2018 ජනවාරි 20 වන සෙනසුරාදා

මුහුදු යන ජීවිත රැකදෙන නාවික හමුදා විධාන හත

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 281

අව් වැසි සුළං පීඩා මැද ගැස්සීම පැද්දීම නිමක් නැත. රෑ දවල් අඳුර වගක් නැත. සියල්ල මැද හදිස්සියට පය තබන්නට බිම් අඟලක් නැත. රාජකාරිය කොතරම් දුෂ්කර වූවද දිවයින වටා මුහුදු සීමාවේ සැබෑ ආරක්ෂාව වෙනුවෙන් ඔවුහු යුහුසුළු වෙති. වෙලාව අවේලාව නොතකා විසි හතර පැයේ සෝදිසි මෙහෙයුම් කිරීම් මුදවා ගැනීම් හා සුවිශේෂී මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සීරුවෙන් සිටියි.

මේ ආකාර සුවිශේෂී මෙහෙයුම් කාර්යභාරයක නිරත නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවන්, මුර සංචාරක නෞකාවන්, වෙරළාරක්ෂක මුර නෞකා, යාත්‍රා මෙන්ම 4 වැනි වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අනුයුක්ත යාත්‍රා ඇතුළු සෙසු යාත්‍රා ඊට ඉමහත් දායකත්වයක් සපයයි. දිවයිනට ඈත අන්තර්ජාතික මුහුදු සීමාවේ යාත්‍රා කරන වෙළෙඳ නෞකාවල සිදුවන හදිසි ආපදා, ස්වභාවික ව්‍යසනයන්ට ගොදුරු වීම, නෞකා කාර්යමණ්ඩලයේ සාමාජිකයන් රෝගාතුර වීම, ධීවර රැකියාවේ නිරතව සිටින බහුදින යාත්‍රාවල පුද්ගලයන්දට සිදුවන ආපදා හෝ බරපතළ රෝගී අවස්ථාවන්හිදී බේරා ගැනීමට කටයුතු කිරීමට නාවික හමුදාව සමත්ය.

මහ මුහුදේ යාත්‍රා කරන නෞකාවල හෝ ධීවර යාත්‍රාවලට සිදුවන ආපදා, ව්‍යසන හෝ පුද්ලගයින්ගේ රෝගී තත්ත්ව පිළිබඳ තොරතුරු නාවික හමුදාවට වාර්තා වෙයි. එසැණින් ක්‍රියාත්මක වන නාවික නිලධාරීන් ඕනෑම කාලගුණ තත්ත්වයක හෝ ඕනෑම අසීරු මුහුදු තත්ත්වයකදී මුදා ගැනීමේ මෙහෙයුමට සූදානම්ය.

“මහ මුහුදේ නැවකට හෝ ධීවර යාත්‍රාවකට යම් අනතුරක් වෙලා නම් ඔවුන්ට යම් බරපතළ රෝගී තත්ත්වයක් ඇති වෙලා නම් යාත්‍රාව සතු හෝ ප්‍රදේශයේ පවතින සන්නිවේදන උපකරණ මගින් ඔවුන් පිටත්ව ගිය ධීවර වරාය වෙත තොරතුරු දන්වනවා. එතන නිලධාරීන් ක්ෂණයකින් ඒ බව ධීවර අමාත්‍යංශයට දන්වනවා. ඒත් සමඟ තොරතුර නාවික හමුදා මූලස්ථානයට ලැබෙනවා. ඉන් පසුව නාවික හමුදාවේ සන්නිවේදන අංශය මගින් අනතුර සිදුව ඇති හෝ රෝගී පුද්ගලයා රැඳී සිටින යාත්‍රාවට ආසන්නව ආරක්ෂාවේ නිරත වන නාවික නෞකාවට හෝ බෝට්ටුවට දන්වනවා. එම නිලධාරීන් වහාම අදාළ ස්ථානයට සොයා ගොස් අවශ්‍ය මුදාගැනීම් සිදු කරනවා. රෝගීන් සිටී නම් ඔවුන් නාවික හමුදාව විසින් බේරාගෙන නෞකාවේ  තබා වෛද්‍ය සහායක කාර්ය මණ්ඩලය විසින් අවශ්‍ය ප්‍රථමාධාර දෙනවා. අසාධ්‍ය තත්ත්වයක්නම් වහාම ගොඩබිමට රැගෙනවිත් රෝහල්ගත කරන්නට පියවර ගන්නවා” යැයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

