පවතී. අනාගතයේ දී තව තවත් දේවල් ආනයනය කිරීමට අපට සිදුවනු ඇතැයි ඇතැමෙක් පවසති. කෙසේ වුවද අතීතයේ සිට අද දක්වා ප්‍රත්‍යවේක්ෂා කිරිමේදී අපට පෙනීයන ප්‍රධානතම කරුණක් නම් මෙලෙස භාණ්ඩ ආනයනය කිරීම නිසා ඒවායේ මිල අඩුනොවූ බවය. උදාහරණයක් ලෙස පවසතොත් පසුගිය ආණ්ඩු කාලවල සිට අපේ රටට කොතෙක් සහල් ටොන් ප්‍රමාණයක් ආනයනය කරන්නට ඇතිද? එහෙත් අද දක්වාම සහල් මිල අඩුව නැත. ආණ්ඩුව සහල් මිල පාලනයට ලක් කර සහල් විශාල වශයෙන් ආනයනය කළ ද දේශීය සහල් මිල පාලනය වීමට එය හේතු වී නොමැත. අද ද දේශීය සහල් කිලෝවක මිල රුපියල් 100ට අධිකය. එසේ නම් එයින් පෙනීයන්නේ ආණ්ඩුව සහල් ආනයනය කිරීමෙන් දේශීය සහල් ව්‍යාපාරිකයා මට්ටු කරන්න බැරිව ඇති බවය. උඹලා කොතරම් හාල් ගෙනාවත් අපි අපේ මිල බස්සන්නේ නැතැයි යන්න ක්‍රියාවෙන් ඔප්පු කර ඇති සැටියෙකි.

හිඟයක් ඇතිවූ වහාම අල, ලූනු ආදිය පිටරටින් ගෙන්වුවද එයින් දේශීය ගොවියාට පහර වැදෙනවා හැර මිල බැස්සීමට හේතු වී නොමැති බව පෙනෙන්නට ඇත. ආණ්ඩුව මේ වන විට එළවළු පවා ආනයනය කිරීමට සූදානමෙන් සිටින බවට ආරංචි පළවේ. කෙසේ වුවද අතීත සිද්ධි හා වර්තමාන තත්ත්වය අනුව පෙනෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් ආනයනය කිරීම සහ සහන මිලක් ප්‍රකාශයට පත්කිරීමෙන් බලාපොරොත්තු වන තරම් යහපත් ප්‍රතිඵලයක් ලැබී නොමැති බවයි.
සාමාන්‍ය ජනතාව පවා අද විමසන්නට පටන්ගෙන ඇත්තේ භාණ්ඩ මිල ඉහළ ගිය විට පහළ බැස්සීමට ඒවා පිටරටින් ගෙන්වන්නේ නම් ආණ්ඩුවක් කුමකටද කියාය. එසේම තවත් සමහරුන් සැක කරන්නේ භාණ්ඩ ගෙන්වා විකිණීම යන මුදලාලිගේ රාජකාරියට ආණ්ඩුව බැසීම මේ සියලුම ප්‍රශ්නවලට මුල බවය. රටේ විවෘත ආර්ථිකයක් ඇතිබව පවසමින් ආණ්ඩුව පෞද්ගලික වෙළෙන්දා අභිබවා ගොස් බිස්නස්වල යෙදීම සුදුසු නැති බව ඔවුන්ගේ අදහසය. එයින් සිදුවන්නේ භාණ්ඩ මිල පහළ යනු වෙනුවට විවිධ හේතු නිසා මිල ඉහළ යාම යැයි ඔවුහු තර්ක තරති. මෙය කොතරම් දුරට ප්‍රායෝගික තර්කයක් දැයි සැක සිතෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අත්තනෝමතික ලෙස ඉහළ දමන විට ආණ්ඩුවට නිකං බලාසිටිය හැකිදැයි විමසන්නන් සිටින බැවිනි. මෙම අදහසේ ද සත්‍යතාවක් නොමැතිවා නොවේ.

