2018 ජනවාරි 13 වන සෙනසුරාදා

පොහොර ආවේ අස්සයා ගියාට පස්සේ

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

ජනාධිපතිවරයා පකිස්තානු අගමැතිගෙන් දුරකතන මගින් කළ ඉල්ලීමකට අනුව ඕමානයෙන් පිටත් වූ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 48000 ක් රුගත් නැවක් පසුගිය 8 දා කොළඹ වරායට සැපත් විය. මෙම පොහොර වරාය පරිශ්‍රයේ සිටම ලොරි 250කින් පොහොර අවශ්‍ය පළාත්වලට බෙදාහැරීම පසුදාම ආරම්භ වූයේ රට පුරා තිබූ උග්‍ර පොහොර හිඟයට පිළියමක් ලෙසය. කුඹුරුවලට පොහොර යෙදීම මාසයකට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබීම නිසා ඇතැම් පළාත්වල ගොයම් ගස් පාණඩු පැහැ ගනිමින් පැවතුණි. කෙසේ වුවද මෙම පොහොර තොගය දැනට ඇති අහේනියට ප්‍රමාණවත් වේද යන්න හා ඒවා නිසියාකාරව අදාළ ගොවියන් අතට ලැබුණාද යන්න පිළිබඳ පසුවිපරම් කිරීම වැදගත් වන්නේ ලැබුණු පොහොර වලින් උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහාය.

ගොයම් වගා කිරීමේදී මෙන් පැළ වූ පසු සති දෙකේ සිට පොහොර යෙදිය යුතු බව නොදන්නා කෙනෙක් නැත. එසේ නම් එම පොහොර ලබාදීම වගකිවයුත්තන්ට අදාළ කාර්යයකි. නිසි කලකට පොහොර නොලැබෙන බව පෙනේ නම් ඒ පිළිබඳව කල් ඇතිව විකල්ප ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණි. එහෙත් එසේ නොකර, හිඟය උග්‍ර වෙනතුරු බලාසිට ඉන්පසු විසඳුම් සෙවීම හෝ එකිනෙකාගේ ඇඟ ගලවාගැනීමට කතා කිරීම විහිළුවකි. ප්‍රශ්නයට උත්තර නැතිනම් නිදහසට කරුණු කීමෙන් විසඳුමක් ලබාගත නොහැකිය.

පසුගිය නුදුරු අතීතය දෙස බලන විට ඉන්ධන නෞකාවක් නිසි දිනට නොපැමිණීම නිසා රට පුරා ඉන්ධන හිඟයක් ඇති වී විශාල කලබැගෑනියක් නිර්මාණය වූ බව රහසක් නොවේ. මෙහිදී ද සිදුවූයේ අවශ්‍ය දිනයට ඉන්ධන තොගය ලබාගැනීමට වගකිව යුතු අංශ අපොහොසත් වීමයි. එසේම ආනයනය කළ සහල් තොග ලැබීම ප්‍රමාද වීම නිසා රට තුළ සහල් මිල ඉහළ ගිය අයුරු ද අපට මතකය. කොතරම් සහල් පිටරටින් ගෙනාවත් තවමත් ඉහළ ගිය සහල් මිල පහළට ගන්නට ආණ්ඩුව අපොහොසත් වී සිටී. පොහොරවලට වූවේද ඒ දේමය.

මේ පිළිබඳ දේශපාලනඥයන් ද විවිධ අදහස් පළකිරීමට පෙළඹී තිබෙනු පසුගිය දිනවල අසන්නට දකින්නට ලැබුණි. රාජ්‍ය අමාත්‍ය පාලිත රංග බණ්ඩාර තමාද නියෝජනය කරන ආණ්ඩුව හැඳින්වූයේ පාණ්ඩු ආණ්ඩුවක් ලෙසය. කෘෂිකර්ම ඇමැතිට පොහොර ටිකවත් හරියට දෙන්නට බැරිවීම ගැන ඔහු ඇමැතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කර තිබුණි. කන්න තුනක් වගාකිරීමට නොහැකි වූ නිසා ගොවියන්ට මෙවර නොමිලේ පොහොර දෙන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පසුගිය 02 දා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කළේය. එහිදී මුදල් ඇමැති පවසා තිබුණේ ගොවීන්ට පොහොර මිලදී ගැනීමට මුදල් දෙන නිසා පොහොර ද නොමිලේ දිය නොහැකි බවය.

