2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ඊඩ්න් උයනේ සිට තව්තිසාවට...

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

ඔෆීස් වැඩත් ඉවර කරලා 101 බස් එකට නැග්ගෙ, ගෙදර යන්න. කොච්චර හදිසි වුණත් අඩුම පැයක් අතඅරින්න වෙනවා. හැබැයි කොච්චර ට්‍රැෆික් වුණත් බස් එක පැයකට කිලෝමීටර 120ක වේගෙන් තමයි යන්නෙ. නැගපු ගමන් සංගීත පුටු තරගෙට වගේ වාඩිවුණේ ඒ එළවන එළවිල්ලට අතක් පයක් වුණත් කැඩීයාමේ සම්භාවිතාවය සෑහෙන වැඩි නිසා. 

ඒ කොච්චර වුණත් කොල්ලුපිටියේ වංගුව ගනිද්දීම ගහපු බ්රේක් පාරට මාව විසිවෙලා ගිහින් බස් එකෙ ඉස්සරහ වීදුරුව කඩාගෙන ආලෝකයේ වේගෙන් එළියට විසිවුණා.ඔළුව අාලෝකේ වේගෙන් කැරකුන කැරකිල්ලට අතීතෙ වර්තමානෙ මාරුවුණා. ශතවර්ෂ උඩ පහළ ගිහින් සහශ්‍ර වර්ශ මාරුවුණා. අන්තිමට බලනකොට මම හිටියේ ඊඩන් උයනෙ ඉඳන් තවුතිසාවෙ යන බස් එකක.

මගෙ එහා පැත්තෙ වාඩිවෙලා ඉඳපු කෙනා මට හොඳට පුරුදු කෙනෙක්.

ඔහු - ඉතින් කොහොමද?

මම - හුඟ කාලෙකින් නේද?

ඔහු - ඔව් අද ඉඳන් කල්ප ගාණකට පස්සෙ දවසක උදේ අපි හම්බවුණා පන්සලකදි.

මම - ආ ඔව්මයි, ඇල්බට් නේද ඔබතුමාව මට හඳුන්වලා දුන්නෙ. දැක්කෙත් නෑ හුඟ කාලෙකින්.

ඔහු - මං දැක්ක ඔහු කළුලෑල්ලක E = කියලා ලියාගෙන කල්පනා කරනවා, තව සෑහෙන කාලයක් නෑ ඔහුට ඒක සම්පූර්ණ කරන්න.

එතකොටම රැවුල වවාගෙන කබායකුත් පොරවගත්තු මනුස්සයෙක් බස් එකට නැග්ගා. ඔහු බස් එක ඉස්සරහ ඉඳන් මොකද්දෝ කියවන්න ගත්තා.

අම්මේ තාත්තෙ මම ගැලීලි, මේ කතා කරන්නෙ ඔබගෙන් සල්ලි ඉල්ලන්න නෙමෙයි. මේ විශ්වය තුළ අපි තනිවෙලා නෑ කි‍යන්න. අපි කැරකෙනවා සූර්යයා වටේට. මම හැදුව ලොකු දුරේක්ෂයක්.... ඔහු තව දුරටත් කියෙව්වා.
ඔහු - ඔහු මැරුම් කන්නෙත් ඕක නිසාමයි. පවු අසරණ මිනිස් ජීවිතයක්. කර්මය තමයි.

මම - කොහොමද දැන් නිවුටන්ට? පිස්සු නටන එක නවත්තලද?

ඔහු - අර ඉන්නෙ පිටිපස්සෙ, කේම්බ්‍රිජ් බොටැනිකල් ගාර්ඩ්න් යනවා. ඒකෙ තමයි අර ඇපල් ගහ තියෙන්නෙ.

මම - මොන ඇපල් ගහද?

ඔහු - ආ ඒක තාම සිදු නොවුණු දෙයක්. ඔබ දැනගන්න විදිහක් නෑ.

මම පිටුපස හැරුණා. නිව්ටන් එතන ඒ සමඟම මගේ නෙත ගැටුණේ බස් එකෙ පෙම් මුල්ල දෙසට එහි දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළී ඉන්නවා.

මම - ඒ කවුද පිටිපස්සෙම ඉන්නෙ?

ඔහු - ඒ අර දෙවියො මැව්වයි කියන ආදම් සහ ඒව.

එවිටම කතරගම - තව්තිසාව බස් එකක් අපේ බස් එකට වෙට්ටුවක් දමාගෙන ගියා.

ඔහු - ඔවුන් යන්නෙ ඊඩන් උයනට.

මම - ඔබ කොහාටද යන්නෙ?

ඔහු - සෑහෙන ලොකු ගමනක්, තව කල්ප ලක්ෂ ගාණක් දුර.

මම - ඔබ කවුද? මනුස්සයෙක් වෙන්න බෑ, දෙවි කෙනෙක්ද?

ඔහු - නැහැ. ඔබට දැන ගන්නට ලැබේවි!

මම - කවදද?

ඔහු - තව සාරාසංඛ කල්ප ලක්ෂයකට පස්සෙ. දැන් ඉස්සරහින් ඔබ බහින්න.

මම බැස්සා. බස් රථය නික්ම ගියා. අසල කුඩා කඩයක් කැසට් පටයක් වාදනය කරනවා.

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති......

කෝටි සියයේ ජයමල්ල අද අදිනවා....

මම බෝඩිමට යාමට ත්‍රීරෝද රථයකට නැංගා.

අයියෙ 2017 අගෝස්තු 10, ගල්කිස්සෙ ටෙම්ප්ලස් රෝඩ් එකට දාන්න.

► නලින