2018 ජනවාරි 20 වන සෙනසුරාදා

ෆොටෝ කලාවත් වඳ පීදිලා

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

- ලාල් හෑගොඩ

ලාල් හෑගොඩ අපට සිටින විශිෂ්ට ඡායාරූප ශිල්පියෙකි. සම්මානනීය කවියෙකි. ඔහු ඡායාරූප ශිල්පියෙකු ලෙස වසර 52ක්ද, ඡායාරූපකරණ ගුරුවරයකු ලෙස වසර 48ක්ද සේවය කර තිබේ. මෙරට මෙන්ම එක්සත් රාජධානියේ සහ ජපානයේ ද ඡායාරූප ප්‍රදර්ශන පවත්වා ඇත.

අද ඡායාරූප ශිල්පයේ කලාත්මක බව වෙනුවට වාණිජත්වය ඉස්මතු වෙන බව පේනවා.

හැම කලාවකටම බලපාලා තිබෙන දේම තමයි ඡායාරූප ශිල්පයටත් බලපාලා තිබෙන්නේ. අද බහුලව සිද්ධවන්නේ එදිනෙදා සිදුවීම් ඡායාරූපගත කිරීමයි. කැමරා සුලබ වෙලා. හැම ගෙදරකම කැමරා තිබෙනවා. ජංගම දුරකතනයෙත් කැමරා තිබෙනවා. කවුරුත් කැමරා බහුලව පාවිච්චි කළත් කලාත්මක ඡායාරූපයකට යාමට සූදානමක් නැහැ. ඇත්තටම ඒකට කරන්න දෙයක් නෑ. මේක තමයි අද සමාජයේ තත්ත්වය.

ඉන් පේන්නේ තාක්ෂණය දියුණුවන විට කලාවේ සියුම් අංග යටපත් වන බවද?

නැහැ. තාක්ෂණය දියුණුවන විට කලාව දියුණු කරන්න පුළුවන්. තාක්ෂණයට කලාව යට යන්නෙ නැහැ. නමුත් අපේ තාක්ෂණික ශිල්පීන් කලාව සඳහා උනන්දු වන්නෙ නැහැ. සමහර අය උනන්දු වන්නෙ ආදායමක් ලබාගන්න. නැත්නම් තමන්ගේ සිදුවීම් වාර්තාගත කර තබාගැනීමට.

අද කලාත්මක ඡායාරූප බිහිවීම අඩු ඇයි?

කලාත්මක ඡායාරූපවලට අපේ රටේ ඉල්ලුමක් නැහැ. ඒවා නිර්මාණයේ දී වැඩිපුර මුදලක් වගේම වැඩිපුර කැපවීමක් ද කරන්න වෙනවා. තාක්ෂණය දියුණුවීම මේ ක්ෂේත්‍රයට හොඳයි. කලාත්මක ඡායාරූපකරණයේ නව ඉසව්වලට යාමට එය මඟපාදනවා.

කලකට පෙර ඡායාරූප සංගම් කිහිපයක්ම අප රටේ තිබුණා. ඒවායෙන් ඡායාරෑප පාඨමාලා, ප්‍රදර්ශන පැවැත්වුවා. අද එම සංගම් දකින්න නැද්ද?

එම සංගම් තිබෙනවා. නමුත් ක්‍රියාකාරීත්වය ඇකිලිලා ගිහින්. විශාල ලෙස සමාජමය වශයෙන් බලපෑමක් කිරීමට එම සංගම්වලට නොහැකිවෙලා.

ඩිජිටල්කරණය ඡායාරූප ශිල්පයට බලපෑවේ කෙසේද?

ඩිජිටල්කරණය නිසා බොහෝ දෙනෙක් ඡායාරූපකරණයට එළඹුණා. උදාහරණ ලෙස ඉස්සර අවුරුද්දකට ඡායාරූප ශිල්පීන් විසිපන්දාහ ගාණේ වැඩිවෙනවා නම් ඩිජිටල්කරණය නිසා එය දෙලක්ෂ පනස්දාහකින් වගේ අසීමිතව වැඩිවුණා. නමුත් මේ වැඩිවීම සිද්ධවුණේ තම පෞද්ගලික අවස්ථා ඡායාරූපගත කරගැනීම සඳහායි. දැන් හුඟදෙනෙක් තම පින්තූර ගැනීමට ඡායාරූප ශිල්පියෙකු කරා යන්නෙ නැහැ. ඉස්සර උපන්දින සාද, පෞද්ගලික සාද වගේ දේවල් පවා ඡායාරෑප ශිල්පියෙකු ලවා තමයි ගත්තේ. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා. එක පැත්තකින් හොඳ දෙයක්. මිනිසුන්ට තම මතකයන් සටහන් කර තබාගැනීමට අවස්ථාව ලැබෙනවා. නමුත් අපි කතා කරන කලාව නම් නැතිවෙනවා.

අද ඡායාරූප කලාව අධ්‍යයනය අඩුයි නේද? දශක දෙකකට පමණ පෙර “කැමරා” වගේ සඟරා පවා පළවුණා.

