වාසිබෝලන්තයේ මාධ්‍ය ක්ෂේත්රය තුළ, විදේශ ප්රවෘත්ති විශාරදයකු වශයෙන් නමක් දිනා සිටින, මා මිත්‍ර ජෙරමියස් මකබුවාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ බොහෝ කලකට පසුවය. දුක සැප විමසීමට විනාඩි කීපයක් වැය කළ ඔහු, ඉන්පසු ඇමතුමට තුඩුදුන් කාරණයට බැස්සේය.
ඔයගොල්ලන්ගෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ නියම නිව්ස් මේකර්ස්ලා ටිකක් නේද?
පහුගිය ටිකේ පොඩි සිද්ධියක් නං වුණා තමයි
මම ලජ්ජාවෙන් පැකිලෙමින් කීවෙමි.
නෑ. නෑ. ඒක පොඩි සිද්ධියක් වෙන්නෙ කොහොමද? ඒක ඉන්ටනැෂනල් නිව්ස් එකක්නෙ. අපේ පත්තරවලත් මුල පිටේම ගියා ඔයාලගෙ පාර්ලිමේන්තුවෙ ගුටිකෙළියක් කියලා.
ඒ හැටි දෙයක් වුණේ නෑ. තුවාල වුණේ දෙතුන් දෙනෙක්ට විතරයි. අඩුම ගාණෙ බන්ධනාගාර රෝහලටවත් කාටවත් යන්ඩ සිද්ධවුණේ නෑ.
මම අපේ රටේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට අසරණ උත්සාහයක යෙදුණෙමි. එහෙත්, ජෙරමියස්ගෙන් මට ලැබුණේ අනපේක්ෂිත පිළිතුරකි.
පහුගිය කාලෙම ලංකාව ගැන හොඳ නිව්ස් එකක් ආවෙ නෑ. එහෙම වුණාම ජාත්‍යන්තරයට ලංකාව කියන නම අමතක වෙලා යනවා. පාර්ලිමේන්තුවේ කට්ටිය ආයෙත් සැරයක් නිව්ස් එකක් හදල රටේ නම උඩට උස්සල තිබ්බා. ඒක, රටේ ජනතාව අගය කරනවා ඇති නේද?
මඳක් විමතියට පත්වුවද, මම ඒ බවක් නොපෙන්වා, ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතුවෙමි.
අනේ ඔව් ජෙරමියස්, ජනතාව නම් ඒ ගැන හැමතැනම කතා වෙනවා. ඇත්තටම ඒගොල්ලො ආඩම්බර වෙනවා සටන් කලාව ප්‍රගුණ කරපු මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවට යවපු එක ගැන.
තමන් කෙසේ වෙතත්, තමන්ගේ පාලකයන් ජවසම්පන්නව සිටීම ජනතාවම ආඩම්බරයට කාරණයක් තමයි. මම ටීවී නිව්ස්වලට දැක්කා, වයස් භේදයකින් තොරව සටන් කරපු ආකාරය. රණවිරුවන්ටත් වඩා නිර්භීතයි. යුද්ධ කාලෙත් ඒගොල්ලො සටන් බිමට යන්ඩ ඇති නේද?
නෑ. අවසාන සටනට යන්න ලෑස්තිවෙලයි හිටියෙ. ඒත් ඊට ඉස්සෙල්ලා ප්රභාකරන් අහුවුණානෙ.
මම අපේ පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීම සඳහා තවත් පියවරක් ඉදිරියට තැබුවෙමි.
ඔයගොල්ලන්ගෙ පාර්ලිමේන්තුව කන්ට්‍රෝල් කරගන්න බෑ කියන්නෙ ඇත්තද?
ජෙරමියස්, ගුග්ලියක් දැමුවේය.
ඒ මොන බොරු කතාද? අපේ ලොකු ලොක්කො එදා සටන් ජවනිකාව නැරඹුවේ, අත්පුඩි ගගහා හරි සන්තෝසෙන්. ඉස්කෝලෙ යන කාලෙත් එයාලා බොක්සිං, රෙස්ලිං බලන්න හරි ආසයිලු. එදා ප්‍රීතිඝෝෂා කරලම, උගුරේ ආබාධ ඇතිවෙලා සමහරු බෙහෙතුත් ගත්තලු.
එලෙස මම පාර්ලිමේන්තුව පමණක් නොව, කතානායකතුමාවත් ජාත්‍යන්තර අපකීර්තියකින් ගලවා ගත්තෙමි. මොහොතක් නිශ්ශබ්දව සිටි ජෙරමියස් මකබුවා, හිටි අඩියේම යෝකරයක් එල්ල කළේය.
බැඳුම්කර කතාව ආයෙත් නැඟලා යනවා නේද? ජනතාවට හරි සන්තෝස ඇති?
පිස්සුද ජෙරමියස්. අපේ මිනිස්සුන්ට ඒක එපාවෙලා තියෙන්නෙ. කිසිම හැඟීමක් නෑ.