කෙසේ වුවද මෙහිදී සොයාබැලිය යුත්තේ ආණ්ඩුව මිල බැස්සීමට යැයි කියමින් ආනයනය කරන භාණ්ඩ පාරිභෝගිකයා වෙත පැමිණෙනවාද යන්නය. ඒවා පාරිභෝගිකයා වෙත නොගොස් අතරමැදි ව්‍යාපාරිකයන් ළඟ නවතිනවා නම් විදේශ විනිමය නාස්ති කරමින් ආනයනය කිරීමේ තේරුමක් නැත. වාසිය ලැබෙන්නේ පාරිභෝගිකයාට නොව, ව්‍යාපාරිකයාටය. ආසන්නම උදාහරණය සහල් ආනයනය කිරීමය. සහල් මිල බැස්සීමට යැයි ආණ්ඩුව ආනයනය කරන සහල් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් වෙත යන අතර ඔවුන් ඒවා දේශීය සහල් සමඟ මිශ්‍රකර විකිණීමේ යෙදෙන බවට චෝදනා එල්ල වේ. එහෙත් මේ පිළිබඳ සෙවීමට බලධරයන් උනන්දු වන බවක් දක්නට නොමැත. ඔවුන් කරනුයේ තව තවත් ආනයනය කිරීමය. 

භාණ්ඩ ආනයනය කිරීම සහ මිල පාලනය පිළිබඳ අදහස් දක්වන රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කේ.පී.අයි.ආර්. ප්‍රසන්න මෙසේ කියයි.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කිරීම සහ හිඟය අඩුකිරීමට රජය මේ අවස්ථාවේ ආනයනය කිරීම ගැන වරදක් කියන්න බැහැ. එය කාලීන අවශ්‍යතාවක්. අපේ රටේ විශාල ආදායම් විෂමතාවක් තිබෙනවා. ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4000 යැයි ප්‍රකාශයට පත් කළත් එයින් ජනතාවගේ ආදායම මනින්න බැහැ. රටේ සමස්ත ආදායමින් සියයට 3 – 5 අතර ප්‍රමාණයක් ජනතාවගෙන් සියයට 50 – 60 පමණ වන විශාල කොටසකට බුක්ති විඳින්න සිදුවෙලා තියෙනවා. ජනගහනයෙන් සියයට 40 ක් පමණ අමෙරිකානු ඩොලර් 2කට හෙවත් රුපියල් 300කට අඩු ආදායමක් දිනකට ලබන බව සනාථ වී තියෙනවා. රුපියල් 300කින් ජීවත්වෙන්න අද තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අනුව පුළුවන්ද යන්න ගැටලුවක්. අද බොහෝදෙනා ජීවත්වන්නේ දරිද්‍රතා රේඛාව (Poorly Line) ආසන්නයේ. මධ්‍යම පන්තියේ යැයි කියන වැඩි කොටසක් ද එහෙමයි. අද වැඩිදෙනාට කුසගින්නේ සිටින්නට සිදුවන්නේ මෙම ආදායම බෙදීයාමේ දරුණු විෂමතාව නිසයි.

