අද දරුඵල නැතිවීම විශාල සමාජ ප්‍රශ්නයක් වෙලා. පෞද්ගලිකව මමත් ඒ සඳහා කරන යාග වත්පිළිවෙත් ගැන හදාරා තිබෙනවා. ඒ ගැන ඉගෙනගෙන තිබෙනවා. අපේ හිතවත් දරුඵල නැති කාන්තාවන් කිහිපදෙනකුට මම අත්හදාබැලීමක් විදිහට මේ වත්පිළිවෙත් කළා. ඊටපසු ඔවුන්ට දරුවන් ලැබුණා.
එලෙස අප සමඟ පැවසුවේ පුරාණ සබරගමුවේ දාරක වත්පිළිවෙත් පිළිබඳව තම දර්ශනපති පශ්චාත් උපාධිය සඳහා පර්යේෂණයක් කළ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සබරගමු නර්තන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් කුමාරතුංගය. දුලබ තොරතුරු රැසක් සහිත මෙම අධ්‍යයනය දැන් සූරිය ප්‍රකාශන ආයතනයෙන් පළ කර තිබේ.
සබරගමුවේ උපන් මම කුඩා කාලෙ ඉඳන්ම බලිතොවිල් දැකල තිබෙනවා. නමුත් ඒ ගැන එතරම් ලියැවිලා නැති බවයි පෙනුණේ. ඒ නිසා කාන්තාවන් හා සම්බන්ධ දාරක වත්පිළිවෙත් ගැන සෙව්වා. මේක පළල් වෛද්‍ය ක්‍රමයක්. අදටත් දරුඵල නැතිවුණාම කාන්තාවන් බලිතොවිල්වලට යනවා. අද විශේෂත්වය නම් බටහිර ප්‍රතිකාරවලින් ප්‍රතිඵල නොලැබුණහම මෙම දේශීය යාග ක්‍රමවලට පෙළඹවීමයි. ඒවායින් ප්‍රතිඵල ලැබුණු රාශියක් අපට හමුවෙනවා. සමන් විස්තර කළේය.
දරුඵල ලබාගැනීමට අවශ්‍ය හෝර්මෝන ක්‍රියාකාරීත්වයේ (ඊස්ට්‍රජන්/ ප්‍රොටෙස්ටරෝන්) තිබෙන විකෘතිතාවයක් නිසා තමයි, කාන්තාවකට දරුඵල නොපිහිටන්නේ. මේ යාගවලින් කරන්නේ ඒ හෝර්මෝන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත්කිරීමට සහයෝගය දැක්වීමයි. නමුත් යාගය කරන ඇදුරො නම් දන්නෙ නැහැ හෝර්මෝන ක්‍රියාකාරීත්වයක් ගැන. නමුත් එම යාගවලින් සිදුවන්නේ ආතුරයා මානසිකව වර්ධනය කර ඉහත ක්‍රියාකාරීත්වයට උදව් කිරීමයි. ඔහු වැඩිදුරටත් කීවේය.
දරුඵල නැතිවීම සහ ගබ්සාවීම වගේ අවස්ථාවලදී කට්නා බලිය කරනවා. එහිදී බලි රූපය වශයෙන් අඹන්නේ ස්ත්‍රී රූපයක්. එහි කාන්තාව මැද ඉන්නා අතර දෙපස දරු දෙන්නෙක් ඉන්නවා. ආතුර කාන්තාවට ඒ බලි රෑපය ඉදිරිපිට හිඳගෙන ඉන්න සලස්වනවා. පැය 12 ක් තිස්සේ ඒ දිහාම බලාගෙන ඉන්න කොට දරුවන් පිළිබඳ ඇගේ මානසික ස්වභාවය වර්ධනය වෙනවා. ඇය තුළ දාරක ස්නේහය වර්ධනය වෙනවා.
දාරක වත්පිළිවෙත්වල එක් අංගයක් වන්නේ මදන යක් බලියයි. සමන් ඒ පිළිබඳව ද අධ්‍යයනය කළේය.
