2018 ජනවාරි 27 වන සෙනසුරාදා

වායුගෙඩි කලින් දැනගන්න!

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 4658

අද වෙද්දී රෝගීන් මහත් කනස්සල්ලට පත්ව ඇති රෝගයක් ලෙසින් වායු ගෙඩි රෝගය හැඳින්විය හැක. ගලගණ්ඩය, තයිරොයිඩ් ග්‍රන්ථි ඉදිමීම යන නම්වලින් ද හඳුන්වනු ලබන්නේ මෙම රෝගයටමය. වර්තමානයේ දී මැදිවයසේ පසුවන රෝගීන් හමුවේ වැඩි වශයෙන් ඇතිවන මෙම රෝගය වයස් සීමාවකින් තොරව ඇති වන රෝග තත්ත්වයකි.

ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් තයිරොයිඩ් ග්‍රන්ථිය සතුරකු සේ හඳුනාගෙන ක්‍රමයෙන් එය විනාශ කිරීම මෙම රෝගයේ දී සිදුවන සරල ක්‍රියාවලිය වේ. වායුගෙඩි උගුරේ පමණක්ම නොව ඇතැම් විට ශරීරයේ විවිධ අවයවයන් තුළ ද හට ගැනේ.

මෙහිදී සිදුවන්නේ තයිරොයිඩ් මඟින් හෝමෝන නිෂ්පාදනය නතර වී පුද්ගලයා රෝගී කිරීමය. මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණ මුල් අවදියේ දී පෙන්නුම් නොකෙරේ. එය තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ මුල් බැස දිගු කලක් පවතී.

වායු ගෙඩි රෝගයේ මූලික රෝග ලක්ෂණ

• ශරීරයේ බර අඩුවීම

• බෙල්ල ඉඳිමීම

• සම වියළීම

• ආතතිය

• මහන්සිය

• මළබද්ධය

• මුහුණ ඉඳිමීම

• ඔසප් චක්‍රයේ අක්‍රමවත් වීම හා අධික රුධිර වහනය

වැනි රෝග ලක්ෂණ සමඟ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීම වැනි රෝග ලක්ෂණයන් ද පෙන්නුම් කෙරේ.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීමෙන් එය සැත්කමක් මඟින් ඉවත් කිරීමෙන් සිදු කෙරේ. ඉන් පසුව දිගුකාලීනව ඒ වෙනුවෙන් අවශ්‍ය ඖෂධ ලබාගත යුතුවේ. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ගලගණ්ඩය රෝගය සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාරයන් ඇත.

ඇතැම් රෝගීන්ගේ ගලගණ්ඩය බාහිරව පෙන්නුම් නොකෙරේ. පිටතට නොපෙනෙන එම රෝගය ඇතුළතින් ඉදිමීම සිදුවේ. මේ අවස්ථාවේදී රෝගියාට කෙළ ගිලීමට අපහසුවීම, කෑම ගැනීමට අපහසු වී කෑම හිරවීම වැනි රෝගී ලක්ෂණයන් ද පෙන්නුම් කෙරේ.

විශේෂයෙන් මෙම ගලගණ්ඩය රෝගයට වැඩිපුර මුහුණ දෙනු ලබන්නේ කාන්තාවන්ය. ඔවුන්ගේ ශරීරයේ හෝමෝන උත්පාදනය වීමේ වේගය පිරිමින්ට වඩා වැඩිය. ඇතැම්විට උපතින්ම තයිරොක්සීන් ඌනතාව ඇති දරුවන් බිහිවීමට ද පුළුවනි. මෙවැනි තත්ත්වයන් තරමක් බරපතළ රෝග අවස්ථාවකි. අධික නිදිමත, අධික තෙහෙට්ටු ගතිය තරැණ අවදියේ ඇති වීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වේ. නාඩි පරීක්ෂාවට අමතරව රැධිර පරීක්ෂණයකින් ද මෙම රෝග තත්ත්වය හඳුනාගැනීමට නැත.

