2018 ජනවාරි 27 වන සෙනසුරාදා

කූඹියෝ සහ ආප්ප

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 193

කූඹියෝ මාර හිට් එකක් වුණේ ඇයි?

උත්තර දෙකක් තියෙනවා.

එක​, කූඹියෝ කලාත්මක අතින් සෑහෙන ඉදිරියෙන් තියෙන නිසා. දෙක​, කූඹියෝ කියන්නෙ ලංකාවෙ පාදඩ ධනවාදයේ වාටියේ ඉන්න එවුන්ගෙ ආත්මීය ප්‍රකාශය නිසා.

කූඹියෝ ලංකාවෙ පාදඩ ධනවාදයේ වාටියේ ඉන්න එවුන්ගෙ ආත්මීය ප්‍රකාශය වෙන්නෙ ඇයි?ලංකාවෙ තියෙන්නෙ පාදඩ ධනවාදයක්. ඔව්, ඕනම ධනවාදයක් නිසඟයෙන්ම පාදඩයි තමා. හැබැයි ලංකාවෙ එක ඒ අතරෙනුත් විශේෂයෙන් පාදඩයි. ලංකාවෙ ධනවාදය එහෙම්පිටින්ම විකෘතියක්. 77 ට පෙර තිබ්බ සමාජවාදී ආර්ථික ක්‍රමයේ ප්‍රධාන ලක්‍ෂණ වුණු දැවැන්ත රාජ්‍ය සේවය සහ සුබසාධන ආර්ථිකය එහෙම්ම තියාගෙන, ඒකට දේශපාලනඥයා සතු අසීමිත බලය මුසු කරලා, නියමාකාර චින්තන හෝ බුද්ධිමය පරිවර්තනයකින් තොරව කරපු ඊනියා 77 විප්ලවයෙන් බිහිවුණු විකෘති දරුවා තමයි ලංකාවෙ අද තියෙන පාදඩ ධනවාදය​.

මේ ධනවාදය ආප්පයක් නම්, මේකෙ මදේ ඉන්නෙ නාගරික ධනවත් සහ ඉහළ මැද පාන්තික සමාජය​. ඔවුන් විවිධ ක්‍රම මගින් (සල්ලි, පාසැල්, ඉංග්‍රීසි) මදය ආරක්‍ෂා කරගෙන ඉන්නවා. ඒත් වාටියේ ඉන්න පහළ මැද පන්තිය සහ ලුම්පන් සමාජය මේ වැට කඩුළු බිඳගෙන මදයට පැන ගන්න ට්‍රයි කරනවා. මේ පහළ මැද පන්තියට නාගරික සහ ග්‍රාමීය දෙකෙන්ම ආපු අය අයිති වෙනවා. ඔවුන්ගේ ප්‍රධාන ආයුධය තමයි අධ්‍යාපනය​. වාටියෙනුත් එළියෙ ඉන්නෙ සිංහල​-බෞද්ධ​-ගැමි සමාජය​. ඔවුන්ට ආප්ප නෑ. ආප්ප කන්න ඕනෙ නම් ඔවුන් මුලින්ම වාටියට නැගගන්න ඕනෙ. ඒකට සිංහල-බෞද්ධ​-ගැමි මුල් සිඳගන්න ඕනෙ.

කූඹියෝ ෆෑන්ලා ඉන්නෙ වාටියෙ. ඔවුන්ගෙ ජීවිතයේ ප්‍රධාන අරමුණ තමයි මදයට පැන ගැනීම​. ඒත් මදයෙන් එල්ල වෙන ප්‍රතිරෝධය හමුවේ ඔවුන්ට ඒ සඳහා දැඩි අරගලයක යෙදෙන්න වෙලා තියෙනවා. ඒ අරගලය නිසා ඔවුන්ට ඊනියා පන්ති වෛරයක් තියෙනවා. මේකට ඊනියා පන්ති වෛරයක් කිව්වෙ මේක ඇත්තම පන්ති වෛරයක්. ඒ කියන්නෙ පන්තිය පිළිබඳ වෛරයක් නොවෙන නිසා. මෙතන තියෙන්නෙ තමාට ඒ පන්තියට ඇතුළුවීමට නොදීම පිළිබඳ වෛරයක්.

සමාජවාදය ගැන ඇති නොදැනුවත්කම නිසා බොහෝ දෙනා මේක හඳුනාගන්නෙ සමාජවාදී ලයින් එකක් විදිහට​. ඇත්තෙන්ම මේක සමාජවාදී ලයින් එකක් නෙවෙයි. පාදඩ ධනවාදයේ ආත්මීය ප්‍රකාශනයක්.