මදන යක් බලියේ විශේෂත්වය එය පවත්වන්නේ පිරිමින්ට වීම. පිරිමි අයටත් දරුඵල හටගැන්වීමේ දායකත්වයට ප්‍රශ්න මතුවෙනවා, ක්ෂණික ශුක්‍ර මෝචනය වගේ ප්‍රශ්න නිසා. ඒ වගේම නින්දේදී චිත්ත රූප දැකීමෙන් ඇතිවන ශුක්‍ර මෝචනයත් ඔවුන්ට තිබෙන තවත් ප්‍රශ්නයක්. ස්ත්‍රියට ඇතිවන ප්‍රදර රෝග (ඇඟ උණුකරවා යාම) වලට මේ තත්ත්වය සමානයි. මේක මඟහරවා ගැනීමට මදන යක් බලිය පවත්වනවා. මේ බලියෙන් කරන්නේ රාගය පිළිබඳව උකටලී බවක්, කාම සම්භෝගයට අකමැති බවක් ඇති අයට ඒ සඳහා පෙළඹවීම ඇති කිරීමටයි. ඉන් ලිංගික උත්තේජනයක් ලබාදෙනවා.
මේ බලිය පවත්වන්නේ මන්ත්‍ර හා ඖෂධ ප්‍රතිකාරත් සමඟය. ඒ සඳහා දේශීය ඖෂධ ක්‍රම පවතී. මෙහිදී අඹන බලි ප්‍රතිමාවේ මුඛය රාක්ෂ විලාසයක් දරන ස්ත්‍රී රූපයක් ද, ඊට ඉහළින් තවුස්දම් පුරන තාපස රුවක් ද, නිරෑපණය කෙරේ. බලි අඹන්නේ හුඹස් මැටිවලිනි. මේ බලියේ පුරාවෘත්තයක් ද පවතී.
පුරාණයේ ඉසිලිංග නමින් හඳුන්වන ලද වනාන්තරයක නුග රුකක් මුල අගස්ති නම් තාපසයෙක් තවුස්දම් පුරමින් විසුවේය. දොළොස් වසරක් තපස් ශීලය රුකි ඔහුගේ ශීලය පරීක්ෂා කිරීමට ශක්‍ර දේවේන්ද්‍රයා සිතුවේය. ඔහු රුමත් ස්ත්‍රී රුවක් මවාගෙන පැමිණියේය. තවුස් දැහැන ක්ෂණිකව බිඳී ගියේය. ක්‍රමයෙන් එම ස්ත්‍රී රුව මැහැලියක බවට වෙනස් විය. රූමතිය අහිමිවීමෙන් රාගයෙන් මත්ව සිටි තවුසාට වේදනාවක් හට ගැනිණි. ඔහු සිත් තැවුලෙන් රෝගී විය. තවුසා මරණයට පත්වෙතැයි සිතූ ශක්‍රයා රූමත් ස්ත්‍රීන් සත් දෙනකු මවා ඔහු වෙත යැවීය. එයින් තවුසාගේ රාගය සංසිඳිණි. ශක්‍රයා මවන ලද ස්ත්‍රීන් හත්දෙනා රතිකාම, මදනකාම, අන්දකාම, හන්දකාම, මතීකාම, පුළුටුකාම, රීරිකාම නම් වේ. එම ස්ත්‍රීන්ගේ නායකයා මදන යක්ෂ නම් විය. ඔවුන් සියලුදෙනා නරලොව මිනිසුන්ට මදන රෝග පමුණුවා පීඩාවට පත් කරති.
පුරුෂයන්ගේ ලිංගික අප්‍රාණිකතාව, ලිඟු හිරිවැටීම, ස්ත්‍රීන් ප්‍රියජනක නොවීම, අයථා ශුක්‍ර මෝචනය ආදී ලිංගික රෝගවලට මදනයක් බලිය පවත්වනවා. ඊට පසු ලිංගිකත්වය කෙරෙහි පුරුෂයන් තුළ පවතින මනෝභීතිකාව තුරන් වී යහපත් අඹුසැමි සබඳතාවයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවට විශ්වාසයක් තිබෙනවා.
මදන කාම පරුවතේ වෙසෙන්නේ
විඳින කාමයට සිත පොළඹන්නේ
අදින මෙමා දෙන මේ පුද ගන්නේ
මදන කාම යක්ෂණී වරෙන්නේ
ඒ මදන යක් බලි තොවිලයේදී කියන කවියකි.
දරුවෙක් නැති කාන්තාවට මුලින්ම කරන්නේ ඖෂධ මතුරා ලබාදී ගර්භයේ උෂ්ණත්වය අඩු කිරීමට ක්‍රියා කිරීමයි. ඊට පසුව ඇගේ ශරීරයේ තත්ත්වය විමසා බලමින් තමයි, පසුව බලි යාගය පවත්වන්නේ. නමුත් අද හුඟදෙනෙක් නියම ප්‍රතිකර්ම නොදන්නා ඇදුරන් පසුපස ගොස් අතරමං වෙනවා. කථිකාචාර්යවරයා පැවසුවේය.
