මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනෙකු සමඟ කළ සංවාදමය සටහන් චාරිකාවේ සයවැන්නයි. මෙවර අපේ කථානායකයා වන්නේ එච්.ඩී. වික්ටර් මහතා ය. ඔහු ජර්මානු බසින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන පළපුරුදු ගයිඩ් මහතෙකි.
කලක් මෙරට ජර්මානු තානාපති කාර්යාලයේ සේවය කළ වික්ටර් මහතා අසූව දශකයේදී ස්විට්සර්ලන්තයට ගියේ හෝටල් කර්මාන්තය ගැන ඩිප්ලෝමාවක් හදාරන්නටය. නමුත් හෝටල් ඩිප්ලෝමාව පැත්තකින් තබා ජර්මානු සහ ප්‍රංශ භාෂා ඉගෙන ගන්නට ඔහුට ආසාවක් ඇති වුණි. අවසානයේ ඔහු ලංකාවට ආවේ ජර්මානු සහ ප්‍රංශ භාෂා දෙකම හොඳින් හැසිරවීමේ සමත්කම ද සමඟිනි.
“මට ගයිඩ් කෙනෙක් වෙන්න අදහසක් තිබ්බෙම නෑ. හැබැයි ජර්මන්, ප්‍රංශ ඉගෙනගෙන ලංකාවට ආවම හිතුණා ගයිඩින් පටන් ගත්තා නම් හොඳයි කියලා. ඔය ඇවිල්ලා අසූ පහ අවුරුද්ද. යුද්දෙ පටන් අරන් තිබුණු හින්දා මුලදි ලොකු සාරයක් තිබුණෙ නෑ. ඒත් මාසෙකට එක ටුවර් එකක් වගේ කොහොමත් ලැබුණා”.
යුද්ධය එන්න එන්නම දරුණු අතට හැරිණ. ජාත්‍යන්තරය තුළ ලංකාවේ නමට ද සිදුවුණේ ලොකු හානියකි. ඒ සියල්ලෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ජර්මානු සංචාරකයින්ගේ පැමිණීම අඩුවන්නට පටන්ගැනීමයි.
“ජර්මන්ස්ලා එන එක අඩුවුණාම මම කළේ හොංකොං මාකට් එකට බැස්ස එක. චීනෙ වුණත් හොංකොං කට්ටියට ඉංග්‍රීසි තේරෙනවා. ඉතින් ජර්මන් මාකට් එක ආපහු හරියන කල් ටික කාලයක් මම හොංකොං අයට ටුවර්ස් කළා”.
රට රටවල ඇවිදීමේ රුචිකත්වය ජර්මානු ජාතිකයන්ට ජානවල උරුමයෙන් ලැබෙන සිතුවිල්ලක් බඳුය. වික්ටර් මහතා කියන්නේ එසේය. තමන්ගේ ජීවිත කාලය තුළ ලෝකයේ හැකි සෑම කොණකටම ගමන් කිරීම ජර්මානුවන්ගේ සිහිනයකි.
“ජර්මන්කාරයෝ ඇවිදින්න හරිම ආසයි. එයාලා තරම් ට්‍රැවල් කරන වෙන ජාතියක් මම දැකලා නැහැ”.
යුරෝපයේ පොහොසත්ම රට ද ජර්මනියයි. ඒ නිසා ලංකාවට එන අනෙක් බොහෝ සංචාරකයින්ට වඩා ජර්මානුවන්ගේ පසුම්බිය ද තරය.
“ජර්මන්ස්ලා අනිත් ටුවරිස්ට්ලාට වඩා හොඳට වියදම් කරනවා. හැබැයි ඉවක් බවක් නැතිව වියදම් කරන්නෙත් නෑ. එයාලට වටිනවා කියලා හිතෙන දේකට ලෝබ නැතුව වියදම් කරනවා”.
කෙසේ නමුත් ජර්මානු සංචාරකයින්ගේ සිතුම් පැතුම් ද සෙසු යුරෝපීය සංචාරකයින්ගෙන් වෙනස් නැත. එනම් ඔවුන් ද ලංකාවට ආකර්ෂණය වන්නේ සුන්දර මුහුදු තීරය නිසාවෙනි. වෙරළට වී අලස සුවය විඳිමින් අව්ව තැපීම ඔවුන්ට දිව්‍ය සැපකි.
