පානදුර නගරයේ නාගරික උද්‍යානයේ සිටවා තිබූ කොස් ගස් දෙකක් ඇතුළු ගස් කිහිපයක් පසුගිය දිනක ඩෝසර් යන්ත්‍ර යොදා ගලවා ඉවත් කර තිබුණි. මේ සම්බන්ධව එම ප්‍රදේශයේ ගම්වාසීහු විවිධ චෝදනා කළහ. “කොස් මාමා” නමින් ප්‍රචලිත වූ ආතර් වී. දියෙස් මහතාගේ නමින් පානදුර නගරය මධ්‍යයේ පිහිටා තිබූ නාගරික උද්‍යානයේ සිටුවා තිබූ කොස් ගස් දෙකක් ද මේ අතරේ තිබීම ඊට හේතුවය.
ඔය ගස් කපලා ඒවාවල වටිනා ලීවලින් ලී බඩු හදන්න අරගෙන ගියා. ඔතන ලොකු කොස් ගස් තිබුණා. තව කොහොඹ ගස් තිබුණා. කෝටි ගාණක් වටිනා ලී කඳන් කරලා අරගෙන ගියා. ඇත්තටම මේක හරිම අපරාධයක්.
නල්ලුරුව ගම්වාසීන් දැක්වූයේ එවන් අදහසකි. ඔවුන් පැවසුවේ මේ සම්බන්ධව අදාළ නිලධාරින් තම මුණිවත රකින බවය.
මේ සම්බන්ධව ව්‍යාපෘතිය බාරව කටයුතු කරන ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඉංජිනේරු සහකාර ප්‍රසන්ත මහතා මෙසේ තම අදහස දැක්වීය.
“මෙම කොස්ගස්වල වට අඩි දෙකයි. එහි වටිනාකමක් නෑ. කොස් ගස්වලින් ගෙඩි වැටෙන නිසා ඒවා ගලවා ඉවත් කරන්න කියලා අපිට උපදෙස් ලැබුණා. මේ ගස් කපාගන්න කවුරු හරි ඉන්නවා ද කියලා බැලුවා. ඒ අයට ගසුත් දීලා සල්ලිත් දෙන්න ඕනෑ වුණා. මේ ඉවත් කරන කොස් ගස් සියල්ල අපි මෝදර අපේ වැඩ බිමට දානවා. කිසිදු වංචාවක් මේකෙන් වෙන්නේ නෑ. ඇත්තටම මේක වැරදි ආරංචියක්.
ගම්වාසීන් මෙම කටයුත්තට විරුද්ධ වීමට ප්‍රධාන හේතුව වූයේ කොස් මාමා ලෙසින් හැඳින්වූ ආතර් ඩී. දියෙස් මහතා සිහිවීමට තිබූ කොස් ගස් දෙකක් ද මෙම යන්ත්‍ර මඟින් ඉවත් කර තිබූ හේතුවෙනි.
කොස් මාමා නමින් හැඳින් වූ ආතර් වී. දියෙස් එවකට පානදුරවාදයේ පුරෝගාමියකුව සිටි ජෙරමියස් දියස් මහතා සහ සෙලෙස්තිනා රුද්‍රිගු මහත්මියට දාව 1886 පෙබරවාරි 1වැනිදා උපත ලැබීය. ආතර් වින්සන්ට් දියෙස් නමින් නම් තැබූ දියෙස් පවුලේ අලුත් සාමාජිකයා පානදුර ශාන්ත ජෝන්ස් විදුහලෙන් ද පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද මූලික අධ්‍යාපනය ලැබීය. ඉංග්‍රීසි දැනුම පාසල තුළින් උපරිමයෙන් ලැබුව ද ආතර් වී. දියෙස් කිසිවිටකත් සිංහලකම, ගැමිකම, අපේකම අමතක නොකළේය. බුද්ධාගම, සිංහල භාෂාවට ඇළුම් කළේය. තරුණ අවදියේ සිටම ඔහු මස් මාංශ ආහාරය තම ජීවිතයෙන් අතහැරියේය. සත්ත්ව ඝාතනයට ඔහු සම්පූර්ණයෙන්ම විරුද්ධ විය.
බෞද්ධකමට ආදරය කළ ආතර් වී. දියෙස් 1902 වසරේ දී පානදුර බෞද්ධ සංගමය පිහිටු වීමට පුරෝගාමී විය. එපමණක්ම නොව රන්කොත් විහාරයේ රිවිදින දහම් පාසල ආරම්භ කර එහි කටයුතු කළේය. අනගාරික ධර්මපාලතුමාගේ දේශනාවලට හිත යොමු කළ ආතර් වී. දියෙස් තරුණයා එතුමාගේ අඩි පාරේ යමින් ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, වලිසිංහ හරිස්චන්ද්‍ර වැනි ජාති හිතෛෂීන් සමඟ එක්ව බොහෝ සමාජ සේවා කටයුතුවල නිරත විය.
