2018 ජනවාරි 27 වන සෙනසුරාදා

ඡන්ද කාලේ ගම කෑම

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

මේ දිනවල රට පුරාම ඇත්තේ වියළි, සීත කාලගුණයකි. ඡන්ද උණුසුමවත් තිබුණා නම් යැයි සිතෙන්නේ එහෙයිනි. ඒකත් මේ පාර ඒ හැටි නැත. අපේක්ෂකයෝ නම්, තම මූණත්තහඩු අලවාගත්, සුඛෝපභෝගී රථවාහනවල නැඟී ඒ මේ අත සරති. වාසනාවකට හෝ අවාසනාවකට මෙන්, දන්නා හඳුනන එකෙක්වත් ඒ අතර නැත. ලොකු ලොක්කන් එන රැස්වීම් නම්, ලොකු ලොකු නගරවල පැවැත්වෙයි. ඒවාට එන සෙනඟ නම්, මේ රටේ මිනිස්සු නොවිය හැක. කඳ බඩ පමණක් තිබෙන මිනිසුන් වෙසෙන ලෝකයක් ද කොතැනක හෝ තිබේනම්, මේ එන්නේ, (ගෙන්වන්නේ) අන්න ඒ ලෝකවාසීන්ම විය යුතුය.

පොලිසියේ මහත්වරුන්ට නම් සිදුවී ඇත්තේ බලවත් අසාධාරණයකි. ඔවුන්ගේ පවුලේ කෙනෙකු හෝ ඥාතියකු මෙවර පුංචි ඡන්දයට ඉදිරිපත් වී ඇත්නම්, ස්ථාන මාරැවක්, තාවකාලිකව හෝ ලැබීම ෂුවර්ය. මේ ඡන්දය ඒ තරමටම පිරිසිදුය. අනවශ්‍ය බලපෑම් හෝ උදව් උපකාර කිරීම්වලට කිසිදු ඉඩක් නැත. සිල් රෙද්දක් ඇඳගෙන පාරේ යාම පවා අවදානම්ය.

පාක්ෂිකයෝ, හිටිතැන් අතහැර දමා පොහොට්ටුවට පනිති. පොහොට්ටුවෙන් අතට පනිති. අතින් අලියාට පනිති. තව තවත් තැන්වලටද පනිති. ඒ දකින අපි වගේ අයට මලපනිති!

සෑම උදෑසනකම පුවත්පත් බැලීමෙන් පසු, මා තුළ මෙවැනි අහිංසක පුරවැසි සිතිවිලි ඇතිවෙයි. මගේ අසල්වැසි, පෙරේරා මහතාගේ පැමිණීමෙන් ඊට මඳක් බාධාවුණත්, ඉන් මට කිසියම් වාසියක් ද වන නිසා ඉවසීමි. හීසරය ලියන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය මට ලබාදෙන්නේ මේ අසල්වැසියන් හා මඟතොටේදී හමුවන උදවියයි. ත්‍රීරෝද රියැදුරන් ද දේශපාලන විමර්ශනයෙහි දක්ෂයන් වුවත්, බොහෝවිට ඔවුන් නැවත ප්‍රචාරය කරන්නේ, ඊට මොහොතකට පෙර රථයෙන් බැසගිය මගියාගේ අදහස්ය. එහෙත්, එයින් ද පෙන්නුම් කරන්නේ, ත්‍රීරෝද රියැදුරන් ජනසන්නිවේදන උපාධිධාරීන් නොවුණත්, එම විෂය පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමකින් යුතු බවය.

පෙරේරා මහතා, මා ඉදිරියේ හිඳගත්තේ කනස්සලු මුහුණින් යුතුවය.

මොකද මිස්ට පෙරේරා, ඡන්ද කාඩ් ආවෙ නැද්ද?

ඒක මොන එහෙකටද... ඒ වුණාට, මෙදා පාර විදේශීය මැතිවරණ නිරීක්ෂකයොත් එන්නෙ නැති එකනම් ලොකු ප්‍රශ්නයක්.