“බීච් එකට අමතරව යාල සෆාරි යන්න, අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය වගේ තැන්වලට යන්නත් එයාලා ආසයි. විශේෂයෙන්ම සීගිරිය අවුරැදු 1500ක් පරණ තැනක් කිව්වම එයාලට හරිම සතුටුයි. එතැනට ලොකු ගෞරවයක් දක්වනවා”.
ලෝකෙ කොච්චර රටවල් තියෙනවද? කවදාවත් ඔය ටුවරිස්ට්ලාගෙන් අහලා නැද්ද ඇයි ලංකාව එන්න තෝරගත්තෙ කියලා?
“ඉස්සර මම එහෙම අහනවා. එයාලා ගොඩක් වෙලාවට දෙන උත්තරේ තමයි අපේ රටේ මිනිස්සු හරි කුළුපග (ෆ්‍රෙන්ඩ්ලි) ජාතියක් නිසා මිනිස්සුන්ව දකින්න ඕනෙකමට ලංකාවට එනවා කියලා. ඔය බාලි වගේ තැන්වල ගියාට එහේ මිනිස්සු ඉන්නෙ තම තමන්ගේ ලෝකවල. ඉතින් ටුවරිස්ට්ලාට ඒ වගේ අත්දැකීමක් වෙන තැනකින් ගන්න අමාරුයි”.
ඔස්ට්‍රියාව ද ජර්මානු බස කතාකරන ජනතාවක් වෙසෙන රටකි. වරක් ඔස්ට්‍රියානු පවුලක් මෙරටට පැමිණ ඔවුන් සමඟ සවාරියක් යන අතරේදී වික්ටර් මහතා මුහුණ දුන් උභතෝකෝටිකයක් ගැන ද ඔහු හෙළි කළේය.
“ඒ පවුලේ අම්මටයි දුවටයි හරිම වෙනස් ආසාවන් තිබ්බේ. ටුවර් එක පුරාවට දෙන්නට ඕනෙ දේවල් හරිම පරස්පරයි. අන්තිමට ඕක පුපුරණ තැනක් ආවා. ඒ කියන්නේ දුවට ඕනෙ වුණා නුවර ටවුන් එකේ දවසක් නවතින්න. හැබැයි අම්මට ඕනෙ වුණේ අලි බලන්න යන්න. ඒ දෙන්නා වෙන වෙනම එයාලගෙ වුවමනාව මට කියන්න ගත්තා. අන්තිමට බොහොම අමාරුවෙන් තමයි ඒ ප්‍රශ්නෙ විසඳුවේ. ඔතන තියෙන ප්‍රශ්නෙ මේකයි. අපි එයාලා ලංකාවට එද්දිම මේ දවසට කරන්නෙ මේ දේ කියලා ෂෙඩියුල් එකක් දීලයි තියෙන්නෙ. ඉතින් සමහර වෙලාවට අපිට තදින්ම කියන්න වෙනවා ෂෙඩියුල් එකේ තියෙන ඒවා විතරයි කරන්නෙ කියලා. ඉතින් එහෙම වුණාම සමහර ටුවරිස්ට්ලා අපිත් එක්ක අමනාපත් වෙනවා. ඒත් වෙන කරන්න දේකුත් නෑ”.
දින හත අටක දිගු සවාරි යද්දී ගයිඩ් මහත්තුරු මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය වන්නේ සංචාරකයින්ට හරිහමන් වැසිකිළි පහසුකම් සැපයීමේ දුෂ්කරතාවයයි.
“තායිලන්තෙ දිහා බලන්න. හැම පෙට්‍රල් ෂෙඩ් එකකම හොඳට නඩත්තු කරන ටොයිලට් එකක් තියෙනවා. පුංචි මුදලක් අය කළත් ඒක පිරිසිදුවට තියෙනවා. ටුවරිස්ලට තියෙන ප්‍රශ්නේ සල්ලි ගෙවන එක නෙමේ, පිරිසිදු ටොයිලට් එකක් තිබීමයි. මෙච්චර සංචාරක කර්මාන්තය ගැන කතාකරන අපේ රටේ ටුවරිස්ට්ලාට යන්න ටොයිලට් එකක් නෑ”.
