2018 ජනවාරි 20 වන සෙනසුරාදා

බැඳුම්කර ජරමර වළක්වන පියවර මහ බැංකුවෙන්

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 195

♦ පෞද්ගලික බැංකුවක කටයුතු පරීක්ෂාවට
♦ අර්ථසාධක අරමුදලේ පාඩු පියවීම
 මහ බැංකුවෙන් දැඩි පියවර
 හිතුමතේ බැඳුම්කර නිකුතුවට වැට
♦ නීති පනත් ගණනක් සංශෝධනයට

කුප්‍රකට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ඇති සංවාදය තවමත් ඇත්තේ කරළියේ ය. වරින් වර දේශපාලන කරළිය තුළට අලුත් මාතෘකා පැමිණිය ද බැඳුම්කර කොමිසමේ වාර්තාවත් එය ඇසුරු කරගනිමින් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයත් ඉනික්බිති පාර්ලිමේන්තුවේ ඇතිවුණු ගුටි කෙළියත් ආදී සිදුවීම් මාලාව දෙස බලනවිට බැඳුම්කරය පරයන වෙනත් එකදු මාතෘකාවක් හෝ මේ මොහොතේ රට තුළ නැත. රුපියල් බිලියන 11කටත් වැඩි රාජ්‍ය මූල්‍ය වංචාවක් වන බැඳුම්කර මගඩිය අන් කිසි දෙයකින් යට ගැසිය යුත්තේ ද නැත.

බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයේදී ඉදිරියේදී මෙවැනි වංචා දූෂණ සිදුවීම් වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති කොමිසම විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් රැසක් පිළිබඳව ද කරුණු ඉදිරිපත් විය. එම ක්‍රියාමාර්ගවලින් බහුතරයක වගකීම පැටවී තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුව ය. 
බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටපතක් ජනාධිපතිවරයා විසින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත ද යොමුකරනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. එම වාර්තාවේ සඳහන් කරුණු සැළකිල්ලට ගනිමින් මහ බැංකු මුදල් මණ්ඩලය විසින් පසුගියදා විශේෂ මහජන දැනුම්දීමක් ද සිදුකිරීමට පියවර ගත්තේය. බැඳුම්කර කොමිෂන් වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් හා රාජ්‍ය ණය, සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය සම්බන්ධයෙන් දැනටමත් ගෙන ඇති සහ ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන පියවර ඒ හරහා මහජනතාව වෙත දැනුම්දීම මහ බැංකුවේ අරමුණ වී ඇත. 

“මෙහිදී විශේෂයෙන් සඳහන් කරනවා ශ‍්‍රී ලංකා මහ බැංකුව තුළ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා කොමිෂන් සභාවේ වර්තමාන නිර්දේශයන්ට බලපාන ආකාරයටත්, පැරැණි පනත අහෝසිකර නව මුදල් නීතියක් (Monitory Law Act)  සකස් කළයුතු බව සහ ලියාපදිංචි කොටස් සුරැකුම්පත් ආඥා පනත නව නීතියක් මගින් වෙනස් කළයුතු බව, මුදල් මණ්ඩල සාමාජිකයන් සහ මහ බැංකු අධිපති පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ එකඟතාවය මත කළයුතු බව ඒ සඳහා අදාළ රෙගුලාසි වෙනස්කළ යුතු බවත් සඳහන් වෙනවා”.

- ජනපති විශේෂ ප්‍රකාශ උපුටාගැන්ම

මහ බැංකුව පවසන ආකාරයට 2017 වසරේ මැද භාගයේ පටන් නව නීති සකස්කිරීමේ ක්‍රියාවලියක් මේ වනවිටත් ආරම්භ කර අවසන් ය. වර්තමාන ආර්ථික හා මූල්‍ය පසුබිම පිළිබඳ විශේෂ සැළකිල්ලකින් යුතුව සකස් කෙරෙන මෙම නීතිවලට මුදල් නීති පනත, ලියාපදිංචි කොටස් හා සුරැකුම් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත ඇතුළත් ය. ඊට අමතරව මේ වසරේ මැද දී වගකීම් කළමනාකරණ පනත නමින් නව නීතියක් ද හඳුන්වාදීමට මහ බැංකුව සැලසුම් කර තිබේ. ඒ හරහා සක්‍රීය ණය කළමනාකරණ කටයුතුවලදී වැඩි නම්‍යශීලී බවක් හිමිවනු ඇතැයි ද සඳහන් වේ. 

මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය සම්බන්ධයෙන් මේ වනවිටත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මහ බැංකුව කරුණු පෙන්වා දී තිබේ. එනම් එහි ව්‍යාපාර කටයුතු අත් හිටුවීමටත් දේපළ බැහැර කිරීමෙන්, ලාභ බෙදාහැරීම සහ මහ බැංකුවේ පූර්ණ අවසරයකින් තොරව කිසිදු ගෙවීමක් සිදු කිරීමට එම ආයතනයට බලයක් නොමැති තත්ත්වයට පත්කර ඇතැයි ද මහ බැංකු නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. තවද ඉදිරියේදී විනිමය හුවමාරු කොමිසම යටතට වැටෙන එම සමාගමේ වත්කම් සම්බන්ධයෙන් ද සුදුසු පියවර ගැනීමට නියමිතය.

