2018 ජනවාරි 06 වන සෙනසුරාදා

සර්ෆින් වසන්තයෙන් පිබිදෙන ආරුගම්බේ Blue Wave

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 252

අපේ රට කාලයක් තිස්සේ ලෝකය පුරා ජනප්‍රියවෙලා තියෙන්නේ වෙරළබඩ සංචාරක ගමනාන්තයක් විදිහටයි. නමුත් මේ වර්ග කිලෝමීටර හැටපන්දාහ ඇතුළේ ලෝකෙ තියෙන හැම ස්වභාවික ආකර්ෂණයක්ම වගේ දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරය, මිනිසුන්, ඉතිහාසය හා කලාශිල්ප ගැන සෙවීමට ජීවිත කාලය පවා මදියැයි ලෝක පූජිත විද්‍යාඥයෙක් වුණු ආතර් සී. ක්ලාක් වරක් කිව්වේත් ඒ නිසයි.

කොහොම නමුත් ලංකාවේ සුපුරුදු මුහුදු තීරයන්ට වඩා ආරුගම්බේ කියන්නේ විශේෂ වෙරළක්. ඒකට ප්‍රධානම හේතුව, සර්ෆින් ක්‍රීඩාව සඳහා ලෝකයේ ඇති හොඳම වෙරළ තීරයන් දහයෙන් එකක් ලෙස ආරුගම්බේ හැඳින්වීමයි.

ආරුගම්බේ ප්‍රදේශයේ හදවත බඳු ස්ථානයක පිහිටා ඇති අපි මේ කතා කරන්න සූදානම් වන Blue Wave හෝටලය කියන්නේ මුහුදු වෙරළේ සිට මිනිත්තු දහයක දුරින් පිහිටි හොඳ සුවපහසු නවීන හෝටලයක්. ජූනි සිට ඔක්තෝබර් දක්වා ආරුගම්බේ මුහුදු තීරයේ සර්ෆින් වසන්තය උදාවෙනවා. ඒ කාලයට සර්ෆින් ක්‍රීඩකයනුත් අනෙත් කාලවලදී විවේකී සුවය ප්‍රියකරන්නනුත් මේ හෝටලයට ඇදෙනවා. 

ආරුගම්බේ ප්‍රදේශයේ මෑතක් වනතුරැම පැවතුණේ කුඩා ප්‍රමාණයේ හෝටල් සහ ලැගුම්හල් පමණයි. 2015 නොවැම්බර් මාසයේ දී විවෘත වුණු Blue Wave හෝටලය හරහා එම ප්‍රදේශයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට හොඳ සුඛෝපභෝගී නිවාඩුවක් ලබාගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

මේ හෝටලයේ මුළු කාමර සංඛ්‍යාව 31 ක්. ඉන් කාමර 30ක්ම ඩිලක්ස් මාදිලියේ වන අතර Suite මාදිලියේ එක් කාමරයක් පවතිනවා. වයිෆයි, පැය විසිහතර පුරා කාමර සේවා, පිහිනුම් තටාකය, ව්‍යායාම් මධ්‍යස්ථානය සහ එළිමහන් අවන්හල වැනි පහසුකම් රැසකින් මේ හෝටලය සමන්විතයි.

මෙහි ආහාරපාන අංශයේ දී වැඩි තැනක් සෞඛ්‍ය හිතදායී ආහාරපානවලට හිමිවෙනවා. ඒ වගේම සී-ෆුඩ් කියන්නේ මෙතැනදී මඟහැරිය නොහැකිම අත්දැකීමක්.  මෙතැන සේවයේ යෙදී ඉන්න ඉතාමත් සුහදශීලී ඇවතුම් පැවතුම්වලින් යුත් කාර්යමණ්ඩලය ගැනත් අමතක කරන්න බැහැ. හෝටලයට පැමිණි මොහොතේ පටන් නැවත යන මොහොත දක්වාම ඉතාමත් හොඳ ආගන්තුක සත්කාරයක් ඔවුන් පිරිනමනවා.

මේ හෝටලයේ සිට කුමන, ලාහුගල සහ ගල්ඔය වනෝද්‍යාන වෙතත්, විශේෂයෙන්ම පානම කිඹුලන් අභිජනන මධ්‍යස්ථානය කරාත් පහසුවෙන් ළඟාවිය හැකියි. ඊට අමතරව මුහුදු මහා විහාරය, මඟුල් මහා විහාරය, කුඩුම්බිගල සේනාසනය, ඔකඳ හින්දු කෝවිල, උරණිය කලපුව වගේ ස්ථාන රැසක් මේ අවට පිහිටා තිබෙනවා.

සනත් වීරසූරිය
සේයා රූ - රංජිත් පෙරේරා

 

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00