මීගමුවේ සිට අනුරාධපුර දක්වා වැටුණු ගමන් මාර්ගය එසේ වැසිකිළි ප්‍රශ්න දරුණු ලෙස මතුවන මාර්ගයකි. විශේෂයෙන්ම පුත්තලමෙන් පසු ළඳු කැලෑ හැරුණුවිට වෙන ටොයිලට් නැත. සුද්දාට මෙන්ම සුද්දීටත් එළිබහින්න වෙන්නේ කැලේට ය.
“ඕක හරිම භයානක වැඩක්. මොකද ඔහොම කැලේට ගිහින් ඉන්න වෙලාවට අලියෙක් ආවොත් ඉවරයි!”
එහෙම ඇවිත් තියෙනවද?
“අපොයි කොච්චරවත් ඇවිත් තියෙනවා. ඒ වෙලාවට ටුවරිස්ට්ලා දුවලා ඇවිත් වාහනේට නගින්නෙ ගිය වැඩේවත් හරියට කරගන්නෙ නැතිව. ඒ හින්දා ඉවසගන්න බැරිම වෙලාවක් වුණොත් විතරයි අපි එයාලට කැලේට යන්න ඉඩ දෙන්නෙ”
අපට මීට පෙර මුණගැසුණු ගයිඩ් මහත්වරැන්ට සේම වික්ටර් මහතාට ද තම ගයිඩ් දිවිය තුළ වැඩිම ත්‍රාසජනක අත්දැකීම් හිමිව ඇත්තේ සෆාරි යද්දීය. වරක් යාලේදී සෆාරි ජීප් රිය අනතුරට ලක්ව ලොකු අකරතැබ්බකට මුහුණදීමට ද ඔහුට සිදුවිය.
“අපි එදා යාලට ඇතුළු වුණේ ටිකක් හවස්වෙලා. ඇතුළට ගිහිල්ලා අලි, මොනරු, කිඹුල්ලු බලලා ආපහු එන්න හදද්දි ජීප් එකේ දෝෂයක් ආවා. සාමාන්‍යයෙන් යාල ඇතුළෙ තියෙන හැම ජීප් එකක්ම හවස හය වෙද්දි කැලෙන් එළියට එන්න ඕනෙ. ඒක තමා නීතිය. අපිට දැන් කරකියාගන්න දෙයක් නෑ. හතරවටේටම කළුවරයි. අන්ධකාරෙ එන්න එන්නම වැඩිවෙනවා. රෑ කියන්නෙ සත්තු නිදහසේ එළියට බහින වෙලාවනෙ”.
කොටියෙක් එහෙම ආව නම් නේද?
“ආවා නම් නෙමේ ආවා. අපි ජීප් එකට වෙලා ඉන්දැද්දි ජීප් එක ඉස්සරහින් කොටියෙක් මතු වුණා. හැබැයි ඌ අපිව සත පහකටවත් ගණන් ගන්නේ නැතිව ආපහු කැලේට වැදුණා.
අන්තිමට කොහොමද කැලෙන් එළියට ආවෙ?
මමත් ඇත්තටම ටිකක් බයවෙලා හිටියෙ. කොටියෙකුත් දැක්කා. තව මොක්කු මොක්කු එයිද දන්නෙ නෑනේ. ඒත් හොඳ වෙලාවට අපි කැලේ ඇතුළටම වෙන්න නෙමේ හිටියෙ. ඒ නිසා ෆෝන් සිග්නල් තිබුණා. ඉතින් අපි කෝල් කරලා වෙන ජීප් එකක් ගෙන්නගෙන ආපහු ආවා.
(තවත් රසවත් අත්දැකීම් සමුච්චයක් සමඟින් ලබන සතියේ නැවත හමුවෙමු)
රජිත ජාගොඩ ආරච්චි