2018 ජනවාරි 20 වන සෙනසුරාදා

කට්ටෙ රහ

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 367

ආදරය සුන්දරයි; ඇත්ත. හැබැයි ඒ සමාන ම කට්ටකුක් ආදරේ ඇතුළෙ තියෙනවා. ඒ කට්ටේ රහ හොඳින්ම දන්නේ ගොඩක් වෙලාවට කොල්ලොම විතරයි. 

කොල්ලෙක් කෙල්ලෙක්ගේ ආදරේ දිනාගන්න නොකරන දෙයක් නැති තරම්. හැබැයි වයස් මට්ටම එක්ක ඔය පස්සෙන් යාමේ ලොකු ලොකු වෙනස්කම් තියෙනවා. ඕලෙවෙල් වයසේ ඉන්න කොල්ලෙක් කෙල්ලගේ පස්සෙ යන්නෙ හරිම කෙළිලොල් විදිහටයි. සීරියස් බවක් පෙන්නනවා වෙනුවට ඌ කරන්නෙ ‘මං හරිම කූල් පොරක්’ කියලා කෙල්ලට විතරක් නෙමේ කෙල්ලගේ යාළුවන්ටත් ඔප්පු කරන්න හදන එකයි. මොකද ඔය වයසෙදි තමන්ගේ කොල්ලා ගැන කෙල්ලෙක් තීරණය කරන්නෙ තනි මතයට නෙමේ. යාළුවන්ගෙනුත් අහලා, යාළුවන්ගේ කොල්ලන්වත් සංසන්දනය කරලා තමයි කෙල්ලෙක් කොල්ලව තෝරගන්නෙ. 

එතනදි කොල්ලො සෑහෙන වෙනස්. ඕ ලෙවෙල් වයසේ කොල්ලෙක්ට ඕනෙ හොඳ පෙනුම තියෙන කෙල්ලෙක්ව දාගන්න එකටත් වඩා කොහොම හරි කෙල්ලෙක්ව දාගන්නයි. මොකද යාළුවෝ සෙට් එක අතරෙ නොකැපී ඉන්න නම් නාඩි වැටෙන ඕනම ස්ත්‍රී පරාණයක් උන්ට කමක් නෑ. 

අපි අත්විඳින, අහන්න දකින්න ලැබෙන බහුතරයක් ආදර කතාවල අදියර දෙකක් තිබෙනවා. එකක් තමයි පූර්ව ප්‍රේම යුගය. ඒ කියන්නෙ කෙල්ල කැමැත්ත ප්‍රකාශ කරන්න කලින් කොල්ලා පස්සෙන් යන කාලපරිච්ඡේදය. 
ඉතින් ඔය පාසල් කාලේ ප්‍රේමයේ මුහුණුවර වෙනස් හින්දම කෙල්ල පස්සෙන් යාමේ අවධිය එහෙමත් නැත්නම් පූර්ව ප්‍රේම යුගේ හරි වෙනස් වගේම ලේසියි. 

ඔය වැඩේ දරුණු වෙන්නේ කැම්පස් වයසට ආවට පස්සෙයි. කැම්පස් එකක නම් තුන්වැනි අවුරුද්දෙ හතරවැනි අවුරුද්දෙදි විතර කෙල්ලෙක් එක්ක යාළුවෙනවා කියන එක පට්ටම සංකීර්ණ වැඩක්. මොකද ඔය කාලෙදි කොල්ලන්ට කෙල්ලන්වත්, කෙල්ලන්ට කොල්ලන්වත් අජීර්ණ වෙන තරමට හම්බවෙලා ටික ටික තමන්ට ගැලපෙන එකාම තෝරගන්න තමයි ට්‍රයි කරන්නේ. 

මේ හින්දා වයසින් මෝරන්න මෝරන්න කෙල්ලෙක් පස්සෙ යන එක කොල්ලන්ට ලේසි වැඩක් නෙමේ. (කෙල්ලෙක් පස්සෙ යාම කියලා සඳහන් කරන්නේ අපේ රටේ සීයට අනූ නමයයි දශම නමයක්ම ලව් පටන්ගන්නෙ එහෙම හින්දයි) කොල්ලෙක් බොක්කෙන්ම කෙල්ලෙක්ට ලව් නම් ඒ කෙල්ල එක්ක යාළුවෙන්න ස්ට්‍රැටජියක්, මාස්ටර් ප්ලෑන් එකක් ඕනෙමයි. එහෙම නැතුව බොරු පොර පාට්වලින් හරි, සීමාවක් නැතුව අවංක වෙන්න ගිහින් හරි කෙල්ලෙක් එක්ක යාළුවෙන එක කරන්න බැරිම වැඩක්. 

ඔය කාලෙදි මූණට මූණ හම්බවුණාම කියන කරන දේවල් මොනවගේ වුණත්, ෆෝන් එකේ උපයෝගීතාවය නම් මාරම වැදගත්. එස්.එම්.එස්. යැවිල්ලෙදි කෙල්ල දාන දාන බැරියර්ස් බිඳගෙන ඉස්සරහට යන එකත් අන්තිමේදී කෙල්ලට කොල්ලගෙ එස්.එම්.එස්. නැතුව බැරිවෙන තත්ත්වයකට එනකල් සම්බන්ධය එක පදමකට ගෙන එන එකත් තද ස්ට්‍රැටජියක් මත දුවන ටිකක් දිග ගේම් එකක්.

අපි ආසාවෙන් කියවපු, ආසාවෙන් නරඹපු නවකතා, චිත්‍රපටවල තියෙන ආදර කතාත් මේ වගේමයි. වැඩිය ඕනෙ නෑ, වික්‍රමසිංහ මහත්තයගේ ගම් පෙරළියේ නන්දා, පියල්ට කොච්චර ගෑස් පෙන්නවද? 
කෙල්ල ගණන් උස්සන්න උස්සන්න කොල්ලා ඒ ගණන් බස්සන්න ට්‍රයි කරන මේ කාල පරිච්ඡේදෙ කෙල්ලගෙ පැත්තෙන් මාර චූන් කාලයක් වුණත් කොල්ලට නම් අපා දුකක්. හැබැයි ඉතින් පස්සෙ කාලෙක ආපහු හැරිලා බලද්දි ඒ කියන්නේ ආදර කතාවේ දෙවැනි අදියරේදී එහෙමත් නැත්නම් ප්‍රේමකරන අදියරේදී ඒවා මතක් වෙන්නෙ අපා දුකක් නෙමෙයි, රසවත් සිදුවීම් කන්දක් විදිහටයි. කෙල්ල පස්සෙ යන කාලෙදි වෙච්ච හිත කළකිරෙන සිද්ධි, ලජ්ජ වෙච්ච අවස්ථා මේ සේරම ඔය කාලෙ වෙද්දි දෙන්නටම එකට එකතු වෙලා හොඳට හිනාවෙන්න පුළූවන් මාතෘකා. ඉතින්?
ඉතින් එහෙම බැලුවම කට්ටෙ තමයි ආදරේ හැබෑම රහ හැංගිලා තියෙන්නෙ.  

 ජා

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00