අහසට නැගෙන චණ්ඩ රළ දෙබෑකරමින් දියඹේ සරණ ඇයට අවු වැසි සුළඟ බාධාවක් නැති හැඩය. ගුවනට නැගී සුදෝසුදු රුව දියඹේ සැරිසැරීම මනරම්ය. පැද්දෙමින් ඉහළ පහළ යමින් රළපෙළ මැදින් නැගී සිටිනා ඇගේ බඳ Sri Lanka Coast Guard ලෙස සටහන් තබාගෙනය. ඈ අන් කිසිවෙක් නොව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නවතම සාමාජිකාව “සුරක්ෂා” නම් වන්නීය.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරය සංරක්ෂණය කරමින් මුහුද පරිහරණය කරන මගීන්ගේ හා යාත්‍රාවලට රැකවරණය සපයමින් දියඹේ සිදුවන මංකොල්ල ජාවාරම් වැනි අකටයුතුකම් වළක්වා මෙරට සාගර කලාපයේ ආරක්ෂාව සහතික කිරීම වගකීමය. ඒ සඳහා ඔවුහු නිරතුරුවම සූදානමින් සිටිති. මේ ක්‍රියාන්විතයට වෙරළාරක්ෂ දෙපාර්තමේන්තුව හා එක්වූ නවතම විසල් සාමාජිකාව “සුරක්ෂා” ලෙස නම් දරයි.
තිස් වසරක් පුරාවට පැවති යුද්ධයේ නිමාවත් සමඟ මෙරට මුහුදු තීරයේ පරිසරය සංරක්ෂණය කිරීමේ සහ ජාවාරම් මැඬලමින් ලංකාව අවට ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව ස්ථාවර කිරීම වෙනුවෙන් ස්ථාපිත කළ එකම ආයතනය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවය. 2010 වර්ෂයේ ආරම්භ කළ නව දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ තෝරාගත් නිලධාරීන් හා භටයින් පිරිසකගේ මූලිකත්වයෙන් නිර්මාණය විය. මෙරට ජාත්‍යන්තර මුහුදු තීරය දක්වා ව්‍යාප්තව තිබූ ඔවුන්ගේ සේවාව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය හා සුහදව කටයුතු කරමින් සිටියෝය. යුද්ධයක් හෝ එවැනි සේයාවක් නොමැති රටක මුහුදු පරිසරයේ සැරිසරණ වෙරළාරක්ෂක නිලධාරීන්ගේ මෙහෙය සැබැවින්ම සාම හමුදාවකට සමානය. ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය අතර මුහුදු පරිසරය සංරක්ෂණය හා සාගරයේ නීතිය සුරැකීම විශේෂිතය.
මෙවැනි මෙහෙයුම් අතරතුරදී ඉන්දියානු වෙරළාරක්ෂක බළකාය සමඟ මනා සුහදත්වයක් ගොඩනගාගෙන සිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ඉන්දියාවෙන් ආරාධනාවක් ලැබී තිබුණේ එරට පැවැත්වෙන සමුළුවකට සහභාගී වන ලෙසය. එහිදී සාකච්ඡා වූ කරැණු අතර වෙරළාරක්ෂක බලකායට නෞකාවක අඩුවත් ඇති බව අනාවරණය කර තිබුණි. ඊට අවධානය යොමු කළ ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය තීරණය කොට තිබුණේ එරට භාවිතයේ තිබූ “වරුණ” නෞකාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමටය. එම පරිත්‍යාගය දෙරටේ රාජතාන්ත්‍රික සිදුවීමක් වශයෙන් ඉන්දියාවේදී සිදුකෙරුණු අතර ඊට මෙරට නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.
මෙරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් දින 10ක් පුරා නැව සම්බන්ධ පුහුණුවකට එක්වී ඊට අදාළ ක්‍රියාකරකම් සඳහා දින 2ක් මුහුදේ කල්ගෙවා නෞකාවේ සියලු මෙහෙයුම් හඳුන්වාදී ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාරදී තිබුණේ ජාත්‍යන්තර මුහුදේ ශ්‍රී ලංකා මුහුදු සීමාව තෙක් රැගෙන විත් මහා ගරුසරු ඇතිවය.
