2018 ජනවාරි 27 වන සෙනසුරාදා

නැණ මතක ආයු වඩන අමුතු අමුතු කෑම බිම

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1803

වර්තමානයේ දී බොහෝ දරුවන් තුළ බුද්ධි වර්ධනය, මතක ශක්තිය අඩුකම දක්නට ලැබේ. මේ හේතුවෙන් බොහෝ මව්පියන් පසුවන්නේ දැඩි කනස්සල්ලෙනි. පාසල් අධ්‍යාපනය තුළ එදිනෙදා උගන්වන පාඩම් අමතක වීම් හේතුවෙන් පාසල් දරුවන් බොහොමයකට විභාග කඩඉම් සාර්ථකව පසුකර යාමට නොහැකි තත්ත්වයට පත්ව ඇත. මේ නිසාම පාසල් අධ්‍යාපනය අතරමඟ නතර කරන මෙවන් දරුවෝ සමාජයේ විවිධ වැරදි ක්‍රියාමාර්ගයන්ට යොමුවෙති.

ආයුර්වේදයේ දී මතක ශක්තිය, බුද්ධි වර්ධනය ඇතිකරලීමට ඉතා සාර්ථක ප්‍රතිකාර පවතී. ආයුර්වේදය යනු ආයුෂ පිළිබඳ විද්‍යාවයි. (Science of life) වසර දහස් ගණනක් තිස්සේ ඇතිවූ රෝගවලට ප්‍රතිකාර ලබාදීමෙනුත්, ඇතිවන්නාවූ රෝග වළක්වා ගැනීමට දායකවීමෙනුත් මිනිසාගෙන් කායික, මානසික, අධ්‍යාත්මික නිරෝගීතාවය උදෙසා සුවිශේෂී වූ දායකත්වයක් උසුලනු ලබයි. මෙහි ප්‍රධාන අංග අටක් අන්තර්ගත වේ. එම අංග අටෙන් “කෞමාරභෘත්‍ය” හෙවත් “කුමාර තන්ත්‍රය” යටතේ ළමුන් හා ඔවුන්ගේ පෝෂණය, රෝගාබාධ, ඒවාට ප්‍රතිකාර ආදිය විස්තර කෙරේ.

“චරක සංහිතාවට” අනුව බාල අවස්ථාව යනු ධාතු අපරිණත අවස්ථාව හෙවත් උපතේ සිට පළමු වසර දක්වා කාලයයි. කුමාර අවදිය යනු පළමු වසරේ සිට වයස දහසය දක්වා වූ කාලයයි. දැයේ අනාගතය රඳාපවතින්නේ දරුවන් අත බවත්, කායික මානසික හා අධ්‍යාත්මික බවින් පිරිපුන් දරුවකු ලොවට දායාද කිරීම මගින් යහපත් දේශයක් ගොඩනැගෙනු නොඅනුමානය.

මෙවැනි අරමුණු මුදුන්පත් කරගැනීමේදී දරුවාගේ මානසික තත්ත්වය, බුද්ධිය, මතකය ආදී කරුණු ද ඉතා වැදගත්ය. ලොව සෑම මව්පියකුගේම අරමුණ තම දරුවා කායික, මානසික බවින් පිරිපුන් බුද්ධිමත් දරුවකු බිහිකිරීමය. ඒ සඳහා මවුපියන් විවිධ වෛද්‍ය කර්ම හා විද්‍යා දැනුම තුළින් බොහෝ කරුණු කාරණා අනුගමනය කරයි. විශේෂයෙන් ආයුර්වේදයේ දරුවන්ගේ බුද්ධිය, මතකය, සිහිය වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ යුතු විවිධ ක්‍රියාකර්ම සඳහන් වේ.

දරුවකුගේ බුද්ධිය වර්ධනය වීම සඳහා අනුගමනය කළ යුතු වත්පිළිවෙත් ආරම්භ කරනුයේ දරුවා කුස තුළ සිටියදීමය. විශේෂයෙන් ගර්භයේ සයවැනි මාසයේ දී ගර්භයේ බලය, වර්ණය හා බීජය වර්ධනය වේ. එසේම බුද්ධි වර්ධනය මෙකල සිදුවන බව ආයුර්වේදයේ දක්වා ඇත. එම නිසා ගර්භනී කාලයේදීම දරුවාගේ බුද්ධි වර්ධනයට අවශ්‍ය ආහාරපාන, ඖෂධ ගැබිණිය විසින් ලබාගත යුතුය.

විශේෂයෙන් සතුන්ගේ කිරි වර්ග, ගොටුකොළ, හාතවාරිය, ලුණුවිල ආදී බුද්ධිවර්ධක ඖෂධ මව විසින් ලබාගත යුතුයි. ආයුර්වේදයේ ගර්භනී පරිචර්යා යටතේ ඒවා විස්තර කර ඇත.

දරුවකු මෙලොවට බිහිවූ මොහොතේ සිට දරුවාගේ බුද්ධි වර්ධනය පිණිස ආයුර්වේදයේ අවධානය යොමුකර ඇත. එනම්, බුද්ධිය හා නුවණින් යුතු දරුවකු ආයුර්වේදය තුළින් බිහිකර ඇත. ආයුර්වේදයට අනුව දරුවා මව්කුසින් බිහිවීමෙන් පසුව දරුවා පිරිසුදු කර, විෂබීජවලින් ආරක්ෂා කිරීමට “රක්ෂා කර්ම” සිදුකර දරුවාගේ පෝෂණය ගැන අවධානය යොමුකළ යුතුය.

දරුවා ඉපදීමෙන් පසුව ලබාදෙන ප්‍රථම ආහාර වේල “ස්වර්ණ ප්‍රාශක සවස්තවරය” (රත්තරන් ගලගා දීම) ලෙස ආයුර්වේදයේ හඳුන්වනු ලබයි. මෙම ආහාර වේලද දරුවාගේ බුද්ධිය, නුවණ, මතකය දියුණු කරවන ආහාරයකි. එහිදී මී පැණි හා ගිතෙල් ස්වර්ණ භෂ්ට (රත්තරන් ගලගා) සමඟ මිශ්‍රකර දරුවාට දෙනු ලබයි. මෙය රන්කිරි කටගෑම ලෙස ද හඳුන්වයි. මෙසේ සිදුකර පළමු දිනයේදීම මව්කිරි දිය යුතු බව ආයුර්වේදයේ සඳහන් වේ. මේ තුළින් රෝගාබාධවලට ඔරොත්තු දීමේ හැකියාව ඇතිකරයි.

එසේම ගිතෙල් මගින් ද ස්වර්ණ භෂ්ටවලින් බුද්ධිය, සිහිය දියුණු කරයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඉපදුණු විගස ස්වර්ණ ප්‍රාශක සවස්කාරය මගින් දරැවාගේ බුද්ධිය පිළිබඳව අවධානය යොමුකර ඇත.

මව්කිරි ද දරුවාගේ බුද්ධිය වර්ධනය කරන ඉතා හොඳ ආහාරයකි. ආයුර්වේදයට අනුව මව්කිරි දරැවාට ප්‍රාණය හා සමාන ගුණයක් ලබාදේ. ඒ මගින් බුද්ධිය ද ලබාදේ. මව්කිරි නොමැති කල එළුකිරි, එළකිරි, ඔටුකිරි, මීකිරි ආදී කිරි වර්ග අටක් නිර්දේශ කර ඇත. එළකිරි මගින් ද බුද්ධිය හා මතකය ලබාදෙන බව ආයුර්වේදයේ සඳහන් කර ඇත. මව්කිරි නොමැති වූ විට දරුවාට ලබාදිය යුත්තේ එළුකිරිය. නමුත් එළුකිරි නොමැති විට එළකිරි හෝ මීකිරි නිර්දේශ කර ඇත. ඒවායින් ද බුද්ධිය වර්ධනය වේ.

බාල සංරක්ෂණයේ දී රක්ෂා කර්ම හෙවත් බාලයා ආරක්ෂා කරන ක්‍රමවලට වැදගත් තැනක් හිමිවී ඇත. මෙහිදී බාලයා විවිධ රෝගාබාධවලින් ආරක්ෂා කරගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් ඇත. නමුත් වර්තමානයේ දී මේ වෙනුවට ප්‍රතිශක්තිකරණය ප්‍රචලිතව ඇත. ආයුර්වේදයට අනුව රෝග ඇතිවනුයේ වාත, පිත, කප යන දෝෂ විෂමතාවයෙනි. මෙසේ විෂම වූ දෝෂ සමනයකට පත්කර ගැනීම සඳහා ලේහන කර්ම (දිවේ ගානු ලබන) මගින් රෝග වළක්වා ගන්නා අතර එසේ යෙදූ ඖෂධ පිළිබඳ විශ්ලේෂණය කර බැලූ කල ඒවා සියල්ලම බුද්ධිවර්ධක ඖෂධ වේ.

