2018 ජනවාරි 13 වන සෙනසුරාදා

විහාරමහාදේවි උයන රසවත් අත්දැකීමක්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 256

පුංචි ළමයෙක් ලෙස කොළඹ සතුටු උයනේ විනෝද වෙන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒකට හේතුව වුණේ වෙන මුකුත් නෙමේ, ඒ දවස්වල තිබුණු යුද්ධයයි. හැබැයි පහුගියදා මම කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටලා තියෙන සතුටු උයන දිහාවට ඇදුණේ එතැන තියෙන සතුට දැකගන්නයි. 

සතුටු උයන කියන්නේ ඇත්තෙන්ම පොඩි ළමයින්ට විනෝද වෙන්න කොළඹ තියෙන හොඳම තැනක්. හරිම වර්ණවත්. අපි ගොඩක් වෙලාවට පොඩි ළමයින්ට බණිනවා, ඔවුන් කම්පියුටරේ, ෆෝන් එක එක්ක දවස ගෙවනවා කියමින්. හැබැයි කම්පියුටරේට, ෆෝන් එකට වඩා පොඩ්ඩෝ මේ වගේ නිදහස් පරිසරයකට කොච්චර ආසා කරනවාද කියලා මෙතැනට ආවොත් හොඳට බලාගන්න පුළුවන්. 

ඉහළට විදෙන වතුර මල් ළඟ තමයි පොඩ්ඩන්ට වැඩිම විනෝදයක් තියෙන්නෙ. ඉවක් බවක් නැතිව එහේ මෙහේ දුවන මේ පොඩ්ඩන්ට අනතුරු සිදුවීම අවම කරන්න මෙතැන රබර් කාපට් පවා යොදලා තියෙනවා. පෝනියන් පිට යෑමත් මෙතැනදී පොඩි ළමයින්ට ලැබෙන ආසා හිතෙන අත්දැකීමක්.

කොළඹදී කන්න ලැබෙන හොඳම අච්චාරු වගේම ඉස්සෝ වඩේ මෙතැනදී රස බලන්න පුළුවන්. ඒ වගේම මේ අච්චාරු කඩවල ඉන්න වයසක කාන්තාවන් කිහිපදෙනෙක් එක්ක පොඩි ඕපදූප කතාබහක පැටලෙන එක පවා හරිම රසවත් අත්දැකීමක්. ගෝල්ෆේස් පිටිය එක්ක සංසන්දනය කළාම මෙතැන ගොඩක්ම පිරිසුදු වටපිටාවක් තියෙනවා. හැමතැනම කසල බඳුන් තියෙනවා වගේම මිනිස්සු ඒවාටම කුණු බැහැර කරන්නත් සැළකිලිමත් වෙන පාටක් තියෙනවා. 

විහාර මහාදේවී උද්‍යානයේ එල්ලෙන පාලමත් මින් මැදුරත් තවත් සුන්දර ස්ථාන දෙකක්. ඉතින් පවුලේ හැමදෙනා එක්ක සතුටින් සති අන්තයක් ගත කරන්න විහාරමහාදේවියේ සතුටු උයන කියන්නේ හොඳටම ගැලපෙන තැනක්! 

ධනූ 
ඡායාරූප – You’re My Favorite

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00