මීට අමතරව මුහුදු ගිය ඇතැම් බහුදින යාත්‍රා අතුරුදන්ව ඇතැයි ද නාවික හමුදා මූලස්ථානයට තොරතුරු ලැබෙයි. එහි පළමු තොරතුර මුහුදු ගිය ධීවරයින්ගේ පවුල්වල උදවිය විසින් ආසන්නතම ධීවර වරායට හා පොලීසියට දන්වයි. 
“ගිය සතියේ අපේ බෝට්ටුව මූදු ගියා. දවස් තුනක ඉඳන් කෝල් එකක්වත් නෑ... සිග්නල් නෑ... වරායත් එක්ක සම්බන්ධයක් නෑ...” මේ අයුරින් පොලීසියට ඉදිරිපත් කෙරෙන පැමිණිල්ල නාවික හමුදාවට දැනුම්දීමෙන් පසුව ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කරන්නට නාවික නිලධාරීහු ක්‍රියාත්මක වෙති. මේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික විධාන 7 අතුරින් නැගෙනහිර නාවික විධානය, බටහිර නාවික විධානය, උතුරු නාවික විධානය, උතුරු මැද නාවික විධානය, දකුණු නාවික විධානය, වයඹ නාවික විධානය, ගිණිකොන නාවික විධානවලට අයත් ආසන්නම නිලධාරීහු පියවර ගනිති. මේ සඳහා ඇවැසි නෞකා මෙහෙයුම් සඳහා යොමු කරන්නට නාවික විධානයන් බාර අඥාපතිවරු කටයුතු කරති.

මේ ආකාරයට 2017 වර්ෂයේදී දෙස් විදෙස් නෞකා සහ යාත්‍රාවලින් අනතුරට පත් පුද්ගලයන් 43 දෙනකු මුදවා ගන්නට හා හදිසි ප්‍රථමාධාර ලබාදී ගොඩබිමට රැගෙනවිත් රෝහල්ගත කරන්නට නාවික හමුදා සෙබළුන් කටයුතු කර තිබුණි. මෙසේ හදිසියේ මුහුද මැදදී හෘදයාබාධයකට ගොදුරු වූ ධීවරයකු කඩිනමින් රෝහල්ගත කරන්නට හා අනතුරට පත් වූ බහුදින යාත්‍රාවක ධීවරයින් 3 දෙනකු ඇතුළු හතර දෙනකු නිරැපද්‍රිතව ගොඩබිමට රැගෙන එන්නට පසුගිය 6 සහ 10 වැනිදා නාවික සෙබළු සමත් වූහ. එම ආසන්නතම සිදුවීම පසුගිය 10 වැනිදා වාර්තා වූයේ දෙවිනුවර ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 13ක් පමණ ඈත මුහුදේදීය.

හික්කඩුව ධීවර වරායෙන් මුහුදට ගිය බහුදින යාත්‍රාවක ධීවරයකු හදිසියේ මරණයට පත් සිටි අතර දේහය රැගෙන එමින් සිටින අතරතුර යාත්‍රාව නැවක ගැටී අනතුරට පත්ව තිබුණි. සිද්ධිය නාවික හමුදා මූලස්ථානයට වාර්තා වූ පසුව දකුණු නාවික විධානයට දන්වා පී. 492 සහ පී. 480 වේග ප්‍රහාරක යාත්‍රා ඒ මොහොතේම පිටත්ව ගොස් මධ්‍යම රාත්‍රියේදී ධීවරයන් තිදෙනකු බේරා ගැනීමට සමත්ව තිබුණි. මෙසේ බේරාගෙන තිබුණේ හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය “නදීකා 2” යාත්‍රාවේ ධීවරයන් පිරිසකි.

