පාසල් යන වයසේ දරුවන් සිටින ලංකාවේ අම්මලා තාත්තලාත් අත්දකින මහා අලකලංචිය දැන් අපූර සිනමා පටයකට නිමිත්ත වී තිබේ. පසුගියදා Filmfair සම්මාන උළෙලේදී හොඳම නළුවා හොඳම අධ්‍යක්ෂ ඇතුළු සම්මාන 6ක්ම දිනාගන්නට මේ නාටකීය ප්‍රහසනය සමත්ව ඇත. එහි නමත් අපූරැයි. ඒ තමයි Hindi Medium හෙවත් හින්දි මාධ්‍යය.
පසුගිය වසරේ මැයි මාසේ 19 වැනිදා වනවිට බොලිවුඩ් රසික රසිකාවියන් පුන පුනා බලා උන්නේ Half GirlFriend නමැති සුපිරි චිත්‍රපටය නැරුඹීමටය. සිනමාහල් ටිකට් කවුන්ටර් පිරී ඉතිරී ගියේ වසරේ ජනප්‍රියම චිත්‍රපටය මෙය වන බවට ලකුණු පෙන්වමිනි. ඒ අතරේ වැඩි අවධානයට ලක් නොවූ තවත් චිත්‍රපටයක් සිනමා ශාලා වෙත පැමිණ තිබුණි. එහි නම Hindi Medium ය. සතියක් යන්නටත් පෙර ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටය තිරගත වූ ශාලා වෙත රොක්වන්නට වූහ. අන්තිමේ මේ ප්‍රහසනාත්මක චිත්‍රපටය ආදායම කෝටි 100 පැන්නූ 5 වැනි සිනමා පටය ලෙස වාර්තාවක් තැබීය. සුපිරි නළු නිළියන් සහිත චිත්‍රපට රැල්ල අතරේ මේ වසරේ සුපර් හිට් එක බවට පත්වූ හින්දි මීඩියම් චිත්‍රපටය හොඳම ඉන්දියානු චිත්‍රපට අතර 95 වැනි තැන හිමිකර ගත්තේය. සිනමා වර්ග කරන අතරදී 10න් 8ක්ම ලබාගෙන ඉහළම විචාරක සම්මාන ලබාගන්නත් මෙය සමත්ව තිබේ.
කොමඩි නැත්නම් උපහාස චිත්‍රපට හැටියට දෙපැත්ත කැපෙන කුණුහරුප සහිත චිත්‍රපට එළියට දාන අපේ අයටත් සමාජයට පණිවුඩයක් දෙන අතරේ අපේම ගොං-කම්වලට හිනාවෙන්නේ මෙන්න මෙහෙමයි කියා පෙන්වන්නට Hindi Medium සමත්ව තිබෙනවා. එහි සාර්ථකත්වය කෙතරම්ද කිවහොත් මෙවර 63 වැනි Filmfair සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස එය තේරී පත්ව තිබේ. ඒ හැර හොඳම නළුවා විචාරක සම්මානය ඉෆ්රාන් ඛාන් හටත් හොඳම නිළිය සම්මානය පාකිස්තාන නිළි සාබා කමාර් හටත් හිමිවිය. හොඳම සහාය නළුවා සම්මානය දීපක් දොබ්රිගල් හට හිමිව තිබේ. හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ලබාගන්නට මෙහි අධ්‍යක්ෂ සාකේත් චෞද්රි සමත්ව තිබේ.
Hindi Medium හි කතාව දිල්ලියේ ජීවත්වෙන හින්දු පන්නයට ජීවත්වන සල්ලිකාර ව්‍යාපාරිකයකු වන රාජ් බාත්‍රා සහ ඔහුගේ බිරිය මීනා සහ ඔවුන්ගේ පස් හැවිරිදි දියණිය පීයා මුහුණ දෙන සමාජ ගැටුමක් විවරණය කරන්නෙකි.
ඉංග්‍රීසි පන්නයට ලොකු පාසලක තමන්ට නොලැබුණු ඉගෙනීමේ වරම සිය දියණියට ලබාදෙන්නට හිතට ගන්නා මේ සල්ලිකාර අම්මා තාත්තා දෙන්නාට සිදුවන්නේ තමන්ගේ නිවසත් අතහැර දිල්ලි ග්‍රැමර් ස්කූල් වලට කිලෝමීටර 3ක් ආසන්නයේ වූ වසන්ත් විහාර් කරා යාමටයි. ඉංග්‍රීසි පන්නයේ මේ උසස් පාසලේ සම්මුඛ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දෙන්නට අම්මා තාත්තාහට ටියුෂන් ගන්නටත් සිදුවෙයි. නමුත් රාජ් බාත්‍රාට සම්මුඛ පරීක්ෂණයේදී ටියුෂන් කටපාඩම් උත්තර අමතක වෙයි. ප්‍රතිඵලය දරුවාට පාසල අහිමිවීමයි.
ඔවුන්ගේ ඊළඟ තුරුම්පුව වන්නේ අධ්‍යාපන අයිතිවාසිකම් යටතේ දුගී දුප්පත් දරුවන්ට හිමිවන කෝටා වරම ඔස්සේ සිය දරුවා පාසලට දමා ගැනීමයි. ඒ සඳහා ඔවුන් දුප්පතුන් ලෙස ජීවත් වීම අරඹයි. ඔවුන්ගේ දුප්පත් අසල්වාසියා ශ්‍යාම් ප්‍රකාශ්ට සිටින්නේද පීයාගේ වයසේම පුතෙකි. රාජ් පවුල සැබෑ දුප්පතුන් යැයි සලකා ඔවුන්ගේ දුක්ගන්නා රාල වන්නට ශ්‍යාම් ඉදිරිපත් වෙයි. ඒ අතර ඇතිවන ඉල කැඩෙන ආටක නාටක බොහෝය. අන්තිමේ පීයාට පාසල්වරම හිමිවෙයි. නමුත් සැබෑ දුප්පතා වන ශ්‍යාම්ගේ දරුවාට පාසල් වරම අහිමි වෙයි. රාජ් බාත්‍රාගේ හෘද සාක්ෂිය ඔහුට චෝදනා කරන්නට ගන්නා අතර සල්ලිකාර මවුපිය යුවළගේ මගඩියද හෙළිදරව් වන්නට මග පෑදී අන්තිමේ පීයාට ද ශ්‍යාම් ප්‍රකාශ්ගේ දරුවා සමඟ හින්දු මාධ්‍ය පාසලට යාම වඩා හොඳ යැයි තීන්දු කරන්නට රාජ් යුවළ පෙළැඹේ. රාජ් සිය දරුවා ඉංග්‍රීසි පන්න පාසලෙන් ඉවත් කරගෙන යන්නට පෙර ඉතා සංවේදී කතාවක් පවත්වයි. මේ චිත්‍රපටය වත්මන් සමාජයේ විගඩම්කාර අගැයීම් හර පද්ධතිය අතිශය උද්වේගී උපහාසයකට බඳුන් කරන්නේ ප්‍රේක්ෂකයාට සංවේදී පණිවුඩයක්ද තිළිණ කරමිනි.
සුගත් පී. කුලතුංගආරච්චි