2017 දෙසැම්බර් 12- මැදිරිගිරිය නිකහේන
“සෝමාවතිය රක්ෂිතයේ ඉඳන් ගම්වදින අලි අපි අමාරුවෙන් කළ කුඹුරැ ටික විනාශ කරලා. විදුලි වැටක් හැදුවත් ඒක ප්‍රමිතියට නැහැ. මේ නිසා අලි ගම්වදිනවා.”
දෙසැම්බර් 19 - ගල්ගමුව ඉහළ කෝන්වැව
නිවෙස අසලට පැමිණි අලියා පන්නා දැමීමට යාමේදී 53 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.
පොළොන්නරුව ගිරිඋල්ල
තම බිරිය සමඟ රෝහලට යාමේදී සිදුවූ අලි ප්‍රහාරයකින් 68 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් ඇත.
2017 දෙසැම්බර් 23 - බකමූණ
අගංම්මැඩිල්ල හා වස්ගමුව ජාතික වනෝද්‍යානවල වෙසෙන වල් අලි ගම්වැදීම වැළැක්වීමට පියවර ගන්නැයි ඉල්ලමින් අත්තනකඩවල, බකමූණ අවට ජනතාව මහා මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ. මේ ප්‍රදේශවල වන අලි පහරදීම නිසා පසුගිය මාස තුනට 10 දෙනෙක් මිය ගොස් ඇත.
2017 දෙසැම්බර් 23 - මොරවැව
අනුරාධපුර මොරවැව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් විශ්‍රාමික කොමාන්ඩෝ සැරයන්වරයෙක් (47 හැවිරිදි) මිය ගියේය. එයට ප්‍රදේශවාසීහු හොරොව්පතාන කඹුරැගොල්ලෑව මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ. ඔවුන් පවසන්නේ අලි සුරැකුම් මධ්‍යස්ථානයෙන් පැන ගිය නියපොත්තා වන අලියා පහරදීම නිසා මේ මරණය වූ බවයි.
2017 දෙසැම්බර් 25 - අම්පාර
අම්පාර දීඝවාපී ප්‍රදේශයේ කුරුකන්ද අසල වන අලියකු අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටී. ඊට හේතුව ඌ කුණු ආහාරයට ගැනීම විය හැකි බව පශු වෛද්‍යවරු පවසති. මෙම කුණු වළේ මෙයට පෙර අලි 4 දෙනෙක් මිය ගොස් ඇත.
2017 දෙසැම්බර් 26 - හබරණ
හබරණ කිතුල්ලතුව ගම්මානයේ ජීවිත අලින්ගෙන් රැකදෙන්නයැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු විරෝධතාවයක නිරත වූහ.
ඉහත සඳහන් කළේ වන අලියා සහ මිනිසා අතර ඇති වූ තිබෙන ගැටුමට මෑතකාලීන උදාහරණ සැපයූ පුවත් කීපයකි. පසුගිය සති කිහිපය තුළ වන අලි මිනිසාට පහරදීම මෙන්ම අලි ඇතුන් ඝාතනය කිරීම ද ඉහළ ගොස් තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2011 දී කරන ලද අලි සංගණනයට අනුව වන අලි ගහණය 5879කි. වන අලින්ගෙන් 67.79%ක් වනජීවී රක්ෂිත තුළ ද 29.78%ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තරවලද 2.03%ක් හුදෙකලා වන කුට්ටිවලද ජීවත් වෙති. අලියෙකුට දිනකට ශාක කොටස් කිලෝග්‍රෑම් 150ක් ද ජලය ලීටර් 120ක් ද අවශ්‍ය වේ. අලි මේ අවශ්‍යතාව සපුරා ගැනීමට විශාල භූමිභාගයක සැරිසරති. ඒත් අද නිදහසේ සැරිසැරීමට අවශ්‍ය වන භූමි නැත. මේ නිසා අතරමගදී හමුවන මිනිසුන්ට පහරදීම, වාහන හානි, නිවාසවලට පහරදීමට අලි පෙළඹෙති. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අලි සැලකිය යුතු ප්‍රමාණයක් වාසය කරන්නේ ආරක්ෂිත ප්‍රදේශවලින් බැහැරව බවයි.
මේ ගැටුම නිසා අලින්ගේ ජීවිත මෙන්ම ගම්වැසි ජනතාවගේ ජීවිතද අවදානමට පත්ව ඇත. මේ වසරේ රට පුරා අලි මරණ 226ක් වාර්තා වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අතර මිනිස් ක්‍රියාකාරකම් නිසා මියගිය අලි සංඛ්‍යාව 94කි. ඒ අතර ගල්ගමුවේ දළ ඇතා ඇතුළු දළ ඇතුන් හතර දෙනෙක් සිටිති. වෙඩි තැබීම්වලින් 36 දෙනෙක් ද හක්කපටස්වලින් 35ක් ද විදුලි සැර වැදීමෙන් 19ක් හා වස දීමෙන් 4ක් එලෙස මරණයට පත්ව ඇත.