තම පියාගේ රේන්ද ව්‍යාපාරයට තරුණ ආතර් වී. දියෙස් විරුද්ධ විය. ඔහු අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කිරීමට පුරෝගාමී විය. ඒ අතර මත්පැන් විරෝධී දේශන, මත්පැන් විරෝධී ප්‍රචාරක වැඩකටයුතු බොහෝමයක් ඔහුගේ මූලිකත්වයෙන් රට පුරා ව්‍යාප්ත කෙරිණි. 1927 නොවැම්බර් මස මහත්මා ගාන්ධිතුමා පානදුරට පැමිණ ආතර් වී. දියෙස් මහතාගේ ව්‍යාපාරය පිළිබඳව පැහැදුණේය. එකල අමද්‍යප ව්‍යාපාරයේ පියා ලෙසින් ද ආතර් වී. දියෙස්ව හඳුන්වනු ලැබීය.
නිදහස් සටනේ පුරෝගාමීන් හා එක්ව ආතර් වී. දියෙස් මහතා විශාල සේවයක් කළේය. තමන් සතුව පැවැති බොහෝ ධනස්කන්ධයක් ද ඔහු මේ නිදහස් සටන් ව්‍යාපාරය වෙනුවෙන් වැය කළේය. නමුත් නිදහස ලබාගත් පසුව වැඩකටයුතු කෙරීගෙන යන ආකාරය පිළිබඳව ආතර් වී. දියෙස් තුළ එතරම් පැහැදීමක් නොතිබුණි. සිංහලකමට සංස්කෘතියට ගරැ කළ ආතර් නිදහස ලැබීමෙන් පසුව එම සටනෙන් ඉවත් විය. ඒ සම්බන්ධව තම ලෙයින් ලිපියක් ලියා ඔහු තම හිතමිත්‍ර ඩී.එස්. සේනානායක මහතාට බාර කළේය.
නිදහස ලැබීමෙන් නිදහස් පහන අගමැතිතුමාට බාර දුන් පානදුර තම නිවස ඉදිරිපිට ආතර් වී. දියෙස් මහතා කොඩි හතරක් දැම්මේය. ඒ අනුව ඔහු දැමූ සිංහ කොඩියෙන් සිංහල ජාතිය දැක්වීමටත්, බෞද්ධ කොඩිය බෞද්ධයන් හැඳීන්වීමටත්, ඔහු කොඩි එසවීය. ඊට අමතරව තම නිවස ඉදිරිපිට එසවූ කළු කොඩියෙන් ලබාගත් නිදහස වැඩක් නැතැයි. යනුවෙන් ද සුදු කොඩියෙන් සාමය අගයන බවද පෙන්වීමට ඔහු මෙසේ කොඩි එසවීය. බොහෝ අය මෙය රාජද්‍රෝහී කටයුත්තක් සේ සැලකුව ද ආතර් වී. දියෙස් තම හදවතට එකඟව කටයුතු කරන්නේ යැයි හොඳාකරවම දැන සිටි ඩී.එස්. සේනානායක අගමැතිතුමා කිසිවක් නොකොට නිශ්ශබ්ද විය. කෙසේ වුවද ඩී.එස්. සේනානායක මහතා සහ ආතර් ඩී. දියෙස් මහතා කලක පටන් හොඳ යහළුවන් වූ නමුත් ඔවුන්ගේ දේශපාලන අදහස් එකිනෙකට වෙනස් විය.
ආතර් වී. දියෙස් බොහෝ දෙනා හැඳින්වූයේ කොස් මාමා නමිනි. මෑතක් වනතුරුම පානදුර නගර මධ්‍යයේ නාගරික උද්‍යානයේ සිටවා තිබූ කොස් ගස් ද කොස් මාමා සිහිවීමට තිබූ තවත් සිහිවටනක් විය. නමුත් නාගරික ලොරි රථ රියදුරන් මැසිවිලි නගන්නේ එක්තරා රාත්‍රියක ගස් රථ චේන් කියත් යොදා කපා ඇති බවයි.