මෙවැනි හෝමෝන මට්ටම අඩු වූ විට කාන්තාවන්ට ඇතිවන බරපතළම තත්ත්වයක් වන්නේ ගැබ් ගැනීම නිසි ආකාරයෙන් සිදු නොවීමයි. ඇඟේ බරත් සමඟ අධික තරබාරැවද තයිරොයිඩ් ප්‍රමාණයේ අඩුවැඩි වීම සිදුවීමට පුළුවනි. මේ නිසා මෙවැනි කාන්තාවන් වෛද්‍ය උපදෙස් මත තයිරොක්සින් පරික්ෂණයක් සිදුකිරීම වැදගත් වේ.

අධි තයිරොයිඩතාවය -

තයිරොයිඩ් ග්‍රන්ථියෙන් පමණ ඉක්මවා හෝමෝනය නිපදවීම අධිතයිරොයිඩතාවය ලෙසින් හැඳින්වේ. ශරීරයේ සෛලවල ක්‍රියාකාරීත්වයට වගකියනු ලබන්නේ තයිරොයිඩ් හෝමෝනයයි. තයිරොයිඩ් හෝමෝන පාලනය කිරීම මොළයේ ඇති පිටියුටරි ග්‍රන්ථිය මඟින් සිදුවේ. නොසන්සුන්තාවය, උද්වේගකාරී ලෙස ක්‍රියාකිරීම ශරීරයේ හදිසියේ ඇතිවන වෙව්ලීම, අධික ලෙස දහඩිය දැමීම, හෘද ස්පන්දන වේගය ඉහළ යාම, නිතර කෑම ගැනීමට ඇති අවශ්‍යතාවය, නිතර නිතර මළපහ කිරීම රෝග තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ වේ.

ගලගණ්ඩය පිළිකා තත්ත්වයක්ද...?

තයිරොයිඩ්, පිළිකා වර්ධනය වනුයේ ඉතා සෙමිනි. ඇතැම්විට මෙය පිළිකාමය රෝගී තත්ත්වයන් බව දැන ගනිද්දීත් රෝගය උත්සන්න වී හමාරය. Papillary Carcinoma පීටිකා පිළිකා ලෙස හැඳින්වෙන තයිරොයිඩ් පිළිකා වර්ගය තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නොනැවතී වසා ගැටැති ඔස්සේ ගෙල ප්‍රදේශයට පැතිරී යයි. Follicular Carcinoma නැමැති තයිරොයිඩ් පිළිකා වර්ග එසේ පැතිරී නොගෙන තයිරොයිඩ් ග්‍රන්ථියට පමණක් සීමාවේ. මෙම රෝග තත්ත්වයන් දෙකේදීම ප්‍රතිකාර කර රෝගියා බේරාගැනීමට හැක. ඒ සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ඇත. විශේෂයෙන් ගලගණ්ඩය රෝගීන් ඉතා ඉක්මණින් වර්ධනය වන ගෙඩියක් වැනි දෙයක් ගෙලෙහි හටගැනීම, ගෙල ඉදිමීම, ගෙල ඉදිරිපසින් පටන්ගෙන කන්දෙක දක්වා පැතිර යන වේදනාවක් හටගැනීම, උගුර බැරැන්ඩි වීම, ආහාර ගිලීමට අපහසුවීම, හුස්ම ගැනීමට අපහසුවීම, සෙම්ප්‍රතිෂ්‍යාවක් නොමැතිව දිගුකාලීනව පවතින කැස්ස වැනි රෝග තත්ත්වයන් ඇතිවිට වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසෙන්න.

ආයුර්වේදයට අනුව මේ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ඇත. බාහිර ආලේපන මෙන්ම ඖෂධ ලබාදීම, නස්න කිරීම වැනි ප්‍රතිකාර මඟින් ප්‍රතිකාර කරගත හැක. නමුත් රෝගියාගෙන් රෝගියාට කරනු ලබන ප්‍රතිකාර වෙනස් වේ.

ආයුර්වේද වෛද්‍ය  
චාන්දනී වික්‍රමආරච්චි