උදාහරණ ලෙසින්,

වදකහ, කිරිකබෙලු, සුවඳ කොට්ටම්, හාතවාරිය අල, ලුණුවිල, ඉරමුසු, ගොටුකොළ යන ඖෂධ දක්වා ඇත. මේවා මගින් දරුවාගේ බුද්ධිය, මතක ශක්තිය වර්ධනය වේ. රත්‍රන් ද මේ සඳහා යොදාගැනේ. එසේම ලුණුවිල, ත්‍රිපලා, හාතවාරිය, ගොටුකොළ, වදකහ, නාග බැවිල යනාදිය ගිතෙල්වලින් අඹරා දිවේ ගෑ යුතුය. මෙමගින් බුද්ධිය වඩාත් දියුණුවන බව දක්වා ඇත. එළඟිතෙල් බුද්ධිය වර්ධනය කරවන බව ආයුර්වේදයේ සඳහන් වේ.

ලුණුවිල දරුවන්ගේ බුද්ධිය වර්ධනය කරවන ප්‍රබල ඔසුවකි. මතකය වඩවන ඔසුවකි. රසායන ගුණය ඇත. මානසික ආතතිය දුරු කරයි. නවීන පර් යේෂණවලට අනුව ද දරුවන්ගේ බුද්ධිය වඩවන බව සොයාගෙන ඇත. ලුණුවිල තම්බාදීමෙන් ද, අමුවෙන්ම පිරිසුදු කර සලාද ලෙස ද, සිරප් ලෙසද ගත හැක. එළඟිතෙල් සමඟ හෝ මී පැණි සමඟ මිශ්‍රකර ගැනීම ද කළ හැක.

ගොටුකොළ ද ලොව හොඳම බුද්ධිවර්ධක ඔසුවකි. බුද්ධිය මතකය වඩවයි. මානසික ආතතිය දුරුකරයි. කොළ කැඳ, සලාද ආදී ලෙස දරැවන්ට දිය හැක. ගොටුකොළ එළකිරි සමඟ දීමෙන් බුද්ධිවර්ධක ගුණය වඩවයි.

හතවාරිය ද බුද්ධිය, නුවණ වඩවන ඖෂධයකි. මෙය කොළ කැඳ ලෙසින් බීමට ගත හැක. එමෙන්ම හාතවාරිය එළඟිතෙල් හෝ මී පැණි සමඟ ද දරුවාට දිය හැක. 

අරළු ද බුද්ධිවර්ධක ඖෂධයකි. ත්‍රිපලා ලෙස මෙය දිය හැක.

වදකහ ඉතා කුඩා මාත්‍රාවක් මී පැණි සමඟ දරුවාට දෙන්න. එමෙන්ම මුරුංගා ද කොළ කැඳ, සලාද කොළ ව්‍යංජනයක් ලෙසින් දීමෙන් බුද්ධිය වර්ධනය වේ.

ගිතෙල්ද බුද්ධිවර්ධකකි. කුඩා දරුවන්ගේ බත ගිතෙල් සමඟ තෙම්පරාදු කර කෑමට දෙන්න. එමෙන්ම පළතුරක් ලෙසින් අලිගැට පේර ද බුද්ධිවර්ධනයට, මතක ශක්තිය ඇති කිරීමට ඉතා ගුණදායක වේ.

එමෙන්ම චීස්, බටර්, මාගරින් වැනි මේදමය ආහාර වරින්වර කෑමට එක් කිරීමෙන් බුද්ධිය වර්ධනය වේ. ගිතෙල්. පොල්තෙල්, තලතෙල්, ඔලිව්තෙල් වැනි තෙල්වලින් කෑම තෙම්පරාදු කරගත හැක. විටමින්, ඛනිජ ලවණ වැඩිපුර අඩංගු පළතුරු, එළවළු ආහාර වේලට එක්කරගන්න.

මේ අනුව ආයුර්වේදයට අනුව දරුවන්ගේ බුද්ධි වර්ධනය පිළිබඳ මව ගැබිණි සමයේ සිටම අවධානය යොමුකර ඇත. ආයුර්වේදයට අනුව දරුවාගේ මතක ශක්තිය ඇතිකරලීමට අවශ්‍ය ඖෂධ බොහොමයක් ආයුර්වේදයේ සඳහන් වේ. නමුත් එවැනි ඖෂධ ආයුර්වේද වෛද්‍ය උපදෙස්වලින් තොරව ලබාදීමෙන් වළකින්න.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල

 

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00