ඇයි එහෙම වෙන්නෙ. හොරකම් කළාය කියන මිලියන ගාණක් ආපහු ගන්නනෙ හදන්නෙ.
අපේ මිනිස්සු දන්නවා, තමන්ට ඒක ලැබෙන්නෙ නැති විත්තිය, ටික කාලයක් ගියාට පස්සෙ තව මොකෙක් හරි හොරකම් කර ගන්නවා මිසක. අනික, අපේ මිනිස්සුන්ට හරි වැටහීමක් නෑ, ඔය බැඳුම්කරේ කියන්නෙ මොකක්ද කියන එක ගැන.
ඒකත් එහෙමදැයි අසමින්, මොහොතකට නිහඬ වූ ජෙරමියස් කතාව වෙනත් පැත්තකට හැරවීය.
ඔයගොල්ලන්ගෙ අගමැතිතුමා හරි ජොලි මෑන් කෙනෙක්ලු නේද? එයා ළඟදි දාපු ඩාන්ස් එකත් මම දැක්කා.
ඒව එහෙම තමයි. ඒත් තමන්ගෙ පක්ෂෙ කෙනෙක් වුණත්, ඕනවට වඩා නටන්න ලෑස්ති වුණොත්, ෆ්ලෝ එකෙන්ම එළියට දානවා.
මම අපේ අගමැතිතුමාවද, ලෝක අපවාදයකින් ගලවාගැනීමට සමත් වූයෙමි. මා කියූ සියලු කරුණු, තමාගේ මීළඟ ලෝක ප්රවෘත්ති විචාරයට යොදාගන්නා බව කී ජෙරමියස් මකබුවා, මට සුබ නව වසරකට ආසිරි පතමින්, දුරකතන ඇමතුම නිමා කළේය.
මාධ්‍යවේදියකු වශයෙන් ද, පුරවැසියකු වශයෙන් ද රට වෙනුවෙන් කිසියම් සේවාවක් ඉටුකිරීමට ලැබීම පිළිබඳව ස්වයං ආස්වාදනයක යෙදෙමින් සිටියදී අපේ අසල්වැසි වංහුං සැම්සන්, නොරොක් මුහුණින් යුතුව මා හමුවීමට ආවේය.
බලන්ඩකො අයියා, මැකො අපිට ජීවත් වෙන්ඩ චාන්ස් එකක් දෙන්නෙම නෑනෙ.
ඇයි, මොකද ප්‍රශ්නෙ සැම්සන්?
අද මම අපේ සරණපාලයට කැන්වසින් යන්ඩ කියලා ගියා. මගෙ නම ලිස්ට් එකෙන් කැපිලා. මෙදා පාර දහදෙනෙකුට වැඩිය ගෙවල් ගාණෙ යන්න බැරිලු.
ඔව්. ඒක අලුත් නීතියක්. ආරවුල් ඇතිවෙන එක වළක්වන්න තමයි එතුමා කටයුතු කරන්නෙ.
ඒ වුණාට අයියෙ, අපිත් බලන්නෙ මේ වගෙ වෙලාවක කීයක් හරි හොයාගන්ඩනෙ. කැන්වසින් ගියාම සරණපාලයා බත් පැකට් එකයි, රුපියල් දාහයි ගාණෙ දෙනවා. හවසට පොඩි ෂොට් එකකුත් හම්බවෙනවා. ඒකම මදිද මේ කාලෙ හැටියට.
සැම්සන් ආඩාපාලි කීවේය.
එදින සවස් වරුවේ විශේෂ වැඩක් නොතිබුණෙන්, මම සැම්සන්ගේ හිත හදනු පිණිස ඔහු ද කැඳවාගෙන බාර් හන්දියට ගියෙමි.
අවන්හලේ දොරටුව අසල නැවතුණු සැම්සන්, කිසියම් බියකින් මෙන් ඇතුළට එබී, නැවත මා දෙස බැලුවේය.
අනේ අයියා, පොඩ්ඩක් ඇතුළට එබිලා බලන්ඩකො අපේ වයිපරේ හෙම ඇවිත් ඉන්නවද කියලා.
මොනවා? සැම්සන්ගෙ වයිෆුත් දැන් බාර් එකට එනවද? එයා අඩි ගහනවද?
ඉඳහිට මාත් එක්ක පොඩි ෂොට් එකක් ගන්නවා. අලුත් නීතිය නිසා, දැන් එයත් යාළුවොත් එක්ක මේවට එන්ඩ පටන් අරන්. මේක මාර ස්ත්‍රී විමුක්තියක්නෙ, නේද අයියෙ?
බිරිදත් සමඟම අවන්හලකට ඒමට ලැබීමෙන් අත්වන වාසි ගැන කල්පනා කළ මම, මධ්‍යස්ථව සිටීමට තීරණය කළෙමි.
► කපිල කුමාර කාලිංග