“පෑන් ඒෂියා බැංකුව සමඟ සිදුකර ඇති ගනුදෙනු සහ එහි කලින් සිටි සභාපතිවරයාගේ ක්‍රියාකලාපය ද පරීක්ෂාවට ලක්කළ යුතු බව කොමිසමේ නිර්දේශයයි. සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු විධිමත් පරීක්ෂණයකට ලක් කළයුතු අතර, එම දෙපාර්තමේන්තුවේ කාර්යයන් නිසි මඟකට ගෙන ඒම සඳහා ප‍්‍රතිශෝධනය කළයුතු බවද සඳහන්. මහ බැංකු නිලධාරින්ට ආචාරධර්ම සංග‍්‍රහයක් හඳුන්වාදීමත්, ප‍්‍රාථමික ගැනුම්කරුවන්ගේ ආචාරධර්ම සංග‍්‍රහය යථාපූර්ණ කිරීමත් සිදුකළයුතු බව කොමිෂන් සභාවේ අදහසයි”.

- ජනපති විශේෂ ප්‍රකාශ උපුටාගැන්ම

මහ බැංකුව පෙන්වා දෙන්නේ 2017.08.15 දින සිට මාස හයක් දක්වා පෑන් ඒෂියා බැංකුවට මෙතෙක් හිමිව තිබූ ප්‍රාථමික ගනුදෙනු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට දැනටමත් කටයුතු කර ඇති බවත් ඉදිරි විමර්ශනවලදී හෙළිවන තොරතුරු අනුව වැඩිදුර පියවර ගැනීම බලාපොරොත්තු වන බවත් ය. 

බැඳුම්කර වාර්තාවේ දැක්වෙන ආකාරයට සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට බැඳුම්කර වංචාව නිසා සිදුව ඇති අවම පාඩුව රැපියල් බිලියන 8.5කි. සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් ආයෝජනය සහ එහි වගකීම සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති පියවර හා ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත පියවර රැසක් ගැන තොරතුරු ද මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 

ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන කළමනාකරණය ශක්තිමත් කිරීමට මෑතකාලීනව පියවර රැසක් ගෙන ඇත. ඒ අනුව නැවතත් ද්විතියීක වෙළෙඳපොළට එනම් අතරමැදි ගැනුම්කරුවන් හරහා ද බැඳුම්කර මිලදීගැනීමේ අවස්ථාව සේවක අර්ථ සාධක අරමුදලට හිමිව පවතී. එහෙත් ඒ අරමුදලේ ආයෝජන කමිටුවේ ආයෝජන මාර්ගෝපදේශයන් මත පිහිටා පමණි. එමෙන්ම මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයාගේ මූලිකත්වයෙන් යුත් මෙම ඊ.පී.එෆ්. ආයෝජන කමිටුව තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස දිනපතා රැස්වීමට ද කටයුතු යොදා ඇත. 

මීට අමතරව සේවක අර්ථ සාධක අරමුදලේ සමස්ත ආයෝජන ක්‍රියාවලියේම වර්ධනය වෙනුවෙන් ලෝක බැංකුවේ සහය පැතීමට ද මහ බැංකු තීරණය කොට තිබේ. 

“මහ බැංකුවේ නීති දෙපාර්තමේන්තුවක් පිහිටුවා එය වඩාත් කාර්යශූර බවට පත්කළයුතු බව ද වාර්තාවේ සඳහන්”.

- ජනපති විශේෂ ප්‍රකාශ උපුටාගැන්ම

මහ බැංකුව විසින් මුදල් මණ්ඩල සාමාජිකයින් හා බැංකු කාර්ය මණ්ඩලයට පොදුවේ බලපාන විනය නීති සංග්‍රහයක් ද සේවක අර්ථ සාධක අරමුදලේ හා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලවලට බලපාන විනය නීති සංග්‍රයක්ද දැනටමත් කෙටුම්පත් කර අවසන්ය. එම විනය නීති සම්බන්ධයෙන් අඛණ්ඩව විමසා බැලීම් සහ අනුකූලතා සහතික කිරීම් සඳහා මහ බැංකුවේ නීති හා අනුකූලතා දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට ද මහ බැංකුව ක්‍රියාකොට අවසන් ය. තවද මේ වසරේ මුලසිට නිරාකරණ හා බලගැන්වීම් නමින් අලුත් දෙපාර්තමේන්තුවක් පිහිටුවීමටත් පියවර ගෙන තිබේ. 

