2018 ජනවාරි 06 වන සෙනසුරාදා

දැරණියගල හොර එෆ්. එම්. රේඩියෝව

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 235

ස්වයං රැකියා ලාභීන්ට සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් ජනතාව අතරට ගෙනයාමට එය සහනදායී අවස්ථාවක් විය. අඩු නැති වැඩිත් නැති වියදම ඊට හේතුවිය. එබැවින් පිරිවැය අඩුවිය. ඊට වඩා ලාභය වැඩිය. ප්‍රදේශවාසී ව්‍යාපාරිකයන්ට ලැබුණු කදිම අවස්ථාවකි. දැරණියගල හා අවට වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාව තම වෙළෙඳ දැන්වීම ප්‍රචාරය සඳහා ප්‍රදේශයේ ක්‍රියාත්මක ගුවන්විදුලි නාලිකාව වූ අනූවයි දශම දෙක (90.2) වෙත යොමු වූයේ ඒ පහසුකම හේතුවෙනි.

පළාතට ආවේණික භාෂාමය ස්වරූපය හිත් ඇදගන්නා සුළුය. සොඳුරු හඬ ආදරණීය ආමන්ත්‍රණය අපූරුය. මේ අතර විකාශය කෙරෙන ගමේ ව්‍යාපාරයක දැන්වීම ප්‍රදේශයට අභිමානයකි. මේ නිසා අනූවයි දශම දෙක අලුත් ගුවන්විදුලි නාළිකාව ශ්‍රවණය කරන්නට ප්‍රදේශවාසීන්ද පෙළඹුණේ නිතැතින්මය. එහෙත් කිසිවෙක් නොදන්නා කාරණය වූයේ අනූවයි දශම දෙක එෆ්.එම්. ගුවන් විදුලි නාළිකාව නීතිවිරෝධී එකක් බවය.

අවිස්සාවේල්ල නගරයට ආසන්නයේ යම් සැණකෙළියක් පැවති බව වාර්තා විය. මීට දින කීපයකට ඉහතදීය. නීති විරෝධී ගුවන් විදුලි නාළිකාව අරඹා තිබුණේ ඊට සමගාමීවය. ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන හා නිෂ්පාදන පිළිබඳ ප්‍රචාරණය සපයා ඒ තුළින් මුදල් ඉපයීම නාළිකාව මෙහෙයවූවන්ගේ බලාපොරොත්තුව වී තිබිණි. මේ ආකාරයට නත්තල් දිනය වූ 26 සිට දෙසැම්බර් 30 දක්වා කාලය තුළ නිදහසේ නීති විරෝධී ගුවන් විදුලිය ක්‍රියාත්මකව තිබී ඇත.
නීති විරෝධී ගුවන් විදුලි නාළිකාව සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත හෝඩුවාවක් ලැබෙන්නේ මේ අතරය. කොමිෂන් සභාව සතු නවීන පිරික්සුම් පද්ධතිය මේ සඳහා උපයෝගී කරගන්නට එම කොමිසමේ නිලධාරීන් කටයුතු කර තිබුණේ එම හෝඩුවාව ලද විගසමය.

තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය සඳහා නිලධාරීන් පිරිසක් දැරණියගල ප්‍රදේශයට යවනු ලැබීය. ඔවුන් ප්‍රදේශයේ රැඳී සිටිමින් හඳුනාගෙන තිබුණේ එෆ්.එම්. 90.02 ඔස්සේ ගුවන් විදුලි නාළිකාවක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවය. අනාවරණය කරගත් තොරතුරු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි සටහන් කෙරුණේ ඉන්පසුවය. පොලිස් පැමිණිල්ල හරහා වරෙන්තුවක් ලබාගෙන අදාළ සැකසහිත ස්ථානය පරීක්ෂා කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා එක්වූහ. පිරිස නීති විරෝධී ගුවන් විදුලි නාළිකාව පිහිටි පරිශ්‍රය වෙත ගියේ සූදානම් සහිතවය. සියල්ල මනා සංයමයෙන් කරන්නට පියවර ගෙන තිබුණි.