ඊට දින කීපයකට පෙර 6 වැනිදා මුහුද මැද තිබූ “යස ඉසුරු 1” බහුදින යාත්‍රාවේ ධීවරයෙක් හෘදයාබාධයකට ගොදුරුව සිටියදී කඩිනමින් රැගෙනවිත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කරන්නට දකුණු නාවික විධානයේ පී 432 යාත්‍රාව සමත්ව තිබුණේ ගොඩබිමට මුහුදු සැතපුම් 48ක් ඈත දියඹේ සිටය.

නාවික හමුදා මූලස්ථානයට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ උතුරු නාවික විධානයට අයත් “ප්‍රතාප” නෞකාව විසින් පසුගිය ජූනි 15 වැනිදා උතුරු මුහුදේ කාර්මික දෝෂයකට ලක් වී අතරමං වී සිටි ධීවරයන් තිදෙනකු බේරා ගැනීමට සමත්ව තිබුණි. මෙසේ අතරමං වී සිට ඇත්තේ ගුරුනගර් ධීවර වරායෙන් මුහුදු ගිය “සුදීප” නැමැති යාත්‍රාවයි. ඔවුන් ඩෙල්ෆ් දූපතට නාවික සැතපුම් 5ක් ඈත සිටියදී මුදා ගැනීමට සමත්ව තිබූ අතර යාත්‍රාව ධීවර වරාය වෙත රැගෙන එන්නට පියවර ගෙන තිබුණි.

බත්තලංගුණ්ඩුව දූපත පිහිටා ඇත්තේ කල්පිටිය වෙරළේ සිට මුහුදු සැතපුම් 30ක් පමණ ඈතිනි. එහි දහසකට අධික ජනතාවක් ජීවත් වෙති. ඔවුන් අතර ගැබිනි මාතාවන්ට අවශ්‍ය වන හදිසි ප්‍රතිකාර සඳහා වයඹ නාවික විධානයට අයත් යාත්‍රා ඕනෑම මොහොතක ක්‍රියාත්මක කරයි. එවැනි අවස්ථාවක රෝගීන් කල්පිටිය දක්වා රැගෙනවිත් ප්‍රතිකාර ලබා දීමට පියවර ගනියි. බත්තලංගුණ්ඩුව දූපතේ ධීවරයන් පිරිසක් බෝට්ටුවට නැගී ධීවර රැකියාවට ගොස් සිටියදී මුහුදු ජීවියෙක් වන “වාලක්කඩියා” ගේ හපා කෑමට ලක්ව තිබුණේ ඉකුත් දිනකය. වාලක්කඩියා අධික විෂ සහිත මාළුවෙකි. ජීවිත හානි වන තරම් උග්‍ර විෂ සහිත මාළුවාගේ ප්‍රහාරයට ලක් වූ ධීවරයාගේ බෝට්ටුවේ සාමාජිකයන් ඔවුන් සතු සංඥා උපකරණ අධාරයෙන් කල්පිටිය ධීවර වරායට දන්වා අනතුරුව ඒ වනවිටත් දියඹේ තිබූ වයඹ නාවික විධානයේ යාත්‍රාවක නිලධාරීන් පිරිසක් ගොස් රෝගියා කඩිනමින් රෝහල්ගත කර ප්‍රතිකාර සඳහා යොමු කරන්නට පියවර ගෙන තිබුණි.

පසුගිය දෙසැම්බර් 11 වැනිදා නාවික හමුදාවට තොරතුරක් ලැබී තිබුණේ “Thai Binh Bay” නම් වියට්නාම් රටට අයත් බහලුම් නෞකාවෙනි. එය කොළඹ ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 8.5ක දුරින් යාත්‍රා කරමින් සිටියදී හදිසි අනතුරක් හේතුවෙන් එහි නාවිකයෙක් බරපතළ තුවාල ලැබීය. මේ තොරතුර ලද වහාම බටහිර නාවික විධානයට අනුයුක්ත වී 646 වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා රැගෙන පැමිණ වැඩිපුර ප්‍රතිකාර සඳහා කොළඹ ප්‍රධාන පෙළේ රෝහලකට ඇතුළත් කරනු ලැබීය.