දැන් ලංකාව සාමකාමී, සම්මුතිවාදී රටක් නිසා ඒගොල්ලො උනන්දුවක් නැතුව ඇති.

ඒ වුණත්, දැන් ඕකෙන් අපේ කට්ටිය අයුතු ප්‍රයෝජන ගන්ඩ බලයි.

නෑ. නෑ. නිරීක්ෂකයො නොඑන්ඩ තව කාරණයක් තියෙනවා. ඒගොල්ලො, අපේ මැතිවරණ කොමසාරිස් ගැනයි, පොලිස්පති ගැනයි විශ්වාසය තියල ඇති. ඒ මිනිස්සු හොඳ අවදියෙන් ඉන්නෙ, රට හිටියට.

මට නම් හිතු‍ණෙ, බදුල්ලේ විදුහල්පතිනියක් දණගැස්සුවය කියන ප්‍රවෘත්තිය දැකල නිරීක්ෂක මහත්තුරු ටික කළකිරුණද කියලා.

නෑ නෑ ඒක ඒගොල්ලන්ට අදාළ නෑනෙ. මැතිවරණ ක්‍රියාවලියෙන් බාහිර වැඩක්නෙ.

ඒ වුණාට ඒ මිනිස්සු බයවෙනවනෙ... අපි හිතමුකො, ඒ උදවිය ඡන්ද පොළකට යන වෙලාවක, කවුරුහරි මගෝඩිස් කෙනෙක් රෙද්ද උස්සන් ඇවිත් කියනවා, දණගහපියව් කියලා. ඉතින් බෑ කියන්ඩයැ!

මට සිනා පහළවන්නට ගියද, මම එය මැඩගෙන පෙරේරා අස්වැසීමට උත්සාහයක යෙදුණෙමි.

පිටරට මිනිස්සු එහෙම ලේසියෙන් දණගහන්නෙ නෑ මිස්ට පෙරේරා, නිරීක්ෂකයො හැටියට එන සමහරු ඒ රටවල හිටපු මැකෝලා. නීතිපතිලා, නඩුකාරයො. ඒ අය, රීරි යකාටවත් බය නෑ!

ඒකත් හැබෑව! ඒකට, මේ අපේ එවුන්. කිව්ව ගමන් දණගහනවා! ලණුවෙන් බඳින කල් බලන් ඉන්නවා. ඒ ඔක්කොමත් කරලා, කතිරෙ ගහපියව් කිව්වම ගහනවා! අම්මප මෙහෙමත් සිරිලංකාවක්. විජය කුමාරයා ආපු කාලෙක නම්, කුවේණිත් එපා කියල ආපහු නැව් නඟිනවා.

මට යළිත් සිනා යන්නට ආවේය. පෙරේරා මහතා, ඒ දැක රවා බැලුවේය.

මාතෘකාව වෙනස් පැත්තකට යොමුකළ යුතු බව මට දැනුණි.

මිස්ට පෙරේරා, කාලෙකට පස්සෙ ආයෙත් පික්පොකට් කතාවක් ඇවිස්සිල ආවා නේද?

අපිද පික්පොකට් ගහන්නෙ. ඒගොල්ලමනෙ. ඒකනෙ ගැට කැපීමේ ශිල්ප ක්‍රම හොඳට දන්නෙ. බජට් එකේ ඉඳලම කරන්නෙ අපේ පොකට් එකට ගැහිල්ලනෙ. හැබැයි, පොකට්කාරයො නම්, ඉඳහිට හරි අහුවෙලා සබ්බුව කනවා! මුන් අහුවෙන්නෙ නෑනෙ.

පෙරේරා, අත මිට ගුලිකරගෙන, උරහිස් දෙපසට පැද්දුවේ සාජන් නල්ලතම්බි සිහිපත් කරවමිනි. 