තාක්ෂණික මෙවලම් ආධාරයෙන් හඳුනාගෙන තිබුණේ දැරණියගල නගර මධ්‍යයේ පිහිටි උත්සවශාලාවක් තුළ සිට ගුවන් විදුලි නාළිකාව ක්‍රියාත්මක වන බවය. එහි ගිය නිලධාරීහු ගොඩනැගිල්ලේ තෙවැනි මහල දක්වා ගමන් කළෝය. කෙළවර පිහිටි කාමරයක් තුළ නාළිකාව මෙහෙයවමින් සිටි පුද්ගලයෝ දෙදෙනෙක් වූහ. සියලු උපකරණ ක්‍රියා විරහිත කරන්නැයි උපදෙස් දුන් නිලධාරීහු ඔවුන්ගෙන් ප්‍රශ්න කළහ. එහිදී ගුවන් විදුලි තරංග 90.01 යටතේ ලබාගත් බලපත්‍රයක ඡායා පිටපතක් ඔවුන් ඉදිරිපත් කර තිබිණි. එහෙත් නාළිකාව ක්‍රියාත්මක කර තිබුණේ 90.02 ඔස්සේය. එපමණක් නොව මේ බලපත්‍රයේ ඡායා පිටපත කොළඹ ප්‍රදේශයේ කටයුත්තක් සඳහා තාවකාලිකව නිකුත් කළ එකකි. එබැවින් ඉදිරිපත් කළ ලේඛනය බලරහිත ව්‍යාජ එකකි.

ප්‍රශ්න කිරීමේදී හෙළිකර තිබුණේ බලපත්‍රයේ හිමිකරැ කොළඹ ප්‍රදේශයේ රොෂාන් නැමැත්තෙක් බවය. ඔහු එවේලේම දැරණියගලට ගෙන්වා ගන්නට නිලධාරීහු ක්‍රියා කළහ. එහෙත් ඔහු රැගෙන ආවේද පෙර කී 90.01 සඳහන් බලපත්‍රයයි. ඒ මොහොතේම නීති විරෝධී ගුවන් විදුලි නාළිකාව සීල් කරන්නට පියවර ගත් නිලධාරීහු ට්‍රාන්ස් මීටරය, ඇන්ටනාව, පරිගණකය, මයික්‍රෆෝන්, කේබල් ඇතුළු සියලු උපකරණ ගලවා සිය බාරයට ගත් අතර සැකකරුවන් තිදෙනාද අත්අඩංගුවට ගනු ලැබූහ.

ගුවන් විදුලි නාළිකාව පවත්වාගෙන ගිය ප්‍රධාන ජාවාරම්කරැ එහි නොසිටියද ඔහු එම ප්‍රදේශයේ පාසලක සංගීත ගුරුවරයකු බවට හඳුනාගෙන ඇත. එම නාළිකාවේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් සිට ඇත්තේ එම පාසලේ විද්‍යාගාරයේ සහායකයකු වශයෙන් සේවයේ නියුතු අයෙකි. මේ අතර ගුවන් විදුලිය මෙහෙයවමින් ඉදිරිපත් කළ පුද්ගලයා කලකට ඉහතදී ප්‍රසිද්ධ නාළිකාවක සේවය කර ඉවත්ව ගිය කෙනෙකි. එහිදී නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පත භාවිත කරමින් ඔහු මෙකී ජාවාරමේ නිරතව සිට ඇත.

සැකකරුවන් පිරිස ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානවලින් රුපියල් 5000 සිට ඉහළට මුදල් අයකරමින් වෙළෙඳදැන්වීම් ප්‍රචාරණය කර තිබෙන බවට හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගත් උපකරණ හා සැකකරුවන් අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමත බලපත්‍ර රහිතව ගුවන් විදුලි තරංග විමෝචක යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් 1991 අංක 25 දරණ සහ 1996 අංක 27 දරන පනත් ප්‍රකාරව නීතිමය පියවර ගන්නා බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ශාමල් ජයතිලක මහතා සඳහන් කරයි.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර