2018 ජනවාරි 06 වන සෙනසුරාදා

විචාරක කපුටන් සම්මාන ගත් අයට කොටනවා

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 166

- මහාචාර්ය ලියනගේ අමරකීර්ති 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති වත්මන් සිංහල සාහිත්‍ය මතුනොව බටහිර සාහිත්‍ය ගැන ද නිරීක්ෂණයෙන් සිටින විද්වතෙකි. සාහිත්‍ය විචාරකයෙක් වශයෙන් ද තම අදහස් නිතර පළ කරන ඔහුගේ විචාරයක් අතුළත් කෘතියක් නව කවියෙහි කවිතාව සහ සාරාර්ථය නමින් පසුගියදා සන්ථව ප්‍රකාශනයක් ලෙසින් පළ විය. 

අද සාහිත්‍ය විචාර කෘති ශානරය ඉතා දුප්පත් වෙලා. මෑතකදී ඔබේ නව කවියෙහි කවිතාව සහ සාරාර්ථය නමින් යුත් රචනාව සහිත කෘතියක් පළවුණා.

මේ රචනාව මම ලිව්වේ 2016 වර්ෂයේ පළවූ කවි පොත් පිළිබඳ විමර්ශනය කරමින්. ඇත්තටම ඒක රසිකයකුගේ ආලෝචන සංග්‍රහයක් කියන්නත් පුළුවන්. මගේ රචනාවත් එකතු කරලා සන්ථව කාව්‍ය විචාර තරගයෙන් ජය ලැබූ රචනාත් සහිතව තමයි පොතක් වශයෙන් පළකර තිබෙන්නේ.

අද සිංහල සාහිත්‍ය විචාර ක්ෂේත්‍රය ගැන පැවසුවොත්..

සාහිත්‍ය කලා විචාරය පළල් ක්ෂේත්‍රයක්. ඒකේ ප්‍රකාශන මාදිලි කිහිපයක් තිබෙනවා. විශ්වවිද්‍යාලවල ප්‍රකාශන ලෙස පළවන සඟරා තිබෙනවා. ඒවායේ වචන 7000-8000ක දීර්ඝ විචාර පළකළ හැකියි. ශාස්ත්‍රීය පදනමක් සහිතව පර්යේෂණ මට්ටමේ ලිපි. තවත් මාදිලියක් තිබෙනවා ශාස්ත්‍රීය පර්යේෂණ ඇසුරින් පළවෙන අර්ධ ශාස්ත්‍රීය ලිපි. ඒවායේ මහජන සඟරා ස්වභාවයක් තිබෙනවා. වචන 3000-4000 ලිපි. ඊළඟට තිබෙන්නේ පුවත්පත් ඇසුරින් යන විචාර ලිපි. 

ඔබ සඳහන් කළ විචාර ප්‍රකාශනවලට උදාහරණ දුන්නොත්?

ඇත්තටම මම මුලින් පැවසූ මාදිලි දෙකටම උදාහරණ දැන් නැති මට්ටමක් තමයි තිබෙන්නේ. විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය සඟරා කිහිපයක් තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් Sri Lanka journal of the Humanities කියලා සඟරාවක් පළවෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් වීමංසා, චින්තක වගේ සඟරා කලින් පළ වුණා. 

දෙවැනි මාදිලියට අයත් සඟරා වශයෙන් මාවත, පියවර, සංස්කෘති වගේ ඒවා හැඳින්වීමට පුළුවන්. නමුත් ඒවා දැන් පළවෙන්නේ නැහැ. ඒ සඟරා සංස්කෘතිය දැන් නැහැ.

විචාර පොත් වශයෙනුත් පළ වෙනවා නේද?

ඉංග්‍රීසි භාෂාවෙන් නම් නිතර පළවෙනවා. මම ළඟදී ගත්තා අර්. කේ. නාරායන්ගේ නිර්මාණ ගැන විචාර කෘතියක්. අපේ ප්‍රධාන ලේඛකයෙක් ගැනවත් දැන් විචාර පොත් ලියැවෙන්නේ නැහැ. පුවත්පත්වල තමයි ලිපි පළවෙන්නේ. 

අද විචාරකයෝ නෑ කියලා බොහෝ දෙනෙක් පවසනවා.