සබරගමුවේ පවත්වන තවත් බලි යාගයකි, රතිකාම බලිය. රතිකාම යනු සංසර්ගයට ඇති අධික ආශාවයි. ස්ත්‍රීන්ට හටගන්නා යෝනි ස්‍රාව හා යෝනි ප්‍රදාහ ආශ්‍රිත රෝග මැඩලීමට මේ බලිය පැවැත්වේ. රතිකාම බලි රූපය අඹන්නේ දකුණතේ පුන්කලස සහ වමතේ සැවුලෙක් දරා උඩුකය නග්න වූ රූමත් ස්ත්‍රියක් පුරැෂයකුගේ උකුලේ සිටින විලාසයෙනි. යාගය පවත්වන්නේ බලි කවි ගායනා කරමිනි.
රතිකම් බලි විදියට
එන්ඩ රතිකම් යකුනි එළියට
දුන් පුද ලබන්නට
වරෙන් රතිකම් යකුනි කෙළියට
දරුවන් ලැබීමට කැමැත්ත තිබුණත් සමහර ස්ත්‍රීහු සංසර්ගයට බියක් දක්වති. ඒ කෙරෙහි උකටලී වෙති. යෝනි ප්‍රදානය සමඟ හටගන්නා රෝග නිසා භීතිය, ක්ලාන්තය, රතු, කළු මිනිසුන් සමඟ සිහිනෙන් ලිංගිකව හැසිරීම, ඔක්කාරය, කෑම අරුචිය වැනි රෝග පවා හටගනී. මෙවැනි රෝග ලක්ෂණ පහළ වූ විට ඖෂධ හා මන්ත්‍ර ප්‍රතිකාර ලබාදී ඒවායින් පූර්ණ සුවයක් නොලැබුණොත් රත්කම් බලි යාගයක් පැවැත්වීම සබරගමුවේ සිදු කෙරේ. එමඟින් යහපත් අඹුසැමි සබඳතාවයක් පවත්වාගෙන යාමට මඟපෑදී සාර්ථකව දරුඵල ලබාගත හැකි බවට විශ්වාස කෙරේ.
“දෙකන තෝඩු පත් දෙක බබලන්නේ
දෙතන මඩල රන් කුඹුසේ දිලෙන්නේ
කොතන ගියත් යකු එළි බැසපන්නේ
යහන සරා රති ලිය සැත පෙන්නේ
බලි තොවිලය සඳහා මැටියෙන් බලි රූපය ඇඹීම ද වතාවත් රාශියක් සහිත චාරිත්‍ර විදියකි. ඒ සඳහා ආතුරයාගේ නිවසට උතුරු දෙසින් පිහිටි තුඹසක් තෝරා ගැනේ. අවට කැලෑව සුද්ධ පවිත්‍ර කර තුඹස වටා ගොස් රැහැන් ඇද ගනී. ඊට පසු හඳුන්කිරිපැන්, මල් වර්ග, තුඹස වටා ඉසී. එහි පහන් කපුරු දල්වා වැඳ නමස්කාර කර තුඹසෙන් මැටි බිඳගනී. ඊට පසු මැටි නිවසට ගෙන යන්නේ කෙසෙල් පත්‍ර ඇතිරු භාජනයක තබාගෙනය. මේ සියලු වැඩ කරන්නේ නිශ්ශබ්දවය. ඊට පසුව මැටි පදමට අනා බලි රෑපය නිර්මාණය කෙරේ. බලි රූප අඹන්නේ බලි ඇඬුම් කවිවල සඳහන් අංගලක්ෂණ පිහිටන ලෙසය.
කන්‍යා රූපය වටම අඹන්නේ
සුරතේ පුන් කලසක් දරපන්නේ
දෙපා සළඹලූ මිනි නස දෙන්නේ
සියොළඟ සුදු පාටින් බබලන්නේ
අපේ පුරාණ මනෝ චිකිත්සා ක්‍රම හෙළිකරන මේ බලියාග අදටත් සබරගමුවේ බලංගොඩ ආශ්‍රිතව සිදුකෙරේ. ඒවා බොහෝමයක් පවත්වන්නේ රහසිගතවය. මේ වනවිට පුරාණ ශාස්ත්‍ර රැකගෙන පැමිණි බොහෝ බලි ඇදුරන් ජීවිතයෙන් සමුගෙන ඇති බව කථිකාචාර්ය සමන් පැවසුවේය.
කුසුම්සිරි විජයවර්ධන