2018 ජනවාරි 06 වන සෙනසුරාදා

වෙරිවෙලා පිස්සු කෙළින සුද්දොත් ඉන්නවා

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 160

පරංගි ලංකාවට එද්දී අපේ මිනිසුන්ට පරංගි පෙනුණේ අමුතු සත්තු ජාතියක් ලෙසට ය. සුදු ගල් කමින් රතු ලේ බොන මිනිසුන් පිරිසක් ගොඩබැස ඇතැයි කටින් කට පැතිරුණේ එනිසා ය. එසේ කීවේ පාන් සහ වයින්වලට ය. එදා මෙන් අද ද වයින් මෙන්ම බීර සහ විස්කි, බ්‍රැන්ඩි වැනි නොයෙකුත් මත්පැන් වර්ග යුරෝපයේ ජන ජීවිතයේ අනිවාර්ය අංගයකි. අපේ රටේදී දිනපතා මත්පැන් බොන මිනිසා බේබද්දෙකු වුවත් යුරෝපයේ තත්ත්වය ඊට වෙනස් ය. එහිදී දිනපතා නොබොන කෙනෙකු සොයාගැනීම කළුනික සොයන්නාක් බඳු කාර්යයකි. 

ලංකාවට සංචාරය කරන්නට පැමිණි පසු සුද්දන්ගේ බීම ගැන ද අපි ජෝගෙන් කරුණු ඇසුවෙමු. 

“බොන එක කොයි සුද්දටත් පොදු දෙයක්. සාමාන්‍යයෙන් රෑ කෑමට කලිනුත් කෑමෙන් පස්සෙත් උන් බොනවා. සමහර දාට පාන්දර එක දෙක වෙනකල් බොන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට ඉතින් මටත් ඇහැරිලා ඉන්න වෙනවා” 
රෝමයට ගිය පසු සිටිය යුත්තේ රෝමන්කාරයෙකු හැටියට යැයි ප්‍රකට කතාවක් තිබේ. එනිසා යුරෝපයේදී විස්කි, වොඩ්කා බොන සුද්දෝ ලංකාවට ඇවිත් බොන්නේ අරක්කු ය. ඔවුන් අරක්කු බීම සලකන්නේ ද තම සංචාරයේම එක් සුවිශේෂී අත්දැකීමක් ලෙසිනි.

“අරක්කු කියන්නේ අමුතු බීමක්. අපේ මිනිස්සු අරක්කු වීදුරුවක් බිව්වට පස්සෙ හිනාවෙන්න පටන් ගන්නවා. වීදුරු දෙකක් බිව්වට පස්සෙ කතාකරන්න පටන් ගන්නවා. තව වීදුරුවක් බිව්වොත් වාද කරන්න පෙළෙඹෙනවා. ඊටපස්සෙ කාලා බුදිය ගන්නවා. එහෙම නැතුව තව වීදුරුවක් බිව්වා කියන්නෙ ඉතින් වලියක් ෂුවර්. සරම උස්සගෙන තමයි එන්නෙ. හැබැයි උඹලා එහෙම නටන්න ලෑස්තිවෙන්නෙපා කියලා, අරක්කුයි අපේ මිනිස්සුයි අතර තියෙන බැඳීම විස්තර කරද්දි සුද්දෝ හිනාවෙවී අහගෙන ඉන්නවා”

“අපි අරක්කු එයාලට දෙන්නෙ, ඒ ගැන සම්පූර්ණ විස්තරයකුත් ඉදිරිපත් කරලයි. මේක හදාගන්නේ පොල් මලෙන්, මේක කොන්යැක් වගේ ටිකක් තද සැරක් තියෙන පානයක්, ඉතින් මේක බොද්දි සෝඩා ඕනෙමයි වගේ දේවල් අපි කියලා දෙනවා”.  

මීට අමතරව හෝටල්වලින් අරක්කු යොදා සාදන විවිධ කොක්ටේල් සංචාරකයන්ට පිරිනැමීම ද සාමාන්‍ය දෙයකි. පළතුරු ද යොදා සාදන එවැනි අරක්කු කොක්ටේල්වලට සංචාරකයන් බොහොම කෑදර ය. 

“මට මුණගැහුණු හැම සුද්දෙක්ම වගේ අරක්කුවලට ගොඩක් කැමතියි. හරියට වර්ණනා කරනවා. ප්‍රමිතියට තියෙන ඕන බීමකට ඒ මිනිස්සු ආසයි. අපි ගොඩක් වෙලාවට ටුවර් එකක අන්තිම දවසෙදි වයින් ස්ටෝර් එකක් ළඟ බස් එක නවත්තලා එයාලට ආපහු යද්දි ගෙනියන්නත් බෝතල් අරන් දෙනවා”. 