අවස්ථාවාදී විපක්ෂ දේශපාලනඥයන් පොහොර හිඟය දඩමීමා කරගෙන ආණ්ඩුව අපහසුතාවකට පත්කිරීමට විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව කියයි. එසේම ආණ්ඩුවට එරෙහි විවිධ මතවාදීන් ද ක්‍රියාත්මක වී ඇති අතර ඇතැමුන්ගේ මෙහෙයවීමෙන් ගොවි උද්ඝෝෂණ සහ නොයෙක් ක්‍රියාමාර්ග දියත් කරමින් පවතී. ළඟදී පැවැත්වෙන ප්‍රාදේශීය මැතිවරණයේ දී පොහොර හිඟය පෙන්වා දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරන පිරිස් ද බිහි වී සිටිති.

පසුගිය දිනවල පොළොන්නරුවේ පැවැති රුස්වීමකට සහභාගි වූ කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් ගොවියන් පොහොර ඉල්ලා සිටි විට ඔහු ස්ථාවර හඬින් පැවසුවේ දෙසැම්බර් මස 30 - 31 දිනවලදී අනිවාර්යයෙන්ම පොහොර නිකුත් කරන බවය. එහෙත් අලුත් අවුරුද්දේ ද සතියක් ඉකුත් වනතුරු අවශ්‍ය පොහොරවලින් කොටසක් හෝ ලබාදීමට ඇමැතිවරයා සමත් වූයේ නැත. එදා ගොවියන්ගේ කෑගැසීම නැවැත්වීමට ඇමැතිවරයා කටින් බතල කොළ සිටවූවා මිස ඒ වන විට පොහොර ගෙන්වීම පිළිබඳ සැලසුමක් ඔහුට නොමැති වූ බව ජනතාවට අවබෝධ විය. ඇතැම් දෙනා පවසනුයේ කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල කුලියට ගැනීමට ඔහුට තිබූ හදිසිය ගොවියාට පොහොර ලබාදීමට නොතිබූ බවය.

කෘෂිකර්ම අමාත්‍යවරයා ස්වකීය වගකීම නිසියාකාරව ඉටුකිරීමට අපොහොසත් වූ නිසා පොහොර ගෙන්වීමට ජනාධිපතිවරයාට මැදිහත් වීමට සිදුවිය. ජනාධිපතිවරයාගේ දුරකතන ඇමතුම නොවන්නට තවමත් රටට අවශ්‍යව තිබූ පොහොරවලින් කොටසක්වත් නොලැබීමට ඉඩ තිබුණි. මේ රටේ උද්ගත වන සෑම ප්‍රශ්නයක්ම විසඳීමට ජනාධිපතිවරයාට අවසානයේ දී මැදිහත් වීමට සිදුවන බවක් දක්නට ඇත. ජනාධිපතිවරයා ඒ සියලු ප්‍රශ්නයක්ම විසඳන්නේ නම් අමාත්‍ය මණ්ඩලයක් කුමටද යන ප්‍රශ්නය පොදු මහජනතාව නැඟීම අසාධාරණ නොවේ.

කෘෂිකර්මාන්ත විෂය උදෙසා පළාත් ඇමැතිවරයා හැරුණු විට මධ්‍යම ආණ්ඩුවට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල ඇමැතිවරැන් 6 දෙනකු සිටින බව වාර්තා වෙයි. ඔවුන් ස්වකීය වගකීම්වලින් හතරෙන් එකක්වත් ඉටුකළා නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත නොවන බව මැදහත් විශ්ලේෂකයන්ගේ මතයයි.

සිදුව ඇති වරද අනිකකුට යොමුකරමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පසුගියදා පැවසුවේ පොහොර ගෙන්වීම රජයෙන් ඉවත් කර පෞද්ගලික අංශයට පැවරීමට මෙයට පෙර මුදල් අමාත්‍යාංශය කටයුතු කිරීම මෙම පොහොර හිඟයට හේතුව බවය.

පොහොර හිඟය අනිකකු නොව ආණ්ඩුවේ ඇතැමුන් විසින් නිර්මාණය කරන ලද්දෙකැයි පවසන්නෝද වෙති. එසේ පොහොර හිඟයක් ඇති කළේ අයථා ක්‍රමවලින් සාක්කු තරකර ගැනීමට අපේක්ෂා කළ අය යැයි විවේචන එල්ල වේ. රජයේ පොහොර සමාගම් දෙක තුළ පසුගිය ඔක්තෝබර් දක්වා තිබූ පොහොර තොග පෞද්ගලික සමාගම්වලට අලෙවිකර ඇති අතර එහිදී වගකිව යුත්තන් ප්‍රකාශ කර ඇත්තේ පොහොර අතිරික්තයක් පවතින බවය. එසේ පවසා තිබූ පොහොර විකුණා මෙලෙස කෘත්‍රිම පොහොර හිඟයක් නිර්මාණය කළේ පොහොර අර්බුදයක් පැමිණි විට ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව පොහොර ලබාගැනීමට බව කියති. රජය එලෙස පෞද්ගලික අංශයෙන් වැඩිමිලට ගන්නට යන්නේ ඔක්තෝබර්වල විකුණූ පොහොර බවටද සැක පළකර තිබේ.

