මේ තරම් සියුමැලි ද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
එය රජීව වසන්ත වෙල්ගමයන්ගේ අපූරු ගේය පද සුනිල් එදිරිසිංහයන්ගේ මෘදු පිරිමි ස්වරයේ දැවටී ඇසෙන්නාක් බඳු හැඟීමකි. මා උන්නේ අවුකන පිළිරුව අබියසය. නැත, කලාවැව අසල නැඟී සිටින ඒ දැවැන්ත ප්‍රතිමාව පාමුල නොවේ. මොරටුමුල්ලේ තාපසාරාම පාරේ වූ ඒ කුඩා නිවස තුළ වැඩහුන් අවුකන පිළිරුවේ අනුරුව එම පිරිසිදු හැඟීමට ජීවය මුසුකර තිබුණි.
ඇත්තෙන්ම මා රැඳී හුන්නේ අපූරු කලා ශිල්පියෙකුගේ නිවස තුළය. මොරටුව නම් ලී, ලී නම් මොරටුව යන කියුම යළි යළිත් තහවුරු කරන්නට මෙන් නාස්පුඬු වසා පැතිර තිබුණේ ලී කුඩුවලින් නැඟෙන නැවුම් සුවඳකි. ඒ සුවඳත් දහවල් අව්වේ කර්කෂභාවයත් මැද මේ කලා ශිල්පියාගේ නිවස තුළ වූ දැවමුවා නිර්මාණ පෙළ හිතට ගෙන ආවේ සිසිලසකි.
දිමුතු අසලංක නම් ඔහු මේවා හැඳින්වූයේ ‘දැව මූර්ති නිර්මාණ’ යනුවෙනි. එහෙත් දැව මූර්ති මෙන්ම දැව කැටයම් කලාවට ද ඔහු උපන් හපනෙකි.
“මම දැව මූර්ති සහ කැටයම් කලාවට යොමුවුණේ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලමයි. මගේ තාත්තා කළෙත් ලී වැඩ. ඉතින් මාත් ඉස්කෝලේ හයේ පන්තියෙදිම තමා කැටයම් කපන්න පටන් ගත්තෙ. අටේ පන්තිය වෙද්දිම මම කැටයම් ශිල්පයෙන් ඉස්සරහට යනවා කියලා තීරණයක් අරගෙනයි තිබුණෙ”
කැටයම් තෝරාගැනීම ද සියුම්ව කළ යුත්තකි. උඩරට සාම්ප්‍රදායික කැටයම් ඕනෑතරම් අපට දක්නට ලැබේ. එහෙත් කැටයම්කරුවෙකුගේ නිර්මාණ ශක්තිය උඩරට කලාකරුවාගේ සීමාවේ මායිම් විය යුතු නැත.
“දැන් මම ඉන්ටර්නෙට් ගිහින් ලෝකය පුරා තියෙන අලුත් අලුත් කැටයම් මොනවද කියලා හොයලා බලනවා. ඒවත් එක්ක අලුත් නිර්මාණ කරන්න හැමතිස්සෙම උනන්දු වෙනවා. ඉස්සරහට යන්න නම් ඒ වගේ වෙනස්වීම් තියෙන්න ඕනෙ”
දැව මූර්ති සේම කැටයම් කලාවට ද යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමේ හැකියාව පවතී. මූර්තියක් කැපීමට පෙර දැව කොටයේ මූලික කපාගැනීම කරන්නේ යන්ත්‍රයක ආධාරයෙනි. එහෙත් මූර්තියකට පණපොවන්නට සිත් පිත් නැති යකඩ තලයකට පමණක් බැරිය. නිර්මාණ ශිල්පියාගේ කලා හැකියාවත් ඒ හා බද්ධවුණු දෑතේ සියුම් බවත් ඊට ඇවැසිමය.