කූඹියෝ වීරයා වන ජෙහාන්ව විශ්ලේෂණය කළොත් මේක වතුර වගේ පැහැදිලියි. ජෙහාන් එන්නෙ ගැමි මූලයකින්. හැබැයි පියා මියයාමත් එක්ක ඔහු ඒ මුල් සිඳ ගන්නවා. ඊට පස්සෙ කොළඹ ඒමත් එක්ක ඔහු ආප්පේ වාටියට ඇතුළු වෙනවා. දැන් ඔහුට ධනය අවශ්‍යයි. ඒත් මදයට ඇතුළු වීමේදී ඔහුට එල්ලවෙන ප්‍රතිරෝධය නිසා ඔහු මදයට වෛර කරනවා. ඇත්තෙන්ම නිවැරදිව කිව්වොත් මදයට ඇතුළුවීමට නොදීම නිසා මදයේ ඉන්න එවුන්ට වෛර   කරනවා. ඔහුගේ ඒ වෛරය ප්‍රකාශ වෙන්නෙ සමාජ විරෝධී වැඩවලින්. ජෙහාන් කියන්නෙ සාමාන්‍ය තක්කඩියෙක්. ඒත් කූඹියෝ ෆෑන්ලට ඔහු වීරයෙක්. ඒ ඇයි? තමාට කරන්න බැරි මදයට එරෙහි සමාජ විරෝධී වැඩ ජෙහාන් හරහා කරවා ගැනීමේ ෆැන්ටසි ආතල් එකකින් ඔවුන් පෙලෙන නිසා.

මේ වාටියේ ජනතාව මතවාදීමය වශයෙන් අනාථ වුණ පිරිසක්. ඒ නිසාම ඔවුන්ගේ සමාජ දැක්ම හරසුන්. ඒ හරසුන් සමාජ දැක්ම තමයි ජෙහාන්ගෙ ටිපිටිප් ටෝක් වලින් ප්‍රකාශ වෙන්නෙ. හෙන ගැඹුරු, ඇහුනම අම්මට සිරි වෙලා යන ජෙහාන්ගෙ ටෝක් ටිපිටිප් වගේ. දිය වුණාම මොකුත් නෑ.

ජෙහාන් හෙවත් ආප්ප වාටිය දෙපැත්තෙ තියෙන සමාජ ස්ථර දෙක නියෝජනය කරන යාළුවො දෙන්නෙක් ජෙහාන්ට ඉන්නවා. ප්‍රියන්ත සහ ඇංජි. ජෙහාන් මේ දෙන්නවම දකින්නෙ අවඥාවෙන්. ප්‍රියන්ත ඔහුට අවංක මෝඩයෙක්. ඇංජි බෝරිං. ඒත් මේ දැක්මෙ තියෙන්නෙ තමාට අහිමි වුණ සහ ලබා ගන්න බැරි සමාජ පන්ති ගැන තියෙන මිදි තිත්තයි ෆීලිං එක මිස වෙන මොකවත් නෙවෙයි. ජෙහාන්ම කියන විදිහට මම කවුද​? මට නැතිවෙන්න මොකවත් නෑ. ඒත් නැති වෙන්න දේවල් තියෙන ප්‍රියන්තගේ සහ ඇංජිගේ සමාජ බැඳීම් දිහා ජෙහාන් බලන්නෙ අවඥාවෙන්. මාසෙකට දවස් දෙකක් ගමේ යන​, උදේ හවා ඉහළ සමාජයට ඇතුළුවීමේ හීන වලින් පෙළෙන පාදඩ ධනවාදයේ වාටියේ ජනතාවට ජෙහාන් වීරයෙක් වෙන එක පුදුමයක් ද​?

බැලූ බැල්මට කූඹියන්ට ළඟින් යන කතාවක් තමයි ධර්මසේන පතිරාජගෙ අහස් ගව්ව​. ඒත් දැවැන්ත වෙනසක් තියෙනවා. අහස් ගව්වෙ කලංසූරියගෙ චරිතය චිත්‍රපටයෙදි අනුකම්පාවට ලක්වණ චරිතයක්. ෆිල්ම් එක අවසන් වෙන්නෙ විජය කුමාරණතුංගගෙ චරිතය නගර සභාවේ කම්කරු රැකියාවක් ලබා ගැනීමෙන් සහ කලංසූරියගෙ චරිතය සමාජවාදී උද්ඝෝෂණයකට එකතු වීමෙන්. එතැන තියෙන්නෙ සමාජවාදී දැක්මක්. ඒත් ජෙහාන් කියන්නෙ ඊට වෙනස්. ඔහු ධනවාදයේ වාටියේ ඉඳගෙන මදයට ඇතුළුවීමේ ආශාවෙන් ඊට එරෙහිව කැරලි ගහන චරිතයක්. වීරයෙක්.

ඉතිං කූඹියෝ කියන්නෙ පාදඩ ධනවාදයේ වාටියේ ඉන්න එවුන්ගෙ ආත්මීය ප්‍රකාශනය​.

►පාදඩ අසපුව