හිඟය ඇතිවීමට තවත් හේතුවක් වී ඇත්තේ 2017-2018 වසරවල මහකන්නයට රාජ්‍ය පොහොර සමාගම් දෙකෙන් බෙදාහැරීම සඳහා පොහොර ගෙන්වීමට ඉදිරිපත් කළ ටෙන්ඩර් පත්‍රික්ෂේප කිරීම බවද දැනගන්නට තිබේ. එසේම මහ කන්නයට පොහොර හිඟය නැති කිරීමට සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව හදිසියේ පොහොර මිලට ගන්නට පසුගිය දෙසැම්බර් 07දා ලන්සු ලබාගැනීම අවසන් කළ ටෙන්ඩරයද නියමිත සුදුසුකම් නොලැබූ බව කියමින් අවලංගුකර ඇත. එසේම නොවැම්බර් 21 දින කැබිනට් මණ්ඩලය අනුමත කළ ටෙන්ඩරයක්ද කෘෂිකර්ම අමාත්‍යංශය විසින් අවලංගු කරනු ලැබ තිබේ.

අවලංගු කළ පළමු ටෙන්ඩරය නොවැම්බර් 9දා කැඳවූ අතර එයින් යූරියා මෙට්‍රික් ටොන් 72,000ක්, ජී.එස්.පී. මෙට්‍රික් ටොන් 3000ක් හා එම්.ඩී.පී. ටොන් 3000ක්ද කැඳවීමට නියමිතව තිබුණි. ඊට පසුව කැඳවූ හදිසි දෙවැනි ටෙන්ඩරය එම්.ඩී.පී. පොහොර මෙට්‍රික් ටොන් 12000ක් සඳහා විය.

පොහොර හිඟයට හේතුව ගැන ලංකා පොහොර සංස්ථාවේ සභාපති රෝහණ වඩුගේ පවසා ඇත්තේ පෞද්ගලික අංශය මගින් ගෙන්වීමට නියමිතව තිබූ පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් නොලැබීම මෙම හිඟයට විශාල ලෙස බලපෑ බවය. එසේම පොහොර ප්‍රමාණවත් ලෙස බෙදාහැරියද දේශපාලන වාසි තකා පොහොර හිඟයක් එතැයි කළ ප්‍රචාරයට රැවටුණු ගොවීන් පොහොර මිටි 10ක් අවශ්‍ය අය 20 ආදී වශයෙන් වැඩිපුර මිලට ගැනීම නිසා හිඟය උග්‍ර වූ බවද කියයි.

කෙසේ වුවද පසුගිය වසරවලදීද දිගටම රටේ වී නිෂ්පාදනය පහළ වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යාලේඛන ප්‍රකාශ කරයි. 2015 වසර හා සැසඳීමේදී 2016 වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4.4 දක්වා සියයට 8.3කින් පහළ වැටී ඇත. අස්වැන්න නෙළාගත් බිම් ප්‍රමාණයද හෙක්ටයාර 1,010,989 දක්වා සියයට 7.1කින් පහළ ගිය අතර 2015 දී හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 4428 ක් වූ වී අස්වැන්න 2016 දී කිලෝග්‍රෑම් 4372 දක්වා පහළ ගොස් තිබේ. අද පවතින තත්ත්වය අනුව 2017 වසරේ වී අස්වැන්න 2016ට වඩා තවදුරටත් පහළ යනු ඇත. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ආර්ථිකයක් හිමි රටක් ලෙස අතීතයේ සිට විරුදාවලි ලැබ තිබෙන නිසා වගකිව යුත්තන්ගේ වගකීම් විරහිතභාවය අනාගතයේදීවත් ඇති නොවීමට පියවර ගත යුතුව ඇත.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න -

දැනට ගොවීන් වෙත පොහොර ලැබෙමින් පවතිනවා. ඒත් තවමත් මැදිරිගිරිය වැනි පළාත්වලට අවශ්‍ය තරම් පොහොර ලැබී නැහැ. සමහර ප්‍රදේශවලට තවමත් ගොවියන්ට දෙන්නේ පොහොර මිටි 2-3 බැගින් තමා. තවත් මෙට්‍රික් ටොන් 75,000ක් රැගත් නැවක් ලබන 15 වැනිදා වනවිට පැමිණෙන බව ආණ්ඩුව කියනවා. ඒ නිසා ඉදිරියේ පොහොර හිඟය සම්පූර්ණයෙන්ම මග හැරිලා යාවි.

