2018 ජනවාරි 13 වන සෙනසුරාදා

ෆේස්බුක්වලින් කවිය ආපහු හරවනවා

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 356

පුවත්පත් කවි පිටු අතරින් කවිය මුවහත් කරගත් ජයන්ත ග. ජෝතියරත්නගේ නවතම කාව්‍ය සංග්‍රහය පරිමිලාය. එය විචාරක අවධානයට පාත්‍ර වූ කෘතියකි. ඔහු එයට පෙර මාවිල්ආරු නොහොත් මරණයේ දොරටුව හා නිමක් නැති කවියක නමක් නැති මිනිසා නමින් කාව්‍ය කෘති දෙකක් පළ කළේය. මේ ඔහු අද කවිය ගැන අප සමඟ පැවසූ අයුරුයි.

පරිමිලා කාව්‍ය කෘතියට ලැබුණු ප්‍රතිචාර ගැන කිව්වොත්?

මගේ අනෙක් පොත් දෙකට වඩා හොඳ විචාරක ප්‍රතිචාර ලැබුණා. සාමාන්‍ය පාඨකයන්ගෙනුත් සතුටුදායක ප්‍රතිචාර තමයි ලැබුණේ. කලින් පොත් දෙකට වඩා මෙහි කවි ඉදිරියෙන් තිබෙන බව තමයි කියැවුණේ.

ඔබට කවියෙන් ඉදිරියට ඒමට බලපෑවේ කවුද?

මුල්ම කාලේ කවි ලියන්න පෙළඹුණේ රත්න ශ්‍රී විජේසිංහගේ කවි කියවලා. අනුර බී. සෙනෙවිරත්නගේ කවිත් මට බලපෑවා.

අලුතින් කවීන් රාශියක් බිහි වී සිටිනවා. ඔවුන් ගැන පැවසුවහොත්?

අලුතින් බිහි වී සිටින තරුණ පරපුරේ හොඳ කවියෙක් ලෙස මා දකිනවා ලක්ශාන්ත අතුකෝරළ. ඔහු කවීන් අතර ඉදිරියෙන් සිටිනවා. තවත් පිරිසක් නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් අනුකරණය කරන බව පේනවා. කවියට සෙක්ස් ඇතුළත් කිරීමටත් සමහරැ පෙළඹිලා. සමස්තයක් විදිහට හොඳ ඉදිරි ගමනක් කවියට තිබෙන බව පේනවා.

කවියට ෆේස්බුක් වගේ සමාජ මාධ්‍ය බලපා තිබෙන්නේ කුමන ආකාරයටද?

ෆේස්බුක් හරහා බහුලව කවි ලියවෙනවා. කිසිම සංස්කරණයකින් තොරව දිනපතා කවි විශාල ප්‍රමාණයක් එහි පළවෙනවා. ඒවාට යාළුවන්ගෙන් ලයික් ලැබෙනවා. ඇගයීම් ලැබෙනවා. එවිට ලියූ කෙනා හිතන්නේ ඒක ඉහළම නිර්මාණයක් කියලයි. මේ නිසා කවියට හානියක් වන බවයි පේන්නේ. ෆේස්බුක් හරහා බිහිවූ හොඳ කවීන් සුළුතරයක් හිටියා. රුවන් බන්දුජීව ඒ අතර ඉදිරියෙන් සිටිනවා. නමුත් බහුතරයකගේ කවි සැලකිය යුතු මට්ටමක නැහැ.

ෆේස්බුක් මාධ්‍යය කවියේ යහපත් වර්ධනයට බලපාලා නැද්ද?

මම නම් එහෙම යහපතක් දකින්නෙ නැහැ. මට පේන්නේ ඒ නිසා කවිය ආපස්සට යනවා වගේ. බොහෝ කවි නිකම් වචන ගොඩක් පමණයි. රැල්ලට යන එකම ආකාරයේ කවි තමයි බහුලව දකින්න ලැබෙන්නේ. එහෙම ලියන කවි එකතු කර සමහරු පොත් වශයෙන් පළකරනවා. ඒවායේ හොඳ කවි දෙක තුනයි තියෙන්නේ. වැඩි හරියක් වැදගැම්මකට නැති වචන ගොඩක් විතරයි.

අද කවිය 70‘% – 80‘ දශක එක්ක සසඳන විට වර්ධනයක් තිබෙනවද?

ලක්ශාන්ත වගේ කවීන් කිහිපදෙනෙක් ඉදිරියෙන් හිටියත් මහලොකු ගුණාත්මක වර්ධනයක් නෑ කියලයි මට හිතෙන්නේ. 80 දශකයේ මෙයට වැඩිය හොඳ කවීන් හිටියා. ජයවඩු විතාන, අනුර බී. සෙනෙවිරත්න, දයාසේන ගුණසිංහ, රත්න ශ්‍රී, යමුනා මාලනී පෙරේරා, මොනිකා රුවන්පතිරණ, විමල් දිසානායක, ගුණදාස අමරසේකර, සෙනරත් ගොන්සල්කෝරාළ, ලාල් නෑගොඩ, බුද්ධදාස ගලප්පත්ති ඇතුළු හොඳ කවීන් රැසක්ම ඒ කාලෙ හිටියා. අද එහෙම කැපීපෙනෙන විශාල පිරිසක් දකින්න අමාරුයි.

ඔබේ කවි එකතුවේ දිගු කවි වගේම කෙටි කවිත් තිබෙනවා. අද කෙටි කවිය ගැන කිව්වොත්?

ඔව්. කෙටි කවි ලිවීමටත් මා කැමැත්තක් දක්වනවා. ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ වගේ කවීන් හරහා මේක මෑතකදී මතුවුණා. ආරියවංශ රණවීරගේ කවියක් තිබෙනවා, දිරාගිය සරුංගලයක් බෝ අත්තක කියලා. ඉන් සසර ගමන ගැන දාර්ශනික අරැතක් මතුවෙනවා. නමුත් දැන් ලියැවෙන බහුතරයක් කෙටි කවිවල එවැනි අර්ථපූර්ණ බවක් නෑ. වචන දෙක තුනක් පමණයි. නමුත් කෙටි කවිය තුළින් ගැඹුරු අරුතක් මතු කළ යුතුයි. ජපන් හයිකු කවිවල ඒ ගැඹුරු බව වඩාත් කැපීපෙනෙනවා.

ඔබ අද කවි පොත් අලෙවිය දකින්නේ කෙසේද?

අද වනවිට පසුගිය අවුරුදුවලට වඩා කවි පොත්වලට මාකට් එකක් හැදී තිබෙනවා. මේ නිසා අලෙවිය තරමක් සතුටුදායකයි. කවි පොත්වලට සම්මාන දෙන උළෙල කීපයක්ම තිබෙනවා. රජත පුස්තක, ගොඩගේ සම්මානය, රාජ්‍ය සාහිත්‍ය උළෙල වගේ. මේ නිසා වසර කීපයකට පෙර තිබූ කවි පොත් පළකරවා ගැනීමේ දුෂ්කරතාව අද තරමක් මැකී ගිහින්. සමහර ප්‍රකාශකයන්ද කවි පොත් පළකිරීමට උනන්දුයි.

♦ පාඨක