පදමට බී හොඳට වෙරි වූ පසු සුද්දාට ද මැනර්ස් නැත. වෙරි මතින් පිස්සු කෙළින සුද්දෝ ද ඕනෑ තරම් ජෝලාට මුණගැසී ඇත. වෙරි වූ සුද්දන් නිසා බොහෝ විට වන්දි ගෙවන්නට වෙන්නේ සංචාරක නඩයේ සිටින පම්පෝරිකාර සුද්දෙකුට ය. හොඳට මත්වී සිටින සුද්දෝ එකට එකතුවී අර පම්පෝරිකාරයාව පිහිනුම් තටාකයට ඇද දැමීම බහුලව දකින්න ලැබෙන වෙරි හැසිරීමකි. 

හුදෙකලාවට බර සමරිසියෝ 

ජෝ වැඩිපුර ඇවිදින්නේ ඕලන්ද සහ බෙල්ජියානු සංචාරකයන් සමඟ ය. ඇතැම් අවස්ථාවලදී ඕලන්දයේ සිටම කණ්ඩායම් දෙකක් හෝ ඕලන්ද බෙල්ජියන් කණ්ඩායම් දෙකක් කලවමේ එකම බස්රියකට නැඟී ජෝ සමඟ යනෙන අවස්ථා ද බහුලව හමුවේ. එවැනි අවස්ථාවල ඕලන්ද බෙල්ජියානු ප්‍රේම කතා  ඇතිවූ අවස්ථා ද ජෝගේ මතකයේ තිබේ. 

“ටුවරිස්ට්ලා ගෘප් දෙකක් ඉන්නකොට ඒ ඒ අය අතර පොඩි පොඩි ආදර සම්බන්ධකම් ඇතිවෙන්නත් ඉඩ තියෙනවා. දෙතුන් පාරක්ම ඒ වගේ අවස්ථාවලට මම මුහුණ දුන්නා. ඉතින් කාට හරි තව කෙනෙක් ගැන විශේෂ උනන්දුවක් ඇතිවුණා නම් අපිට ඒක දැනෙනවා. ඉතින් අපිත් එයාලාට අපේ සීමාවේ ඉඳන් කිට්ටු වෙන්න උදව් කරනවා. ඒ කියන්නෙ නැවතිලා ඉන්න හෝටලේ වගේ තොරතුරු අපි එයාලට දෙනවා”

මේ සංචාරක කණ්ඩායම් අතර සමලිංගික ජෝඩු සිටින අවස්ථා ද නැතුවා නොවේ. නමුත් සමලිංගික සංචාරකයන්ගේ හැසිරීම අන් සංචාරකයන්ගේ හැසිරීමට වඩා බෙහෙවින් වෙනස් බව ජෝගේ මතයයි. 
“එයාලා හැමතිස්සේම අනිත් කාණ්ඩෙන් වෙන්වෙලා වෙනම ඉන්න තමයි උත්සාහ කරන්නෙ. අපි එක්ක වුණත් අවශ්‍යම දේකට හැරුණම කතාබහට එන්නෙ නෑ”

පින්නවල අලි ප්‍රේමය

සංචාරකයන්ට රට තොට පෙන්වන්නට කැඳවාගෙන යද්දී ඔවුන්ගේ ආරක්ෂාව ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම අනිවාර්ය කරුණකි. පුංචි ළමයි සංචාරකයන් අතර සිටින අවස්ථාවලදී ඒ ආරක්ෂාව තවත් කිහිප ගුණයකින් වැඩි ය. 
වරක් පින්නවල අලි නරඹන්නට ගිය අවස්ථාවේදී තමා මුහුණ දුන් අත්දැකීමක් ජෝ විස්තර කළේ මෙසේය. 

“පින්නවල අලි බලන්න තියෙන හොඳම විදිහ තමයි අලි නානවා බලන එක. ඉතින් අපිත් ටිකට් අරගෙන අලි නාන ඔය ළඟට ගියා. ටික දුරක් යද්දි අපේ පිටිපස්සෙන් අලි ටිකත් ඇත්ගොව්වෝ එක්ක නාන්න ආවා. ඔය ගාවදි එක ඇතෙක් කුලප්පු වෙලා අපි හිටපු පැත්තට කඩාගෙන එන්න ගත්තා. ඇත්ගොව්වටත් කිසිම කන්ට්‍රෝල් එකක් තිබ්බෙ නෑ. මටත් එකපාරටම මොනවා කරන්න ද කියලා හිතාගන්න බැරිවුණා. එතැන පොඩි ළමයිනුත් හිටිය නිසා මමත් හොඳටම කලබල වෙලයි හිටියෙ. අන්තිමට අනිත් අයටත් ඉක්මණට ඇතුළට එන්න කියලා කෑගහන ගමන් ගඟ අයිනෙ තියෙන කඩයක් ඇතුළට මම ළමයි ටිකත් අරගෙන දිව්වා. වාසනාවට කිසිම කරදරයක් වුණේ නෑ”

අලි කුලප්පුවේ හේතුව දැනගන්න ලැබෙන්නේ ඊට සති කිහිපයකට පසු ය. 

