2018 ජනවාරි 06 වන සෙනසුරාදා

පොඩ්ඩන්ගේ මාපියන් ඉංග්‍රීසියෙන් ඇන්දු ලෝක ශුරයා

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 257

ජනාධිපති විශේෂ අධ්‍යාපන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකුගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක බව කියාගන්නා“සත් සහන පදනම” නම් සංවිධානයක් මගින් ප්‍රාථමික පංතිවල දරුවන්ගෙන් මුදල් ගරාගත් ජාවාරමක් ගැන පසුගියදා වාර්තාවූයේ රත්නපුරයෙනි. නොමිලේ පවත්වන ඉංග්‍රීසි පාඨමාලාවක විභාග ගාස්තු යැයි කියමින් එක දරුවෙකුගෙන් රුපියල් 650 බැගින් මුදල් රුස් කිරීමේ නිරත වූ පුද්ගලයන් තිදෙනෙක් සැකපිට රත්නපුර නගරයේදී පොලීසියට කොටුකර ගනු ලැබුවේ ඒ ගැන ලැබුණු පැමිණිලි හේතුවෙනි. පසුගිය 31 වැනිදා සිදුකළ මේ වැටලීමෙන් පසුව අනාවරණය වී ඇත්තේ ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත අදාළ ජාවාරම සිදුකර ඇති බවය.

පසුගිය අගෝස්තු මාසයේ පාසල් නිවාඩු සමයයි. ප්‍රදේශයේ 3,4 සහ 5 පංතිවල දරුවන්ගේ නම් හා ලිපිනයන් වලට සිය නිවෙස් වෙත ලැබුණු ලිපියකි. ලිපි කවර එකම ස්වරූපයකි. ඇතුළේ වූ ලිපි ශීර්ෂයේ රාජ්‍ය ලාංඡනය සහිතය. ලැබී තිබුණේ විශේෂ ලිපියකි. සැකෙවින් එහි සටහන්ව තිබුණේ ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් පිළිබඳවය. නොමිලේ පැවැත්වෙන බව එහි විශේෂයෙන් සඳහන් කර තිබුණි. විශේෂ ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් වන එයට සහභාගි වී ලබාගන්නා සහතිකය අතිශය වැදගත් බවත් ශිෂ්‍යත්වය විභාගයට පසුව 6 පංතියට ඇතුළත්වීමේදී එම සහතිකය සඳහා අමතර ලකුණු ප්‍රමාණයක් පාසල තේරීමේදී හිමිවන බවත් එහි සඳහන්ව තිබුණි. මේ ලිපි ශීර්ෂය සහිත ලිපි ඇතැම් දරුවන්ට ලැබී තිබුණේ සිය පාසල වෙත යොමුකෙරුණු පෞද්ගලික නම් සඳහන් ලිපි වශයෙනි.

6 පංතියට ඇතුළත් වීමේදී තම දරුවන්ට අමතර ලකුණු ප්‍රමාණයක් හිමිවනවා යැයි සිතූ මවුපියන් මෙය මහඟු අවස්ථාවක් බව සිතන්නට ඇත. ඔවුන් කටයුතු කළේ අනිවාර්යයෙන් දරුවා එම ඉංග්‍රීසි පංතිය වෙත ඉදිරිපත් කරන්නටය. ලිපියේ සඳහන්ව තිබූ ආකාරයට ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වීමට පෙර එහි සංවිධායකයන් විසින් මෙහෙයවන සම්මන්ත්‍රණයට සහභාගී වීම අවශ්‍ය විය. අනතුරුව නොමිලේ පවත්වනවා යැයි කියන තරග විභාගයට ඉදිරිපත් විය යුතුය. මේ ආකාරයට පවත්වන්නට නියමිත වූ විභාගයකට දිනය යෙදී තිබුණේ පසුගිය 31 වැනිදාය. ස්ථානය වූයේ රත්නපුරය නගරයේ අමතර පංති පවත්වන ස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධ විහාරස්ථාන භූමියකි.