ආතර් වී. දියෙස් මහතා කොස් මාමා ලෙසින් ප්‍රචලිත වීමට හේතු වූයේ එක්තරා සිදුවීමක් හේතුවෙනි. ඔහු දිනක් තම නිවෙසේ හාන්සි පුටුවේ දිගඇදී සිටිනා විට කරත්ත පේළියක් තම පාර දිගේ හෙමි හෙමීහිට යන අයුරු දුටුවේය. එම කරත්ත සියල්ලෙහිම කොස් කඳන් ගොඩ ගැසී තිබුණි. මේ සිදුවීමෙන් ඔහු මහත් කම්පාවට පත්විය.
ගහක් ලොකු වෙන්න කොච්චර කල් ගතවෙනවාද... ගහකින් කොච්චර සේවයක් සිදුවෙනවා ද...? ඒත්... එක මොහොතකින් ගහ විනාශ කරනවා... ඇත්තටම මේක අපරාධයක්. යැයි ඔහු දැඩිසේ කම්පාවට පත්විය. කොස් ගසක ප්‍රයෝජනය නොදත් අමන මිනිසුන් ගැන ආතර් මහතා තුළ අපැහැදීමක් ඇතිවිය. මේ නිසා කොස් ගස් ආරක්ෂා කරගැනීමට ඔහු කල්පනා කළේය. අවසානයේ දී ඔහු එක්තරා අධිෂ්ඨානයකට ආවේය. එය සිතුවිල්ලක් පමණක්ම නොකොට ආතර් මහතා එය ක්‍රියාවට නංවාලීය.
ඔහු කොස් ගස් සිටුවීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. වචනයෙන් මෙන්ම ඔහු ක්‍රියාවෙන්ද ආදර්ශමත් පුද්ගලයෙක් විය. තම ගෙවත්තේ කොස් පැළ සිටුවීම ඔහු ඇරඹීය. ඒ විතරක්ම නොවේ. අඩු කාලයකින් ඵලදාව ලබාගත හැකි කොස් වර්ගයක් ඇති බවට කොස් මාමා ට ආරංචි විය. ඔහු එයින් කොස් ඇට ලබාගෙන රට පුරා ව්‍යාප්ත කළේය. පානදුර නගරයෙන් නොනැවතී කළුතර දිසාවේ සෑම ගමකට ව්‍යාප්ත කළේය. කොස් වගාව ව්‍යාප්ත කරවීම සඳහා පාසල් දරු දැරියන් සහ ගම්මුලාදෑනීවරුන් සහ වෙනත් ආයතනවල ද සහාය ලබාගත්තේය. ඔහු පන්සල්වලට ගොස් කොස් පැළ බෙදා දුන්නේය. මේ හේතුවෙන් සමහරු ඔහු ජැක් ඔබය ලෙසින් හැඳින්වූහ.
මෙවන් අනුපමේය සේවයක් කළ කොස් මාමා දරුවන් නවදෙනකුගේ පියෙකි. ඔහු ග්‍රේස් සල්ගාදු හා විවාහ විය. තම දියණියකගේ මංගල සාදයක දී සිංහල කෑම වට්ටෝරුවක් හඳුන්වා දුන් කොස් මාමා කොස් ඇටවලින් කට්ලට්, පැටිස් සාදා ඥාතීන්ට සංග්‍රහ කළේය. එපමණක්ම නොව එවකට ගමේ හිතවතුන්ගේ විවාහ උත්සවවලදී කොස් මාමා මනාල යුවළට කොස් ඇට පාර්සලයක් තෑගි කිරීමට ද අමතක නොකළේය.
වයස අවුරුදු හැත්තෑහතරක් ආයු වළඳා කොස් මාමා 1960 ජූලි මාස 31 වැනිදා මෙලොවෙන් සමුගත්තේය. නමුත් අද ද කොස් මාමා ලොකු කුඩා කා අතරත් කොස් මාමා නමින් ජීවමානව සිටී.
“ඔය උද්‍යානය “ආතර් වී. දියෙස් නමින් ළමා උද්‍යානයක් හදන්නයි ඉන්නේ... ඒ වුණාට ඊට කලින් කොස් ගස් ටික කපලා දැම්මා... ගම්වාසීහු මැසිවිලි නඟිති. කෙසේ වුවද ගම්වාසීන් පවසන පරිදි අවසානයේ දී කොස් මාමා නමින් ඉදිකිරීමට තිබූ උද්‍යානයේ තිබූ කොස් ගස් දෙක උද්‍යානයෙන් ඉවත් කර තිබේ.
► දිශානි ජයමාලි කරුණාරත්න
පසුබිම් වාර්තා සහ සේයාරූ - පානදුර සමන් කාරියවසම්