“පින්නවල හිටපු ඇතින්නකට ඇත්තු දෙන්නෙක් ට්‍රයි කර කර ඉඳලා තියෙනවා. එදා අර අපේ පැත්තට කඩාගෙන ආවෙ ඔය විදිහට ඇතින්නට ට්‍රයි කර කර හිටපු එක ඇතෙක්. ඔය සිද්ධියට සතියකට දෙකකට පස්සෙ මම පින්නවල යද්දි එයින් එක ඇතෙක් අනිත් එකාට ඇනලා ඇනලා මරලා දාලා” ඔහු කීවේ හිනැහෙමිනි. 

චීන්නු සහ බඹරු

අපේ රටට පැමිණෙන චීන ජාතික සංචාරකයන් සංඛ්‍යාව වසරින් වසර වැඩිවෙමින් තිබේ. විශේෂයෙන්ම චීනය හා ලංකාව අතර සම්බන්ධතා පහුගිය වසර කිහිපය තිස්සේම වර්ධනය වීම නිසා ලංකාව ගැන චීන ජාතිකයන්ට ඇති ආකර්ෂණය වැඩි වී තිබේ. 

“යුරෝපෙන් එන අයට චීන්නු තරම් පෙන්නන්න බැරි ජාතියක් තවත් නෑ. චීන්නු කෑ කෝ ගහගෙන යද්දි අනිත් ටුවරිස්ට්ලාටත් හරිම කරදරේ. එක වතාවක් මම බෙල්ජියන් ජාතිකයන් පිරිසක් එක්ක සීගිරියට ගියා. අපි ඉස්සරහින් චීන්නු ටිකක් තමයි හිටියෙ. උන්ගේ හැටි දන්න හින්දම මම කිව්වා කෑ ගහන්න එපා බඹරැ ඇවිස්සෙන්න පුළුවන් කියලා. උන් කනකටවත් ගන්නෙ නැතුව කෑ ගගහා ගියා. අන්තිමට හිතුවා වගේම බඹර වදයක් ඇවිස්සුණා. අපේ ගෘෘප් එකේ හිටපු දෙන්නෙක් ඉස්පිරිතාලෙ නවත්තන්න සිද්ධ වුණා” 

භයංකර රාත්‍රියක්

සංචාරකයන් යම් රටකට යන්නේ අලුත් මිහිරි අත්දැකීමක් සොයාගෙන ය. ඔවුන් ඩොලර් වැය කරන්නේ ඒ වෙනුවෙනි. එහෙත් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට හමුවන අත්දැකීම් අතිශය භයානක ය. ඒ අත්දැකීම් ගයිඩ් මහත්වරුන්ට ද ගෙන දෙන්නේ පීඩාකාරී වටපිටාවකි. නමුත් අවුරුදු කිහිපයකට ඉහත සිදුවූ අප්‍රසන්න සිදුවීමක් පවා අද වෙද්දී මිහිරි මතකයක් බවට පෙරළී තිබීම අපූරුය. 

“මම දැනට අවුරුදු කීපෙකට උඩදි ඉන්දියන් ටුවරිස්ට්ලා කණ්ඩායමක් එක්ක කිතුල්ගල ගියා. එතැන ඔක්කොම 60ක් විතර හිටියා. ඉතින් වෝටර් රාෆ්ටින් ගිහිල්ලා, ගල් ගුහාවල ඇවිදලා ගඟ අයිනේ තිබ්බ අපේ කෑම්පින් සයිට් එකට ආවා. එතකොට හවස පහට විතර ඇති. ඔය වෙද්දි පොඩි වැස්සක් එහෙමත් වැහැලයි තිබ්බෙ. අපි ඕක ගණන් ගන්නේ නැතිව කට්ටියව කූඩාරම් ඇතුළට යැව්වා” 

හොඳම හරිය සිදුවන්නේ ඉන්පසුය. 

“පැය භාගයක් ගියේ නෑ. ඇතුළට ගිය කට්ටිය හූ තියාගෙන කෑ ගහ ගෙන එළියට එන්න ගත්තා. සමහර ගෑනු අය බාගෙට ඇඳුම් නැතිව හිටියෙ. බලනකොට වැස්ස නිසා කූඩැල්ලෝ සේරම කූඩාරම් අස්සට ගිහින්. හැම කෙනෙක්ගෙම ඇඟේ කූඩැල්ලෙක් දෙන්නෙක් එල්ලි එල්ලි හිටියා. හැමෝගෙම ඇඳුම් ලේවලින් නෑවිලා. ගෑනු අයගේ යට ඇඳුම් අස්සටත් කූඩැල්ලෝ රිංගලා. කට්ටියම කෑගැහුවා මෙතන ඉන්න බෑ කොළඹ යන්න ඕනෙ කියලා. අන්තිමට අහල පහල තිබුණු හෝටල් ටිකක් බුක් කරලා කට්ටියව සෙට්ල් කරද්දි රෑ එකොළහත් පහුවෙලා” 

රසවත් අත්දැකීම් සමුච්චයක් 
සමඟින් එන සතියෙත් හමුවෙමු...

► රජිත ජාගොඩ ආරච්චි -

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00