ඒත් දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ පොහොර අවශ්‍ය වෙලාවට නොලැබීම නිසා ඇතිව ඇති ගැටලුවයි. දැන් කුඹුරු වපුරලා අවසන් නිසා මඩ පොහොර අවශ්‍ය නැහැ. යූරියා පොහොර ගොයමට වයස සති දෙකේදී සහ දින 27දී යොදනවා. එහෙත් ප්‍රමාද වී ලැබීම නිසා මේ වනවිට සති දෙකකදී යොදන පොහොරද අවශ්‍ය නැහැ. දැන් යොදන්න ඇත්තේ 27ට යොදන පොහොර පමණයි. බණ්ඩි පොහොර අවශ්‍ය වෙනවා. ඒත් ටික දෙනාටයි අවශ්‍ය. එයට හේතුව මේ වනවිට සමහර ගොයම් කිරිවැදිලා අවසන්. සමහර ඒවා කපන්න ආසන්නයි. සමහර ගොයම් කපලාත් ඉවරයි. ඒ නිසා බණ්ඩි පොහොර අවශ්‍ය වන්නේ ගොවීන් සුළු පිරිසකටයි.

ඔහු පවසන්නේ පොහොර අතිරික්ත වුවහොත් යූරියා පොහොර ඊළඟ කන්නය ගන්නට ගබඩා කර තැබිය නොහැකි බවයි. වාතයට නිරාවරණය වුණොත් යූරියාවල නයිට්‍රජන් ප්‍රමාණය සියයට 48කින් අඩුවේ. ඒ නිසා ඉදිරියේදී පොහොර නාස්තිවීමක් සිදුවිය හැකි බව ඔහුගේ අදහසය. 

හුරුළුවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එච්.එම්. උපාලි ඒකනායක පවසන්නේ, පොහොර ලැබුණද, පොහොර මිලට ගැනීමට අවශ්‍ය මුදල් තවමත් හරිහැටි තම ප්‍රදේශයේ ගොවීන්ට ලැබී නොමැති බවයි. ඇතැම් ප්‍රදේශවලට මුදල් ලැබුණද මිලදී ගැනීමට තවමත් පොහොර ලැබී නැති අතර බාල පොහොර වර්ගයක් ඇති බවද ඒවා කිලෝග්‍රෑම් 40 බර මිටිය රුපියල් 2950/- වන බවද ඔහු කියයි. ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් රැපියල් 2500/- මිලට තවමත් ලැබෙන්නේ එක් අයකුට පොහොර මිටි 2-3 බැගින් පමණකි. සුළු හා මධ්‍ය පරිමාණ වගාවලට එය නොසෑහෙන නිසා වැඩිමිලට ගැනීමට සිදුවීමෙන් ගොවීන් අමාරුවේ වැටී ඇත.

ඊයේ (09) කෘෂිකර්ම කමිටු රැස්වීම පැවැත්වුණා. එහිදීද ගොවියකුට පොහොර මිටි 2 බැගින් දෙන බවයි. පැවසුණේ. මෙහි ගොවියන් වී වගේම එළවළු සහ අතිරේක භෝග වගාවලද නිරත වෙනවා. චක්‍ර ලේඛවල සඳහන් අන්දමට ආණ්ඩුවේ පොහොර ලැබෙන්නේ වී සහ බඩ ඉරිඟු ඇතුළු වගා වර්ග 6කට පමණයි. එයට බාහිර බෝග වර්ග වගාකරන අයට පොහොර සහනාධාර සහ කෘෂි රක්ෂණය හිමිවන්නේ නැහැ. මෙය හරිම අසාධාරණයි. රජය බෙදාදුන් බීජ සඳහාද රක්ෂණ ආවරණ ලැබී නැහැ.
මීගලෑව කොට්ඨාස ගොවි සංවිධානයේ සභාපති එම්.එම්. ජයතිස්ස ප්‍රකාශ කළේ, තම ප්‍රදේශයේ ගොවීන්ට පොහොර මිලට ගැනීමට අවශ්‍ය සහනාධාර මුදල් තවමත් ලබාදී නැති නිසා පොහොර ප්‍රමාද වී හෝ ලැබුණද, ගෙවීමට මුදල් නොමැති බවයි. ගොවියන්ට බිත්තර වී බුසල් දෙක බැගින් දෙන බවට කන්න රැස්වම්වලදී පැවසූ නමුත් පෝරම කොළ පිරෙව්වා විනා සල්ලි හෝ බිත්තර වී කිසිවක් නොලැබුණ බව ඔහු කියයි.

දින 45ක් යනකොට ගොයම පූදිනවා. දැන් බොහෝ කුඹුරු පූදින්නට ආසන්නයි. වතුර දුන්නත් පොහොර නොදුන්න නිසා මේ පාර අස්වැන්න ඉතාම පහළ මට්ටමකට බසින වග ස්ථීරයි.

 යසවර්ධන රුද්රිගු

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00