පසුගිය වසරේ වැඩිම අලි ප්‍රමාණයක් මියගොස් ඇත්තේ අම්පාර, මඩකලපුව ප්‍රදේශයේය. එය 51කි. පොළොන්නරුව කලාපයේ අලි 41ක් මරණයට පත්ව ඇත. අනුරාධපුරය 26, හම්බන්තොට උඩවලව 15, පුත්තලම 13, කුරුණෑගල 13, වවුනියාව 11, වික්ටෝරියා හා සමනල අඩවිය 3ක් හා කිලිනොච්චිය 3ක් වශයෙන් එම මරණ වාර්තා වේ. අලි පහරදීම් නිසා වාර්ෂිකව 50කගේ පමණ ජීවිත විනාශයට පත්වේ.
සෑම අවුරුද්දකම අලි 250කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය වෙනවා කියන්නේ සුළුපටු සංඛ්‍යාවක් නොවෙයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියාමක නිලධාරී සංඛ්‍යාව දහසකට අඩුයි. සතුන් සියලු දෙනාටම ආරක්ෂාව ලබාදෙන්න මේ නිලධාරීන්ට අමාරුයි. ගොවියාට අලියා ගැටලුවක් වෙලා. ඒ නිසයි මේ ගැටුම හටගෙන තිබෙන්නේ. වනජීවී නියාමකයන්ගේ සංගමයේ සභාපති චමින්ද ප්‍රියලාල් අත්තනායක කීවේය.
වනඅලි කරදරය හම්බන්තොට සූරියවැවටද හිසරදයක් වී තිබේ. සූරියවැව වල්හපුගල ගම්මානයේ කේ.එන්. අයිරාංගනී ඒ ගැන කීවේ මෙලෙසය.
“දැන් අවුරුදු හතක විතර ඉඳලා අලි කරදරේ. ගෙයක් දොරක් හදන්නත් නෑ. අලි කඩා දමනවා. ගෙයක් හදනවා නම් වටේට විදුලිය දමාගෙන තමයි ඉන්න වෙන්නේ. වන අලි ගමට ඇවිත් මිනිස්සු බුරුතු පිටින් මැරැවත් බලන්න එන්න කෙනෙක් නෑ. වන අලියෙක් මිනිහෙක් අතින් මැරුණොත් සදාකල් හිරේ. මිනිස්සු මොනදේ කරන්නෙත් අලින්ගෙන් ජීවිතේ බේරාගන්නයි. බලධාරීන්ට අපේ දුක තේරෙන්නේ නෑ.
වන අලි කරදරය නිසාත් ක්‍රියාමාර්ග ගැනීමට රජයට වාර්ෂිකව රුපියල් මිලියන 500ක් පමණ වැයවේ. නමුත් එම මුදල් වැයකිරීමෙන් ද සාර්ථක ප්‍රතිඵල නොලැබෙන බව රට වටෙන් අහන්නට ලැබෙන පුවත්වලින් පෙනී යයි. සමහර ප්‍රදේශවල අලි ඇතුන් ජීවත්වන්නේ ජීවිත අවදානම නළලේ කොටාගෙනය. මිනිසුන් ජීවත් වන්නේ මරණ තුනක් අතේ තබාගෙනය. මේ නිසා දෙපාර්ශවයේම කාගේ හෝ ජීවිතය අහිමි වේ. වැල්ලවාය, ලුණුගම්වෙහෙර, උහණ, අම්පාර, පෝරතිව් පත්තුව, මහියංගනය, දෙහිඅත්තකණ්ඩිය, විල්ගමුව, දිවුල්ගල, කොරළේපත්තු දකුණ, බවැලිකන්ද, පලුගස්වැව, ගල්ගමුව, කොටවෙහෙර හා නිකවැරටිය අලි මිනිස් ගැටුම බහුලව පවතින ප්‍රදේශවේ.
වන අලි හා මිනිසුන් අතර පවතින ගැටුම අවම කිරීමට විවිධ යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක වුණත් ඒ කිසිවකින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ නැත. බොහෝ අලි විදුලි වැටවල් ක්‍රියාත්මක වන්නේ නැත. ක්‍රමානුකූල පසුවිපරමක් නැති වීම. පරිපාලන ව්‍යුහයේ දුර්වලතා ඊට හේතුවී තිබේ. රටේ නීති හැදීමේදී හා වනජීවී සංරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීමේදී අලියා ගැන මෙන්ම මිනිසා ගැනත් සිතීම අවශ්‍ය වේ. මිනිසාට මුහුණදීමට සිදුවන වනඅලි ගැටලු ගැන මානුෂිකව නෙත් හෙළිය යුතුය.
වන අලි කරදර ගැන නම් කතා කරලම එපා වෙලා. හවස් වෙනකොට ගමට අලි එනවා. රෑට ගහේ හදපු පැලට නැගලා ජීවිත බේරා ගන්නවා. පුතාගෙ ගේ දෙපාරක් අලි කැඩුවා. දුවගේ ගේ දැන් එක පාරක් කැඩුවා. කවුරුත් අපි ගැන හොයලා බැලුවේ නෑ. අපි ආරාධනා කරනවා වගකිව යුතු මහත්තයෙකුට ඇවිත් එක රැයක් අපේ ගමේ ඉන්න කියලා. එලෙස පැවසුවේ සූරියවැව එච්.ඒ. ජයරත්නයි.
කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ: දිලිප් නුවන් ජයසේකර