අසීරු මොහොතක මේ රෝගී සත්කාරය සිදුකර දින තුනකට පසුව දෙසැම්බර් 14 වැනිදා අන්තර් ජාතික මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක සිටි අසාධ්‍ය නාවිකයෙක් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමටද හැකි වී තිබුණි. එය ත්‍රිකුණාමලය වෙරළේ සිට නාවික සැතපුම් 60ක් පමණ ඈත මුහුදේ සිට සිදු කළ එකකි. එම නෞකාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලැබුණු හදිසි පණිවුඩයකට ක්‍රියාත්මක වූ නැගෙනහිර නාවික විධානයට අයත් පී 4443 දරණ වේග ප්‍රහාරක යාත්‍රාව දියඹට ගොස් රෝගී නාවිකයා යාත්‍රාවට නංවාගෙන පැමිණ වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබීය.

“මරියා ඉරුදයා” මධ්‍යම ප්‍රමාණයේ නැව ඉන්දියාවට අයත් එකකි. එමගින් මාලදිවයින වෙත භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිටින අතරතුර ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේදී කාර්මික දෝෂයකට ලක් වී මුහුදුබත් වෙමින් තිබී ඇත. දින කීපයකට ඉහතදී මේ නෞකාව අනතුරකට පත්ව තිබූ බව ශ්‍රී ලංකා නාවික හමුදාවට මාලදිවයින රාජ්‍ය විසින් දන්වා තිබුණි. ඒ වනවිට දකුණු නාවික විධානයේ මුර සංචාරයේ යෙදී සිටි නාවික නෞකාවකට හා අනෙකුත් ජාත්‍යන්තර නෞකාවන් කීපයකට තොරතුරු දන්වන්නට නාවික හමුදා මූලස්ථානය ක්‍රියාකර තිබුණි. මෙහිදී වහා ක්‍රියාත්මක වූ දකුණු නාවික විධානයට අයත් නෞකාවක් කඩිනමින් අදාළ ස්ථානයට ළඟා වී මුහුදුබත් වෙමින් තිබූ නෞකාවේ සිටි කාර්යමණ්ඩලයේ 7 දෙනා නිරුපද්‍රිතව මුදාගෙන ගොඩබිමට රැගෙන එන්නට සමත්ව තිබුණි. මේ මෙහෙයුම ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 68ක් ඈත මුහුදේ සිදු කළ එකකි.

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ මුර සංචාරක රාජකාරියේ යෙදී සිටියේ උතුරු නාවික විධානයට අනුයුක්ත පී 494 වේග ප්‍රහාරක යාත්‍රාවය. පසුගිය අගෝස්තු 31 අලුයම් කාලයේදී ඔවුන්ට නිරීක්ෂණය වී ඇත්තේ ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්ව ගිලෙමින් තිබෙන බවය. වහා ක්‍රියාත්මකව තිබූ නාවික සෙබළු අනතුරට පත් ධීවරයන් 4 දෙනා නිරුපද්‍රිතව මුදාගෙන එම ට්‍රෝලර් යාත්‍රාව ද සමඟ කන්කසන්තුරේ නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කළහ. නාවික කිමිදුම් අංශ සාමාජිකයන් විසින් ට්‍රෝලර් යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර තිබිණි. මේ අනතුර සිදුව තිබුණේ අසල තිබූ දූපතට නාවික සැතපුම් 8.5ක පමණ දුරකිනි.

මෙවැනි ඕනෑම අවස්ථාවක මුහුදේ යාත්‍රා කරන නෞකා වෙළෙඳ හා භාණ්ඩ ප්‍රවාහන නෞකා, පුද්ගල ප්‍රවාහන නෞකා මෙන්ම බහුදින ධීවර යාත්‍රාවල අසාධ්‍ය රෝගී තත්ත්වයන්වල පසුවන පුද්ගලයන්ට කඩිනම් ප්‍රතිකාර ලබා දීම, රෝහල්ගත කිරීම මෙන්ම ආපදාවන්ට ලක් වූ යාත්‍රා හා පුද්ගලයන් මුදාගනිමින් මානුෂීය ආධාර සත්කාර පිරිනැමීමට හා සහන සැලසීමට නාවික හමුදාව නිරන්තරවම කටයුතු කරයි.

(ස්තූතිය - ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතාට)

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර 
සේයා රූ - ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකය

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00