2018 ජනවාරි 13 වන සෙනසුරාදා

අතුරුපස අපලය

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 128

පුවත්පත්වල පළවන ලග්න පලාපල විශ්වාස කළත් නැතත්, නිකමට මෙන් කියවීම බොහෝ දෙනකුගේ සිරිතය. මට ද ඒ සිරිත ඇත. හොඳ දෙයක් තිබුණොත් භාරගනිමි. නරකක් තිබුණොත් ඉවතලමි. මගේ ලග්නය ධනුය. එක් දිනක් ධනුවට කියා තිබුණේ, අද සවස් කාලය සම්පූර්ණයෙන්ම පුණ්‍ය කටයුතු සඳහා වැයවනු ඇත යනුවෙනි. එහෙත් එදින මධ්‍යම රාත්‍රිය වනතුරුම, මා සිටියේ කොළඹ ප්‍රසිද්ධ අවන්හලක් තුළය. තවත් දිනෙක මගේ ලග්නයට ස්වීප් දිනුම් ඇදෙනු ඇතැයි කියා තිබුණු අතර, එදින මගේ පසුම්බිය නැති විය.

සතිඅන්ත පුවත්පතක පළව තිබූ 2018 වසරේ ලග්න පලාපල තුළින්, ධනු ලග්නයට පවුල් ආරවුල් ඇතිවන බවත් කියා තිබෙනු දුටු මට යකා නැග්ගේය. දශක තුන හතරක් එකට ජීවත්වන මාත් බිරියත්, කිසිදිනෙක එකිනෙකාට උඹ, පලයන් කියාගෙන නැත. එහෙව් සාමකාමී, ප්‍රීතිමත්, වැදගත් පවුලක් වන අප අතර 2018 දී පමණක් ආරවුල් ඇතිවන්නේ කෙසේද? මම පුවත්පත හකුලා පසෙකට විසිකළේ කෝපයෙනි. අර යසට රජකම් කරගෙන හිටපු මනුස්සයවත්, අවුරැදු දෙකකට කලින් ගම්මැද්දටම පිටමං කරල යැව්වේ ඕකුන් තමයි. මා එසේ මුමුණමින් ගෙතුළට යන විට, බිරිය දිවා ආහාරය සඳහා සූදානම් වෙමින් සිටියාය.

බලන්ඩකෝ ඒයි මේ ලග්න පලාපලකාරයො කියන මුසාවාද

මම ද කෑම මේසයට හිඳගනිමින්, එසේ කීමි.

ඇයි මොකද?

බිරිය, ඕනෑවට එපාවට මෙන් ඇසුවාය.

මගේ ලග්නෙට මේ අවුරැද්දෙ පවුල් අවුල් ඇතිවෙනවය කියන්නෙ.

හ්ම්ම්...

බිරිඳගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. මම ඈ දෙස පුදුමයෙන් බැලීමි. ඇය අන් කිසිදිනෙක නොසිටි ලෙසට, මුහුණ එල්ලාගෙන සිටියාය. හත් දෙයියනේ! 2018 පටන්ගන්නකොටම ආරවුලක් ඇතිවෙන්නද යන්නේ...? මම බියපත් වීමි. හැම ලග්න පලාපලයක්ම වරදින්නට විදිහක් ද නැත.

මොකද ඔයා මූණ නරක් කරගෙන? අසනීපයක්වත්ද?

මා ඉතාම දයාබරව එසේ ඇසූ නමුදු, ඇය උරහිස් ගැස්සුවා මිස, කිසිවක් කීවේ නැත.

ගැහැනුන්ගේ දුර්ගුණ ගැන බමුණන් හා නොයෙක් පඬිවරුන් පවසා ඇති දේවල් කියවා ඇති නමුදු, මම මෙතෙක් එවැනි කිසිදු නරකක් මගේ බිරිය වෙතින් නුදුටු බැවින්, මේ අලුත් තත්ත්වය ගැන කලබලයට පත්වීමි. මෙබඳු අවස්ථාවලදී වඩා වැදගත් වන්නේ එක් පාර්ශවයක් ඉවසීමෙන් කටයුතු කිරීමය. එහෙයින් මම අවශ්‍ය තැනකදී පමණක් කතා කිරීමටත්, සෑම වචනයක් ගැනම දෙවරක් සිතා පරිස්සම් වීමටත් තීරණය කළෙමි.

බළලා මල්ලෙන් එළියට පැන්නේ දිවා ආහාරයෙන් පසුවය.

බත් කාලා කන්න මොකුත් නෑනෙ

බිරිඳ කනුකුනු ගෑවාය.

මට ඇහුනෙ නෑ..

ඩෙසර්ට් එකක් නෑනෙ.

ඇයි දෙයියනේ, පළවෙනිදා ගෙනාපු මී කිරි හට්ටිය එහෙම පිටින්ම තියෙන්නෙ.

මී කිරි වැඩක් නෑ

ඉතින්, අයිස්ක්‍රීම් දෙකක්ම තියෙන්නෙ ෆ්‍රිජ් එකේ.

ඒවා දැන් කාලම එපාවෙලා අනේ

ඉතින්, පැපොල්, කෙසෙල් ගෙඩි තියෙන්නෙ. ඇපල් වගේකුත් තිබුණා නේද?

ෆෘට්ස් කන්ඩ බෑ දැන්

එහෙනම් මොනවද ඕනේ... චොකලට් එකක්?

එපා.

කියන දෙයක් පැහැදිලිව කියන්ඩකෝ... පුළුවන් දෙයක් නම් කොහෙන් හරි ගෙනත් දෙන්නම්.