එහෙම කියනවා තමයි. දැන් පුවත්පත්වල කෙටි ලිපියකට අපේ රටේ විචාරය සීමා වෙනවා. Newyork Times, London Times වගේ පුවත්පත්වල සාහිත්‍ය අතිරේක වෙනම පළ වෙනවා. විශාල ඉඩක් සාහිත්‍යයට ඒවායේ දෙනවා. ප්‍රකාශකයොත් ඒවාට දැන්වීම් සපයමින් ආයෝජනය කරනවා. 

අපෙත් ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ සංගමයක් තියෙනවානේ.

ඔව්. ඔවුන් අඩු තරමින් වෙළෙඳ දැන්වීම් සපයමින් ප්‍රධාන පුවත්පතක හොඳ සාහිත්‍ය අතිරේකයක් පළ කිරීමටවත් උනන්දු වන්නේ නැහැ. ඔවුන් විසින් පළ කරන්නෙත් නැහැ. ස්වර්ණ පුස්තක, රජත පුස්තක කාලෙට අවසන් වටයට එන පොත් ටික විකුණගන්න උත්සාහ කරන බවක් තමයි පේන්නේ. 

අතීතයේදී විශ්වවිද්‍යාල ආශ්‍රයෙන් විචාර ප්‍රකාශන පළවීමට මුල් වුණේ කවුද?

ගණනාථ ඔබේසේකර, අමරදාස වීරසිංහ, එච්. එල්. සෙනෙවිරත්න වගේ ඒ කාලේ ජවසම්පන්න තරුණ පිරිසක් බොහොම අමාරුවෙන් තමයි සාහිත්‍ය සඟරා කරගෙන ගියේ. කැලණිය විශ්වවිද්‍යාලයේ වීමංසා සඟරාව කරගෙන ගියේ ඒ කාලේ තරුණ වියේ හිටපු මහාචාර්ය සෝමරත්න බාලසූරිය, උදය මල්ලවආරච්චි වගේ අය. 

මේ සමාජයේ ඒ වගේ වාර ප්‍රකාශනයකට ඉඩ තිබෙනවාද?

ඔව්. මටනම් පේන්නේ ඉඩ තිබෙන බවයි. නමුත් සාමූහිකව ඒකට කැපවුණු පිරිසක් නැති බව තමයි පේන්නේ. සාමූහිකව සාහිත්‍ය කලා කතිකාව කරන පිරිසට වඩා තනි තනිව කරන පිරිස තමයි දැන් වැඩි. දැන් ඕනෑම පොතක් ලියාගත්තොත් ඒක පළ කර ගැනීමේ මුද්‍රණ අවකාශය වැඩියි. ඉස්සරනම් මේ වගේ වාර ප්‍රකාශනවලට ලිපි ලියලා ඊට පස්සේ තමයි, පොතක් පළ කරන්නේ. 

විචාර කතිකාවේ අඩුවක් තිබෙනවා. දැන් බලන්න කලින් පළවුණු සඟරාවල නම් පවා අපූරුයි. පේරාදෙණියේ පියවර, කැලණියෙන් වීමංසා, චින්තක වගේ සඟරා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විදුදය.

දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුත් විචාරවලට එතරම් මැදිහත්වන බවක් පේන්නේ නැහැ. 

ඔව්. ඉස්සර විශ්වවිද්‍යාල කථිකාචාර්ය පරම්පරාව ශාස්ත්‍රීය ලිපි ලිව්වේ මහජන සංවාදයට දායක වෙන්න. දැන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු වැඩි දෙනෙක් ලියන්නේ උසස්වීම් ලැබීමේදී ලකුණක් ලබා ගන්නයි. කවුරුවත් වැඩිපුර නොකියවන සඟරාවක පළ කළත් ඒ ලකුණ ලැබෙනවා. විශ්වවිද්‍යාලවල හුඟ දෙනෙක් නොදන්නා කථිකාචාර්යවරු කොපමණ ඉන්නවද? විශ්වවිද්‍යාලවල සිංහල අංශම 10ක් විතර තිබෙනවා. ලලිත කතා අංශ තිබෙනවා. ඒ අතරින් ලිපියක් පත්තරයකටවත් ලියන කී දෙනාද ඉන්නේ.

ඔබ දකින විදිහට ඒකට හේතුව කුමක්ද?