දැන් මිනිසුන්ට යමක් කියවා ඉගෙනගන්න තිබෙන උනන්දුව අඩුවෙලා තිබෙනවා. මේ නිසා ඒ සඟරාවලට ඉල්ලුමක් නෑ. අන්තර්ජාලයේ ඡායාරූප කලාව ගැනත් හැමදෙයක්ම තිබෙනවා. ඒ හරහා තමන්ට අවශ්‍ය දේ ඉගෙනගත හැකියි.

අන්තර්ජාලය ඡායාරූපකරණයට බලපෑවේ කෙසේද?

විශාල වශයෙන් බලපා තිබෙනවා. කැමරාවක් තියෙන කෙනෙකුට අද ගුරුවරු පස්සේ යන්න අවශ්‍ය නෑ. එයාට අන්තර්ජාලයට ගිහින් එය භාවිතය ඉගෙනගත හැකියි.

කලාත්මක ඡායාරූප කලාවත් අන්තර්ජාලයෙන් ඉගෙනගත හැකිද?

බැහැ. කලාත්මක ඡායාරූප ශිල්පය ගුරුවරු, උපදේශකවරැ හරහා ඔපමට්ටම් කරගත යුතු ක්ෂේත්‍රයක්. සාමාන්‍ය ඡායාරෑපකරණය ගැන නම් අවශ්‍ය හැමදේම අන්තර්ජාලයේ තිබෙනවා.

ඉදිරියේදිත් ඔබ ඡායාරෑප ප්‍රදර්ශන පවත්වනවාද?

ඔව්. මේ දිනවල මේ අවුරුද්දේ පවත්වන ප්‍රදර්ශනයට ලෑස්තිවෙනවා.

ඔබ ඡායාරූප ශිල්පියෙකුට අමතරව කවියෙක් වශයෙන් ප්‍රකට වෙනවා. ඔබ කැමරාවෙන් දුටු කවි ඇසද අකුරු බවට පත්කළේ?

ඕක නිතරම අහන ප්‍රශ්නයක්. මම යම් යම් කවි ලියමින් හිටියා. නමුත් ඡායාරූප ශිල්පය වෘත්තිය වුණාට පස්සේ ඒ ගැන වැඩි අවධානයක් යොමුකළා. මේ ක්‍ෂේත්‍ර දෙක අතර සම්බන්ධයක් තිබෙන බව රසිකයොත් කියනවා.

ඔබ සම්මානනීය කවියෙක් ලෙස පාඨක පිරිස් හඳුනාගෙන සිටිනවා. අද කවිය ඔබ දකින්නේ කෙසේද?

අද කවියට රසික ජනතාව අඩුයි. මිනිසුන්ගේ ජීවන ක්‍රමය වෙනස් වෙලා. අද හැමදේම මුදලට විකුණන්න තමයි, උත්සාහ කරන්නේ. නමුත් කවි මුදලට විකුණන්න බැහැ. යම් පිරිසක් ඉන්නවා කවියට කැමති. තරුණ කණ්ඩායම් ඉන්නවා ඒ ගැන උනන්දු. පරණ කවියො හිටියෙ ටිකදෙනයි. අද කවි ලියන අය විශාල වශයෙන් හිටියත් වැඩිපුර ලියවෙන්නෙ කවි නොවන වචන ඛණ්ඩ පමණයි.

අපි ආයෙත් ඡායාරූප ශිල්පයට ආවොත් ජාත්‍යන්තර ඡායාරූප ශිල්පය හා සසඳන විට අපි කොතැනද ඉන්නේ?

ජාත්‍යන්තර මට්ටමේ ඡායාරූප තාක්ෂණිකව ඉතා ඉහළයි. ඒ රටවල කලාත්මක ඡායාරෑපවලට මුදලක් ලැබෙනවා. ඉල්ලුමක් තිබෙනවා. මුදල් යටකර හොඳම කැමරාවකින් හොඳම පින්තූර ගන්න පෙළඹීම දක්නට පුළුවන්. අපේ රටේ දුප්පත්කමත් එයට බලපානවා. අපේ රටේ වනසත්ව ඡායාරූපකරණය සහ විවාහ උත්සව ඡායාරූපකරණය ඉදිරියට ගොස් තිබෙනවා.

අපට සිටින විශිෂ්ට මට්ටමේ ඡායාරෑප ශිල්පීන් කවුද?

එවැනි ශිල්පීන් කිහිපදෙනෙක් ඉන්නවා. හෙන්රි රාජකරුණා, ඩොමිනික් සන්සෝනි, ලක්ෂ්මනන් නඩරාජා වගේ ඡායාරෑප ශිල්පීන් සඳහන් කළ හැකියි.

ඔබ ඡායාරූප ශිල්පය ගැන කෘති කිහිපයක්ම පළ කළා. මේ දිනවලත් යම් අධ්‍යයනයක සිටින බව ආරංචියි.

ඔව්. 2016 දී ඡායාරූප ශිල්පය ඉගෙනගැනීමට පහසු මඟක් පොත පළ කළා. ඊටපෙර ඩිජිටල් ඡායාරෑපකරණය, වෙඩින් ෆොටෝග්‍රැෆි, ඡායාරෑප ශිල්පය හා කලාව යන පොත් පළ කළා. මේ දිනවල ලයනල් වෙන්ඩ්ට්ගේ ඡායාරෑප කලාව ගැන පොතක් ලියාගෙන යනවා.

 කුසුම්සිරි