සම්මන්ත්‍රණයේදී දැනුම්වත් කළ ආකාරයට මවුපියවරැ සිය දරුවන් කැටුව විහාරස්ථානයේ අදාළ ශාලාවක් අබියසට රැස්වූවෝය. නොමිලේ පවත්වනවා යැයි කී පාඨමාලාවට අදාළ විභාගය ඇරඹීමට මත්තෙන් එහි සිටි සංවිධායකයන් කටයුතු කර තිබුණේ විභාග ගාස්තුව වශයෙන් රුපියල් 650ක් එකතු කිරීමටය. ඊට අකමැති නොවූ මවුපියවරු මුදල් ලබාදුන්හ. එයට අදාළව රිසිට් පතක් නිකුත් කර එය ඔවුන් සතුවම තබාගත්තේ අයදුම්පත්‍රයට ඇමිණීමට අවශ්‍ය බව කියමිනි. මෙසේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව රැස් වූ මවුපියන්ට සැකයක් මතුවූයේ මේ අවස්ථාවේදීය. එකිනෙකා ඒ පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින් සිටින අතරතුර එක් අයෙක් ක්‍රියාත්මක වූවේය. ඔහු පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 අංකය අමතා දන්වා තිබුණේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකුගේ මෙහෙයවීමෙන් නොමිලේ පවත්වන බව කී ඉංග්‍රීසි පංතියකට විශාල පිරිසක් සහභාගී වී සිටින බවත් ඔවුන්ගෙන් මුදල් අයකරමින් සිටින බවත්ය. තොරතුරු ලද වහාම ඒ සම්බන්ධව රත්නපුරය පොලීසිය දැනුම්වත් කරන්නට පොලිස් හදිසි ඇමතුම් මැදිරිය කටයුතු කර තිබුණි.

මේ කිසිවක් නොදන්නා විභාග සංවිධායකවරු පැමිණ සිටි පිරිස්වලින් මුදල් අයකරමින් සිටියෝය. හදිසියේ එතැනට පැමිණි පොලීසිය මුදල් අයකරමින් සිටි අයගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළෝය. ඔවුන් තිදෙනා පවසා තිබුණේ පරස්පර අදහස්ය. එහිදී දරුවන් වෙත තැපැල්කර යවා තිබූ ලිපි හා ඔවුන් සතුව ඇති ලිපි සහ රිසිට් පත්‍ර පරීක්ෂාවේදී පෙනී ගියේ ජනාධිපති විශේෂ අධ්‍යාපන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු මැදිහත්ව සත් සහන පදනම නමින් පදනමක් පිහිටුවා එමගින් මෙම ඉංග්‍රීසි පාඨමාලාව ක්‍රියාත්මක කරන බවය. තවදුරටත් අනාවරණය වී තිබුණේ එතැනදී ලැබුණු බැංකු ගිණුම් අංකයකට ඇතැම් මවුපියවරු මුදල් බැරකර ඇති බවය.

සැකකාර තිදෙනා අතර එක් කාන්තාවක්ද වූවාය. ඇය පාසලක ඉංග්‍රීසි ගුරුවරියකි. අනෙක් තැනැත්තාත් ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන බව කී අතර සෙසු පුද්ගලයා ජාවාරමේ ප්‍රධානියාගේ ගෝලයෙකි. ඔහු මුදල් අයකිරීමේ නිරතව සිට ඇත. එදින දරුවන් 180 දෙනකුගෙන් විභාග ගාස්තු අයකරගෙන තිබූ අතර එකතු වී තිබූ මුදල රුපියල් 72,000කි. එම මුදල, බැංකු පොතක්, රිසිට් පොත් සහ ලිපි ලේඛන රාශියක් සමඟ සැකකරැවන් පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය. වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූයේ මේ සැකකරැවන් පිරිස මීට ඉහතදී අවිස්සාවේල්ල, කුරුවිට, ඇලපාත හා ඇහැලියගොඩ ප්‍රදේශවලද මේ ආකාරයෙන් සම්මන්ත්‍රණ පවත්වා මුදල් ලබාගෙන ඇති බවකි. ඒ අනුව අවිස්සාවේල්ල සමුපකාර ශ්‍රවණාගාරයේ මීට අදාළ සම්මන්ත්‍රණයක් පවත්වා ඇතැයිද ඒ කොතැනක හෝ ඉංග්‍රීසි පාඨමාලාව පවත්වා නැතැයිද හෙළිවී ඇත.

ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණය අවස්ථාවේ සැකසිතූ මවුපියන් පිරිසක් පොලීසියට කරන ලද දැනුම්දීම මත විමර්ශන සිදුකරමින් සිටියදී ජාවාරමේ ප්‍රධාන මොළකරැ අත්අඩංගුවට ගෙන තිබූ අතර වැඩිදුර විමර්ශන සඳහා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට රත්නපුර පොලීසියට අවශ්‍ය බව දන්වා තිබූ බවද විමර්ශන බාර නිලධාරියෙක් පැවසීය.

රාජ්‍ය ලාංඡනය සහ ජනාධිපතිවරයාගේ සබඳතාවයක් ඇති බව හුවා දක්වමින් සිදුකළ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රුපියල් ලක්ෂ 2 බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබුණි. රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයකුමාර එහි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපාලි මිණිපුර ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරති. මෙම සිද්ධියේ අධිකරණ කටයුතු භාරව පොලිස් සැරයන් 42626 සේනානායක මහතා කටයුතු කළේය.

►විල්තෙර