පසුගිය සැප්තැම්බර් 05 වැනිදා මෙරටට රැගෙන ආ “වරුණ” නෞකාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකාරියට පත්කරනු ලැබ “සුරක්ෂා” වශයෙන් නම්කරනු ලැබීය. මීටර් 74.10ක් දිගින් හා මීටර් 11.40ක් පළලින් යුතු සුරක්ෂා නෞකාවේ ගැඹුර මීටර් 10.5කි. ටොන් 1247ක් බර පැටවිය හැකි නෞකාවේ බර ටොන් 1160කි. මේ නෞකාවේ ප්‍රමාණයෙන් මීටර් 3.8ක් නිරන්තරයෙන් ජලයේ ගිලී පවතී. සාම හමුදාවක් වශයෙන් භාවිත කරන නෞකාව යුද්ධයන්ට සම්බන්ධයක් නැතත් සිය ආත්මආරක්ෂාව හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුද අවිවලින් සන්නද්ධය. ඒ වෙනුවෙන් ඔවුන්ට අවම බලය භාවිත කළ හැකි අතර අවශ්‍ය නම් නාවික හමුදාව කැඳවීමේ බලය හිමිය. ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට ඈත මුහුදේ ජාත්‍යන්තර වෙළඳ නැවු මාර්ගය පිහිටා ඇති බැවින් එම ප්‍රදේශය නිරන්තර පරීක්ෂාවට ලක්කිරීම “සුරක්ෂා” විසින් සිදුකරනු ලබයි. ඒ වෙනුවෙන් ඇවැසි ආරක්ෂාව සඳහා මිලිලීටර් 23 ප්‍රධාන අවියකින්, මිලිලීටර් 12.07 ගුවන්යානා නාශක අවි, බහුකාර්ය ස්වයංක්‍රීය අවි සහ ටී. 56 ස්වයංක්‍රීය ගිනිඅවි නෞකාව සතුය.
නිලධාරීන් 13 දෙනෙකු සහිත නෞකාවේ නැවු මුරට 100 දෙනෙකි. ඉංජිනේරු, විදුලි, සංඥා, අපකරු, රේඩාර්, වෛද්‍ය ඇතුළු අංශ කීපයක පිරිස් ඊට අයත්ය. මෙරට මුහුදු සීමාවේ ජලයට තෙල් මිශ්‍රවීම වැළැක්වීම, තහනම් ධීවර ආම්පන්න භාවිතය වැළැක්වීම, විදේශික ධීවරයින් පලවා හැරීම සහ ජලයේ පැතිරුණු තෙල් ඉවත් කිරීම, මුහුදු මංකොල්ලකරුවන් සහ ජාවාරම්කරුවන්ගෙන් කලාපීය සාගරය ආරක්ෂා කිරීම වැනි නාවික නීතිය ක්‍රියාත්මක කරමින් වෙරළාරක්ෂක නීතිය ක්‍රියාත්මක් කිරීම සඳහා “සුරක්ෂා” නැව මහත් මෙහෙයක් සිදුකරයි. මේ සඳහා එක්වන නැව් මුළුවට අවශ්‍ය සියලු ආහාර පාන නැව සතුය. නවාතැන්, කාමර පහසුකම්, සනීපාරක්ෂාව අතින් ඉහළය. ඖෂධ සහිත ශෛල්‍යගාරයක්, ව්‍යායාම මධ්‍යස්ථානයක්, පුහුණුවන නිලධාරීන් සඳහා විශේෂ පංති කාමරයක් සහ නිලධාරී නිවෙස්නයක් නෞකාව සතුය. අනතුරට පත්වන බෝට්ටු ඇදගෙන ඒමේ පහසුකම් සහිත සුරක්ෂා නැවේ විශේෂ අංගය වන්නේ ගුවන්යානාවක් ගොඩබැස්සීමේ පහසුකම් සහිත වීමයි. මේ සියල්ල ඇතුළත් නැව තට්ටු පහකින් යුක්තය. නැව් මුළුව සඳහා පිරිසුදු ජලය ටොන් 90ක් රැගෙන යා හැකි අතර අවශ්‍යනම් බීමට සුදුසු ලෙස මුහුදු ජලය පිරිසුදු කිරීමේ පහසුකම් සහිතය. එමගින් පැයකට ලීටර් 400ක් නිපදවිය හැකිය.
දෙවුන්දර තුඩුවට ඈත ජාත්‍යන්තර මුහුද හරහා ලෝකයේ බටහිර සිට නැගෙනහිරි දක්වා ප්‍රධාන නැවු මාර්ගය වැටී ඇති බැවින් දිනකට එහි ගමන් ගන්නා නැව් ගණන 300ක් පමණය. අවට මුහුදු සීමාවේ ධීවර රැකියාවේ නිතර මාළු බෝට්ටු ගණන දහස ඉක්මවයි. සාගරයේ පරිසරය සුරැකීම මෙන්ම මගීන්ගේ ආරක්ෂාව සුරුකීමද “සුරක්ෂා” විසින් සිදුකරයි. නිරතුරුවම “සුරක්ෂා” මෙහෙයවීම සඳහා කපිතාන් ඒ.එස්.ඩබ්ලිව් නෙවිල් උබයසිරි මහතා ඇතුළු නැව් මුළුව කැපවී සිටිති.
► කතාව හා සේයාරූ I සමන්ත ප්‍රදීප් විල්තෙර