මීට අමතරව මහ බැංකුව විසින් තවත් ඉදිරිගාමී පියවර රැසක්ම ගෙන ඇති බව ද අදාළ නිවේදනය ඔස්සේ ජනතාව වෙත දැනුම් දී තිබුණි. භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර  නිකුත් කිරීම සම්බන්ධයෙන් මාස තුනක දින දර්ශනයක් හඳුන්වා දීම ද ඒ අතුරින් ප්‍රධාන ය. මේ හරහා හිතු මනාපයේ බැඳුම්කර ඉදිරිපත් කිරීම වෙනුවට මනා සංවිධානාත්මක බවකින් දේශීය අරමුදල් සම්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යෑමේ හැකියාව මහ බැංකුවට උදාවනු ඇත. 

එමෙන්ම පූර්ණ වෙන්දේසි ක්‍රමය වෙනුවට 2017 ජූලි මාසයේ සිට නව නිකුතු ක්‍රමයක් භාණ්ඩාගාර බැඳුම්කර සඳහා හඳුන්වාදුන් බවත් ඉදිරියේදී භාණ්ඩාගාර බිල්පත් සඳහා ද එවැනි ක්‍රමයක් ඉදිරිපත් කිරීමට යෝජිත ය. 2017 දෙවැනි භාගයේදී නව නිකුත් ක්‍රමය යටතේ රුපියල් මිලියන 110,160 ක මුදලක් රැස්කරගැනීමට මහ බැංකුව සමත්වීම කැපී පෙනේ. 

“මෙම කොමිෂන් සභා වාර්තාවලින් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වය 2008 වසරේ සිට සිදුව ඇති බව කොමිසන් සභාවේ අදහසයි. එම කටයුතු සොයා බැලීම සඳහා එනම් 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳව මුලින්ම කළ යුත්තේ වෝහාරික විගණනයක් බවත් එය ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කළ යුතු අතර, ඉන්පසු ලැබෙන තොරතුරු මත නීතිමය ක්‍රියාමාර්ගවලට යා යුතු බවත් කොමිසම දන්වා සිටිනවා”.

- ජනපති විශේෂ ප්‍රකාශ උපුටාගැන්ම

මේ සම්බන්ධයෙන් ද මහ බැංකු මුදල් මණ්ඩල කරුණු දක්වමින් 2008 සිට 2014 දක්වා සියලු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සහ 2016 මාර්තු මස සිදුවූ බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් ඉදිරියේදී සිදුකරන බව ද සඳහන් කොට තිබේ. 

♦ රජිත ජාගොඩ ආරච්චි

ගිය ආණ්ඩුවේ වැඩත් ඉස්සරහට එළිවෙයි
අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

කොමිෂන් වාර්තාවේ සඳහන් නිර්දේශ බොහෝමයක් මේ වෙනකොට මහ බැංකුව අරගෙන අවසන් බව මහ බැංකුවේ ප්‍රකාශනයෙන් පෙන්නුම් කෙරෙනවා. ඒ නිසා බැඳුම්කර හෝ වෙනත් කිසිඳු රාජ්‍ය මූල්‍ය වංචාවක් සිද්ධ වෙන්න තිබිය හැකි ඉඩ දැන් සම්පූර්ණයෙන්ම වගේ අවහිර කරලා ඉවරයි. ඒ වගේම 2008 සහ 2014 කාලයේ සිද්ධ වෙච්ච බැඳුම්කර නිකුත් ගැන වෝහාරික විගණනයක් කරන්නත් මහ බැංකුව යොමුවෙන බව දැක්වෙනවා. ඒක අනිවාර් යෙන්ම සිද්ධ විය යුතු දෙයක්. ඒ කාලේ කට වහගෙන ඉඳලා දැන් බොරුවට කෑගහගෙන වීරයෝ වෙන්න දඟලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ඇමැතිවරුන්ට තමා ඒවට උත්තර බඳින්න වෙන්නෙ.  

මහ බැංකුව කෝප්කමිටුව ඉදිරියට කැඳවිය යුතුයි
කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

ගත්ත පියවර ගැන මට මුකුත් කියන්න බෑ. මම ආර්ථික විශේෂඥයෙක් නෙමෙයිනෙ. දැන් මහ බැංකුව කළ යුත්තේ තමන්ට කියන්න තියෙන ඔය දේවල් සේරම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එකයි. කෝප් කමිටුව ඉදිරියට මහ බැංකුව නැවතත් කැඳවන්න අපිට පුළුවන්. එතැනදි දැනට අරගෙන තියෙන සහ ඉදිරියේදී ගන්න නියමිත පියවර මොනවද කියන එක මහ බැංකුව අපිට ඉදිරිපත් කළ යුතුයි. ඊටපස්සේ තවදුරටත් ගත යුතු පියවර තියෙනවාද නැත්නම් මේ ඉදිරිපත් කරපු පියවර ප්‍රමාණවත්ද කියලා කාරක සභාවලදී අපිට සාකච්ඡා කරලා තීරණය කළ හැකියි. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00