ආචාර්යවරයා පවසන්නේ 2008 ලෝක ආර්ථික අර්බුදය සමයේ ලොව සිටි ජනතාවගෙන් මිලියන 800 ක් පමණ කුසගින්නෙන් පෙලුණු බවයි. ඉන් අනතුරුව තවත් මිලියන 125 ක් මෙයට එකතු වී මුළු සංඛ්‍යාව 925 බවට පත් විය. දරිද්‍රතා ගැටලුව අපේ රටට පමණක් බලපාන්නක් නොව, සමස්ත ලෝකයටම බලපාන බව ඔහු කියයි. අපේ රටේ දශක දෙකක කාලයක සිට කෘෂිආර්ථිකය කඩාවැටී ඇත. 2015 වසර හා සසඳා බලන විට අපේ කෘෂිආර්ථිකය 2016 වසරේ දී 116.9 දක්වා සියයට 3.5කින් පහත බැස ඇති බව 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව කියයි. මෙම වසරේ රටේ වී නිෂ්පාදනය බලාපොරොත්තු වූවාට වඩා සියයට 50 – 60 අතර ප්‍රමාණයකින් අඩුව ඇත. සහල් ඇතුළු රටේ කෘෂි නිෂ්පාදනවල ඵලදායීතාව අඩුවීම නිසා ගොවියන්ගේ ආදායම පහළ ගොස් ඇත. ආචාර්යවරයා කියන්නේ තමා ඇතුළු කණ්ඩායමක් පසුගියදා අනුරාධපුරය ආශ්‍රිතව කළ සමීක්ෂණයක් අනුව කන්න 3 ක් එකදිගටම වී වගාවට හානි වී ඇති බව සනාථ වූ බවයි. මෙම තත්ත්වය මත සහල් ආනයනය කිරීමට සිදුවීම පුදුමයට කරුණක් නොවේ.

ඔහු පවසන්නේ දේශීය වශයෙන් නිෂ්පාදිත වී ඇතැම් මහා පරිමාණ ව්‍යාපාරිකයන් මිලට ගෙන ගබඩා කර තබාගැනීම නිසා තත්ත්වය තවත් උග්‍ර වී ඇති බවයි. මෙම තත්ත්වය පාලනය කිරීම ආණ්ඩුවට විශාල අභියෝගයක් වී තිබේ. ජනතාවගේ ප්‍රධාන ආහාරය මෙලෙස පාරිභෝජනයට නොසෑහීම නිසා රජයක් වශයෙන් ආනයනය කර හෝ ඔවුන් කුසගින්නෙන් ගලවා ගැනීමට සිදුව ඇත.

මේ රටේ සියයට 40 ක් පමණ වන දුප්පත් ජනතාවගේ ප්‍රධාන ආහාරය අඛණ්ඩව සැපයීම රජයේ වගකීමක්. ඒ නිසා මේ අවස්ථාවේදී ආනයනය හැර අන් විකල්පයක් නැහැ. මෙහිදී අඩු මිලකට පහළ ආදායම් ලබන අයට පමණක් නිකුත් කරන්න බැහැ. ඒ නිසා සියලුදෙනාටම විවෘත වෙළෙඳපොළ තුළ සහන මිලකට දෙන්න රජයට සිදුවෙනවා. භාණ්ඩවල මිල පාලනයත් දිගටම පවත්වාගෙන එන්න බැහැ. එය ප්‍රායෝගිකව අපහසු කරුණක්. එසේ වුවත් පවතින තත්ත්වය තුළ එය කරන්නට සිදුවුණි. අද භාණ්ඩ මිල පාලනය කිරීමට ආනයනය කිරීම ආදී වශයෙන් රජය ගන්නේ තාවකාලික පියවරවල්. එහෙත් භාණ්ඩ සුලබ කිරීමේ සහ මිල නියම කිරීමේ ක්‍රමවේදයක් ආණ්ඩුවට තිබිය යුතුයි. විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල.
මෙහිදී රට තුළ භාණ්ඩ බෙදාහැරීම නිසි ලෙස කළමනාකරණය කළ යුතු වෙනවා. කොතරම් භාණ්ඩ තිබුණත් ඒවා සඟවනවා නම් හෝ පාරිභෝගිකයාට නිසි මිලකට නොයනවා නම් එම වරද සකස් කිරීම රජයේ වගකීමක්. මෙයට මුහුණදීමට සිද්ධිය උත්සන්න වූ පසු පමණක් හදිසි තීරණ නොගත යුතුයි. කළ යුතු වන්නේ කල්වේලා ඇතිව ඒ ගැන කරුණු හදාරා යාන්ත්‍රණයක් සකස් කිරීමයි. රජය තීරණ ගැනීමට ප්‍රමාද වීම නිසයි ගැටලු උග්‍රවන්නේ.

♦ යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00