උඹේ අතින් අල්ලගෙන රීගල් එකට යනකොට,
උඹ කිසි දෙයක් අහන්නේ නැතුව මගෙ අතේ එල්ලිලා ආපු හැටි
කවුරුවත් දකියි කියලා බය හිතුණත්
ටිකට් දෙකක් අරන් මම එනකල් උඹ මා දිහා ම බලා උන්නු හැටි
ලයිට් නිවිලා ෆිල්ම් එක පටන් ගන්නකොටම උඹ
මගේ පැත්තට බර වුණු හැටි
පපුව හරහා ගිය මගේ අත ඉඟටියෙන් අල්ලා ගන්න කොට
උඹේ මූණ තව තවත් මගෙ උරේටම බර වුණු හැටි
අපේ ලෝකෙක තනි වෙන්න, තනිකම හැර වෙන හේතුවක් නැති නිසාම
ෆිල්ම් එක බෝරිං කිය කියා උඹ දෙතොල්වලින් වන්දි ගෙවපු හැටි
තිරය වැහෙනකොට, කුටිය ආපහු එළිය වෙනකොට
ගැලවුණු මතක උඹ කතාවක් නැතුව එකතු කරපු හැටි
ඒ තරම් වෙලා සද්ද නැතුව බස් එක ළඟට ආපු උඹ
එකවරම අතින් අල්ලලා මගේ
මුහුණ දිහා බලලා අහිංසක විදියට
දැන් අපිට මොකද වෙන්නේ? අහපු හැටි
හිනාවෙලා මම, අතරමං වුණු උඹේ ඇස් දෙක දිහා බලලා
ගෙදර යමු යි ගාණක් නැතුව කියපු හැටි
රීගල් එක දිහා බලන් සිනහවකින් මුව සරසා නුඹ
බස් එකේ නැග නොපෙනී ගිය හැටි
මට තාම මතකයි...
හසිත කැකුළාවල