එක්කෝ මහජන කතිකාවට බයයි. නැත්නම් ඒකට මැදිහත්වෙලා කරන්න තරම් දෙයක් නෑ. විචාර කතිකාව දුප්පත් වීමට විශ්වවිද්‍යා ආචාර්යවරු සෑහෙන්න වගකියන්න ඕනෑ. ඒ අයට අනෙක් අයට වඩා වැටුපක් ලැබෙනවා. පොත්පත් කියවන්න පොත්පත් ගැන උගන්වන්න තමයි පඩි ලැබෙන්නේ. නමුත් වැඩි දෙනෙක් මම කියපු ප්‍රකාශන මාදිලි එකකවත් ක්‍රියාකාරී නෑ. පොත් ලියන්නෙත් නෑ. ශාස්ත්‍රීය සඟරාවල හෝ ජනමාධ්‍යවල පළ කරන්නෙත් නෑ. 

අපට පේනවා තවත් ආචාර්යවරැ පිරිසක් බාහිර උපාධි නිබන්ධන පළ කර විකුණනවා. 

ඔව්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විශාල වැටුපක් දීලා තිබෙන නිසා බාහිර උපාධි හෝ උසස්පෙළ ටියුෂන් කර්මාන්තයට රිංගන එකම වැරදියි. විභාග ඉලක්ක කරගෙන සල්ලි හොයන්න ප්‍රශ්නෝත්තර මට්ටමේ පොත් ලියන එක වැරදියි. ඒ වගේ අය ලජ්ජාවට පත්විය යුතුයි. 

හැබැයි ඔවුන් විශාල ධනයක් උපයන බවනම් පේනවා. 

ඔව්. ඔවුන්ගෙන් සමහරු ගෙවන්නේ ශාස්ත්‍රවන්ත ජීවිත නොවේ. සුපිරි ජීවිත. සැපවත් ජීවිතයකට ආසා කිරීම ගැන මොකවත් කියන්න බෑ. නමුත් තමන් තෝරාගන්නා ක්ෂේත්‍රයට කල් පවතින වැඩක් කළ යුතුයිනේ.

දැන් පිටකසා ගැනීමේ විචාර ඉහළ ගිහින් තිබෙන්නේ විචාර ප්‍රකාශන නැති නිසාද?

මම මුලින් කියපු විචාරක ප්‍රකාශන ධාරාව නැති තැනක හිතවතුන්ට කියලා විචාර ලියවා ගැනීමේ ප්‍රවණතාවයක් ඇති වෙලා. මමනම් අඳුරන්නේ නැති අයගේ පොත් පවා සල්ලිවලට අරන් විචාර ලියලා තිබෙනවා. හිතවතුන් ලියූ විචාර පුවත්පත්වල පළවූ විට වෙනත් විචාර ප්‍රකාශන නැති නිසා ඒවා තමයි පෙනෙන්නට තිබෙන්නේ. සමහර සාහිත්‍ය කරුවන්නම් තම කණ්ඩායමේ හිතවතුන්ගේ කෘති ඔසවා තබනවා. ඒවා විචාරාත්මකව නොවේ ලියන්නේ. 

ඔබ විචාරක කාක්කන් ගැන විටෙක සඳහන් කරනවා.

ඔව්. මම කිව්වේ තම මිත්‍ර සාහිත්‍ය කල්ලියට සම්මාන ලැබුණොත් ඒක වර්ණනා කිරීමටත් වෙනත් කෙනෙකුට සම්මාන ලැබුණොත් අපහාසයට ලක් කිරීමටත් ඉන්න පිරිස ගැනයි. ලංකාව පොඩි රටක් නිසා කාට සම්මාන ලැබුණත් ඒකට අපහාස කිරීම තේරුමක් නැති වැඩක්. නමුත් සම්මානය මළකුණක් බවට පෙරළගෙන ඒකට කොට කොටා ඉන්නවා. ඔවුන් සැප්තැම්බර් ළංවනවිට ගොදුරු සොයාගෙන එනවා. ඔවුන් පොත් ගැන ආන්දෝලනයක් ඇති කරනවා. මමත් සම්මාන කාලෙට දිගටම පහර කන කෙනෙක්. හැබැයි ඒක නිසා මම ලියපු පොත් වැඩිපුර විකිණෙනවා. ලැබෙන කර්තෘ භාගය ඉහළ යනවා. 

 කුසුම්සිරි