“මූර්ති කපන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඇත්දෙමට ලීය. ඒක ගොඩක් වෙලාවට ආයුර්වේද බෙහෙත්වලටත් ගන්න ලීයක්. ඒක හොඳ සුදුපාට ලීයක්. මහෝගනී ලීය ටිකක් රෝස පාටට හුරු නිසා බුද්ධ ප්‍රතිමාවලට මහෝගනී පාවිච්චි කරනවා අඩුයි. කැටයම්වලට ගන්නෙ තේක්ක හරි මහෝගනී හරි තමයි. ඒකෙනුත් මහෝගනී ලීය මට්ටම් නිසා හොඳ ෆිනිෂිං එකක් ගන්න පුළුවන්”
හරි ලීය තෝරාගැනීමෙන් පසු කරන්නේ ලීය පදම් කරගැනීමය. පදම් කිරීම යනු ලීයේ අඩංගු ජල ප්‍රතිශතයෙන් සියයට හැත්තෑ පහක්ම වාෂ්ප කර ඉවත් කරගැනීමය. එනම් ලීය වේලා ගැනීමය. ඒ වෙනුවෙන්ම සැකසූ විශේෂ පෝරණු ද ඇත. පදම් කිරීමේ අරමුණ වන්නේ ගුල්ලන් වැනි ලීයට හානි කරන සතුන් ඊට රිංගාගැනීම වැළැක්වීමයි. නමුත් තේක්ක ලීයට ගුල්ලන් ආකර්ෂණය වන්නේ නැත. එනිසා තේක්ක ලීයෙන් නිර්මාණයක් කරද්දී ලීය පදම් කිරීමක් අවශ්‍ය වන්නේ ද නැත.
“පදම් කරගත්තට පස්සෙ කරන්නේ ඩිසයින් එක කපාගන්න එකයි. ඒකෙදි මුලින්ම හරි මිම්මට බ්ලොක් එක ලීයෙන් පසාරු කරගන්න ඕනෙ”
මිම්ම කියූ සැණින් අපේ සිහියට එන්නේ ටේප් පටියකි. නැත්නම් අඩිකෝදුවකි. එහෙත් දැව මූර්ති කලාවේ මිම්ම වෙනස්ය. එහි මිම්ම අඩි හෝ සෙන්ටිමීටර හෝ නොව ‘තාල්’ය. බුද්ධ රෑපයක් නිර්මාණය කිරීමේදී තාල් එකක මිම්ම ගන්නේ බුද්ධ ශීර්ෂයේ පරිමාණය අනුවය.
“බුදු පිළිමයක් හදද්දී නව තාල් කියන මිනුම් ක්‍රමය තමයි පාවිච්චි වෙන්නෙ. පිළිමෙ මුහුණ අනුව තමයි ශරීරයේ අනිත් සියලු කොටස්වලට පරිමාණෙ තෝරගන්නෙ”
මූර්තියක් කපන විට විවිධ හැඩයේ විවිධ ප්‍රමාණයේ නියන් භාවිත කෙරේ. අවසානයට යොදාගන්නේ ‘පිහිය’ නමින් හඳුන්වන කුඩා තලයක් ඇති නියනකි. එය මූර්තියක ඉතා සියුම් කැපීමකට උපයෝගී වේ. එහෙත් එවන් සියුම් නියන් භාවිතයේ දී අත්‍යවශ්‍යම වන්නේ අතේ හුරුවයි.
“අතේ හුරුව නැත්නම් මේ කලාව කරන්න බෑ. ඒ ඒ වැඩේට ඒ ඒ නියන පාවිච්චි කරන්න ඕනෙ වගේම හරි තැනට හරි පහර ගහන්නත් ඕනෙ. පහර කියන්නේ අතේ ශක්තියනෙ. ඉතින් අතේ හුරුව කියන්නෙ අපි අතෙන් මුදාහරින මේ ශක්තිය පාලනය කරගෙන පාවිච්චි කරන එකයි”
පසෙක දමා තිබූ හිස් කොටයකින් බුදුරුවක් ටිකෙන් ටික නිමැවෙන්නට ගනිද්දී දැනෙන හැඟීම අපූර්ව එකක් බවට සැක නැත.