එවර, මගේ බිරිය කිසියම් ලජ්ජාශීලී බවකින් යුතුව, නියපොත්තෙන් මේසය මත, ඉරි ඇන්දාය.

ලජ්ජා වෙන්ඩ එපා. කියන්ඩ මොනවද ඔයාට ඕනෙ?

මට ග්‍රෑන්ඩ් හොටේල් එකෙන් ‍ඩෙසර්ට් එකක් ඕනෙ.

මොනවා? නුවරඑළියෙ ග්‍රෑන්ඩ් හොටේල් එකෙන්?

ඔව්. සංගක්කාර එයාගේ නෝනට කවපු ජාතියෙ ඩෙසර්ට් එකක්.

මම වහාම මේසය අල්ලාගත්තේ, පුටුවෙන් වැටෙන්නට ගිය බැවිනි.

ඔයා මේ හොඳ සිහියෙන්ද කතා කරන්නෙ? ඒ ඩෙසර්ට් එකට ලක්ෂ තිස් අටක් ගියාලු.

එච්චර ලොකු එකක්ම ඕන නෑ. පොඩි එකක් ගමු.

ඒක ලේසිවෙන එකක් නෑ. ස්පාඤ්ඤයෙන් සෝස් වර්ගයකුයි, මැඩගස්කර්වලින් චොක්ලට් ජාතියකුයි ඕනෙලු. මිල අධික ෂැම්පේන් වර්ගයක් දාලා හදපු අයිස්ක්‍රීම් එකකුත් ඕනලු... ඒ විතරක්යැ.. සැරසිලිවලට බ්ලූ සෆායර් මැණික් ඕනෙ.. අපි වගේ අයට, එහෙම ඩෙසර්ට් කන්ඩ නං, කෝටි ගාණක ස්විප් එකක්වත් ඇදෙන්ඩ වෙයි.

අපිට බැරිද ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්ඩ. කොටස් වශයෙන් ගෙවන්ඩ?

ගිය මාසෙ ක්‍රෙඩිට් කාඩ් බිල් එක ගෙවාගත්තෙත් හරි අමාරුවෙන්. ලක්ෂ ගණන්වල ඩෙසර්ට් කන්ඩ ගියොත්, කැවිලා තියෙයි!

නුවරඑළියෙ විතරද එහෙම ඩෙසර්ට් හදන්නෙ. මේ පැත්තෙ හෝටල්වල නැද්ද? ඒ ඩෙසර්ට් එකේ නම “මැරී මී”

ග්‍රෑන්ඩ් හෝටලෙ සූපවේදියෙක්ගෙ, විසිපස් වසරක සේවා කාලය සමරන්නයි, ඒ ඩෙසර්ට් එක හදලා තියෙන්නෙ. හැමදාමත් නෑ. හැමතැනමත් නෑ.

බිරිය, දෑසෙහි කඳුළු පුරවාගෙන ඉවත බලාගත්තාය. මගේ ඉවසීමේ සීමාව පැනීමට ආසන්නය.

මොකද්ද අද ඔයාට හැදිලා තියෙන මේ පිස්සුව? කිරිපැණි ටිකක් හරි, යෝගට් එකක් හරි කාලා ඉන්ඩකෝ, වෙනදා වගේ.

අනේ මට “මැරී මී” හැන්දක් හරි කන්ඩ ඕනේ

ඔහොම ගියොත් ඔයාට කන්ඩ වෙන්නෙ “මැරී මී” නෙවෙයි “ඩිවෝස් මී”

දින කීපයක් යනතුරැම බිරියගේ කන්කරච්චලය නතර වූයේ නැත. එක් දිනක් ඇය මෙසේ කීවාය.

අපරාදෙ මටත් මැරි කරන්න තිබ්බේ සංගක්කාර වගේ කෙනෙක්ව.

මටත් තිබුණෙ යෙහාලි වගේ කෙනෙක්ව බඳින්න.

දැඩි කෝපය නිසා එසේ කියූවද, සංගක්කාර මහතා හෝ ඔහු බිරිය එබඳු මෝඩ තීරණයකට කිසිදා නොඑළඹෙන බව මම හොඳින් දන්නෙමි. කෙසේ වෙතත්, බැරිම තැන මම සංගක්කාර මහතාට ලිපියක් ලිවීමි.

ප්‍රිය කුමාර් සංගක්කාර මහතාණෙනි, ඔබ හා බිරිය ඕනෑම අතුරැපසක් කෑවාට අපේ අමනාපයක් නැත. එහෙත් ඒවා මාධ්‍ය මගින් ප්‍රසිද්ධ නොකරන්නේ නම්, එය අපේ පවුල් සංස්ථාවේ ආරක්ෂාව පිණිස හේතු වේ.

ඉතා නිහතමානී පුද්ගලයකු වන සංගක්කාරයන්, හැරුණු තැපෑලෙන්ම පිළිතුරක් එවීය.

සෞඛ්‍ය පිළිබඳව ඉතා සැලකිලිමත් වන අප දෙදෙනාගේ ද ප්‍රියතම අතුරුපස පළතුරුය. අප ද, “මැරී මී” කෑවේ ජීවිතේ ප්‍රථම වතාවටය.

මා ඒ ලියුම, බිරියට පෙන්වූ පසු මට සිදුවන්නට ගිය ලොකු විපතක් මඟහැරුණි.

ලග්න පලාපල හැමවිටම වරදින්නේ ද නැත.!

කපිල කුමාර කාලිංග