ඔයාට පුළුවන්නෙ පත්තරේට හොඳ ලිපියක් ලියන්ඩ. පෙරේරා මට යෝජනාව කළා පමණක් නොව, මාතෘකාවක් ද දුන්නේය.හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියලා. මම ඊට සාමාන්‍ය එකඟතාවක් දැක්වීමි. එහෙත් අනුන් කියන කියන දේ ලිවීම, බොහෝ පරිස්සමින් කළ යුතු බවද මම අත්දැකීමෙන් දනිමි. ඊට එක හේතුවක් වන්නේ බොහෝ දෙනාට, තමන් කියන දේ, දින සීයකින් පමණ අමතකව යාමය. එහෙත්, කරුමය වන්නේ ඒවා අපට මතක තිබීමය. ඒ ගැන ලියන්නට ගියහොත් පලදෙන්නෙ, දිට්ඨ ධම්ම වේදනීය කර්මයය!

පෙරේරා යළිත් කතා කළේ, මගේ නිහැඬියාවෙන් අනුබලයක් ලබමිනි.

මේ පාර ඡන්දෙන් පස්සෙ, යහපාලනේට මොකක්හරි වෙයිද?

අපි දෙදෙන, මොහොතක් එකිනෙකාගේ මුහුණු දෙස බලා සිටියෙමු.

ඇයි මිස්ට පෙරේරා, එහෙම අහන්නෙ? මහින්ද මහත්තයා ගේමක් දෙන්ඩද යන්නෙ?

නෑ නෑ, දැන් බලන්ඩ, ගිය ඡන්දෙදි එකට බදාගෙන හිටපු රනිල් මහත්තයයි, මෛත්‍රී මහත්තයයි මෙදා පාර, දෙපැත්ත හැරිලනෙ කතා කරන්නෙ. ඒ විතරක්යැ, අනංමනං ඇනුම්පදත් කියනවනෙ. මරික්කාර් උන්නැහේටත් තදවුණේ ඒකනෙ.

නෑ මිස්ට පෙරේරා, ඒකට තමයි සම්මුතිවාදය කියන්නෙ. දින්නට පස්සෙ ආයෙත් බදාගන්නවා. රනිල් මහත්තය මෛත්‍රී මහත්තයට හරි ආදරෙයි.

පෙරේරා, හිස සලමින් නිහඬ විය. ඒ මොහොතේ, ප්‍රාදේශීය සභාවට ඡන්දය ඉල්ලන මැරූටි පෙනුමැති තරුණයෙක් සිය සහචරයන් ද සමඟ, අත්පත්‍රිකා බෙදමින් යන අතර අප නිවසට ද ගොඩවිය.

අන්කල්, අපි ගමට වැඩක් දෙන්ඩයි යන්නෙ. අපිට ඡන්දයක් දෙන්ඩ හරිද ආ...?

ගම කිව්වෙ, තුම්පනේද? පෙරේරා මැද්දට පැන්නේය. වාසනාවකට මෙන්, ඒ අපේක්ෂකයා තුම්පනේ කතාව දැන සිටියේ නැත.

නෑ. නෑ. මේ අපේ ගම. මේ උපන් ගම. එසේ කියමින් පත්‍රිකාවක් දුන් ඔහු පිටව ගියේය. පසුව, එම අත්පත්‍රිකාව කියැවූ මට එහි තිබූ ව්‍යාකරණ දෝෂ 125ක්ද, මුද්‍රණ දෝෂ 198ක්ද හසුවුණි. ඒ බාලයා, යැවිය යුත්තේ ප්‍රාදේශීය සභාවට නොව, ....... සර්ගේ, සිංහල පන්තියටය!

එදිනම සවස, අපට ආරංචි වූයේ ප්‍රසිද්ධ මන්ත්‍රීවරයකු, ඡන්ද නීති කැඩීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති බවකි. ඔහු කර ඇති වරද, කොල්ලුපිටිය පැත්තේ රෑ කඩයකින් ආප්ප කකා සිටීමය.

මේ ඡන්ද කාලේ, කෑම බීම ගැන පවා, පරිස්සම් විය යුතුය. නැත්නම් සිදුවන්නේ, ගම කෑමටය!

►කපිල කුමාර කාලිංග