“ඇත්තටම ලී කොටේකින් බුද්ධ රූපයක් මතුවෙද්දී දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි. කොහේවත් තිබ්බ ලී කොටයක් බුද්ධ රූපයක් වුණාට පස්සේ ඒකට ලැබෙන අගය, වටිනාකම සෑහෙන ලොකුයි. නිකම්ම නිකම් ලී කොටේකට කවුරුත් දෑත් එක් නොකළට ඒකෙන් මැවෙන බුද්ධ රූපෙට මිනිස්සු වන්දනාමාන කරනවා. ඒ වගේ දෙයක් කරන්න හැකියාවක් ලැබීමත් භාග්‍යයක් කියලයි මම හිතන්නෙ”
බුදු පිළිම විතරමද නිර්මාණය කරන්නෙ? පැනයකි.
“එහෙම විශේෂයක් නෑ. හැබැයි මම බෞද්ධයෙක් හින්දා බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්න තමයි ගොඩක් කැමැති. ඒත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමා, දේවරූප වගේ ගොඩක් ප්‍රතිමා නිර්මාණය කරනවා”
මෙච්චර කාලෙකට කරන්නට බාරගත් අමුතුම නිර්මාණය කුමක්දැයි අහන්නට සිත්වූයේ එවිටය.
“දැනට ලැබිලා තියෙන අමුතුම වැඩේ තමයි කොළඹ නගරයේ මූර්තියක් කැපීම. ඒක කොළඹ විශ්වවිද්‍යාලෙ ළමයින්ගෙන් ලැබුණු වැඩක්. හැබැයි ජර්මන් ප්‍රොජෙක්ට් එකක්. මාස තුනක් ගියා ඒක ඉවර කරන්න. ලේක් හවුස් එකේ ඉඳන් ගංගාරාමෙ ළඟට වෙනකම් කොළඹ බිම් සැලසුම තමා ඒ විදිහට නිර්මාණය කළේ.”
ඔහුගේ දක්ෂතාවය අගයමින් ජාතික ශිල්ප අභිමානී ඇතුළු ඉහළ පෙළේ සම්මාන රැසක්ම ලැබී ඇත. ඒවා නිවසේ සාලයේ පිළිවෙලට තබා තිබේ. ඒ සම්මාන පෙළ අසලින්ම පවුලේ ඡායාරූපයකි. දිමුතුත් බිරියත් පොඩි පුතුන් දෙදෙනාත් සිනාමුසු මුහුණින් එම ඡායාරූපයට පෙනී සිටිති.
“මගේ පුතාලා දෙන්නටත් දැන් කැටයම් වැඩ හුරුයි. බාලයට දැන් වයස අවුරුදු හතරයි. හැබැයි පුංචි තුවාලයක්වත් නැතිව කැටයම් කපන්න එයාට පුළුවන්. මාත් ආසාවෙන් ඉන්නෙ මම අමාරුවෙන් ඉගෙනගත්ත මේ ශිල්පෙ දරු දෙන්නට දායාද කරන්න තමයි”
සෑම අව්‍යාජ කලා ශිල්පියෙකුගේම පැතුම එය විය යුතුය. තමා සමඟ තමා උගත් කලා ශිල්පය වැළලීයාමට ඉඩ නොදී එහි මතු මත්තේ පැවැත්මත් තහවුරු කළ හැකිනම් කලා ශිල්පියාගේ වටිනාකම දෙගුණ තෙගුණ වන්නේ එවිටය. ඒ සොඳුරු කලා ශිල්පියාට සමුදෙන මොහොතේ සිතට නැඟුණු අවංක හැඟීම එය විය.
♦ රජිත ජාගොඩ ආරච්චි
සේයාරූ - සුමුදු හේවාපතිරණ