2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ජය කාටද?

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 357

එ.ජා.ප.යට ලොකු ජයක්!

කුතුහලය මනුෂ්‍යයාට උපතින්ම ලැබී ඇති දායාදයකි. ශ්‍රී ලංකාව පුරා දැනට මැතිවරණ උණුසුම පැතිරෙමින් පවතී. විවිධ අය විවිධ දෘෂ්ටි කෝණවලින් බලමින් ජය ලබන අය පිළිබඳව ප්‍රකාශ කරති.

ජ්‍යොතිර්වේදියා ද තම ජ්‍යොතිෂ දැනුම උරගා බලන්නට ක්‍රියා කරයි. ජ්‍යොතිෂයට පක්ෂ - පාට පුද්ගල හැඳුනුම් අදාල නැත. පක්ෂවල ආරම්භක මොහොතේ යෙදුණු තත්කාල කේන්ද්‍රය ද පක්ෂ නායකයින්ගේ ඡන්ම පත්‍ර ද පක්ෂයක ජයග්‍රහණය සඳහා ප්‍රබල ලෙසම බලපායි.

ඡන්දය ඉල්ලන්නේ මනුෂ්‍යයෝය. ඡන්දය දෙන්නේ ද මනුෂ්‍යයෝය. නමුත් මැතිවරණ ජයග්‍රහණය මෙන්ම තනතුරු තානාන්තර ගෙන දෙන්නේ නම් ග්‍රහ බලවේගය නමැති සර්ව බලධාරියාය.

1946.09.06 වෙනිදා ප.ව. 5.00ට කොළඹදී පැවැත් වූ මංගල රැස්වීමෙන් එ.ජා.ප.ය බිහි විය. 2018.02.10 වෙනිදා ග්‍රහ ගෝචරය ලංකාවේ දේශපාලන පක්ෂ කේන්ද්‍ර අතරින් එ.ජා.ප. කේන්ද්‍රය වටා සුවිශේෂී බලයක් ඒකරාශී කරන ග්‍රහ තෝතැන්නක් බවට පත්කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ නායකයින් යටපත් කරනු ලබන ග්‍රහ බලයක් 1949.03.24 වෙනි දින උපත ලබා සිටින රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ජන්ම පත්‍රය වටා ඒකරාශී වී පවතී.

අංක: 01 දරන රූප සටහන - එ.ජා.ප. නායක ඡන්ම සටහන

අංක : 02 දරන රූප සටහන - එ.ජා.ප. ආරම්භක දින ග්‍රහ සටහන

අංක : 03 දරණ රූප සටහන - මැතිවරණ දින ග්‍රහ සටහන

පක්ෂ උපතට මෙන්ම පක්ෂ නායක උපතට මැතිවරණ දිනයේ දී පවතින ග්‍රහ ගමන ආරෝපණය කිරීම තුළින් එ.ජා.පෙරමුණෙහි ජය තහවුරු වීම වළක්වන්නට පෘතග්ජන මනුෂ්‍යයින්ට පුළුවන්කමක් නොමැති බව නිරීක්ෂණය වන්නේය.

මෙම පළාත් සභා මැතිවරණයේ දී දිවයින පුරා පැවැත්වෙන ග්‍රහ ශක්තිය මගින් දොර විවර කොට ඇත්තේ එ.ජා. පෙරමුණෙහි ශක්තිය නැවත වතාවක් උද්දීපනය කරන්නට බව පෙනේ. මීට පෙර එම ශක්තිය ප්‍රසාරණයවූයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බලය හයෙන් පහක් ලෙස ලබාගත් 1977 දීය.

මීට පෙර 1956 – 1960 – 1965 – 1970 – 1977 – 1994 – 2005 – 2010 – 2015 යන වර්ෂවලදී ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත් වූ අතර ඒවායේ දී ක්‍රියාත්මක වූ ග්‍රහ ගමන අපගේ අනාවැකිය සඳහා දොරටු විවර කර දී ඇත.

2018.02.10 වෙනි දින පැවැත්වෙන සමස්ත දිවයිනම ආවරණය වන මෙම පුංචි ඡන්දයේ දී ඡන්දය භාවිත කරන කෝටි එකහමාරක ඡන්ද ප්‍රමාණයෙන් වලංගු ඡන්දවලින් සීයයට පනස් එකකට අධික ප්‍රමාණයක් එක්සත් ජාතික පෙරමුණට ලබාදීමට විශ්ව ග්‍රහ බලය දැනටමත් තීන්දු කර හමාර බව පෙනේ.

මැතිවරණ ජයග්‍රහණය පැවසෙන ජ්‍යොතිෂ සිද්ධාන්ත දැනුවත් කිරීමේ ලිපි මීට පෙර අප විසින් මුද්‍රිත මාධ්‍ය මගින් පළකිරීම නිසා දැනටමත් අප වෙතට ඉදිරිපත් කර ඇති ඡන්ම පත්‍ර අතුරින් දිවයින පුරා විසිරී සිටින ඡන්ද අපේක්ෂකයින් ගෙන් 1500කට අධික ප්‍රමාණයක් එක්සත් ජාතික පෙරමුණෙන් ජය ලබන බවට ජ්‍යොතිෂ පර්යේෂණ හරහා අප නිරීක්ෂණය කර ඇත.

කොමියුනිස්ට් පක්ෂය - සම සමාජ පක්ෂය - ජනතා විමුක්ති පෙරමුණ - කොපමණ පැරණි ද? ග්‍රහ බලය විසින් ශ්‍රී ලංකාවේ පාලන බලය ඔවුන්ට ලබා දුන්නාද? නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විසි වසරක පමණ පාලන කාලයක් ලබා දීමට ග්‍රහ බලය වරක් තීන්දු කළේය. ඒ නිසා එ.ජා.ප. දෙකඩ කරන්නට ඒ ග්‍රහ බලය ක්‍රියා කළේය.

2015 දී සිට ඉදිරි වසර 20ක් පාලන බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දීමට ග්‍රහ බලය තීන්දු කර ඇති බව කිව යුතුයි. අංක 3 දරණ එ.ජා.ප. උප්පත්ති ග්‍රහ සටහන අනුව එහි ප්‍රබල අභියෝගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. තනි පක්ෂයක් ලෙස හිස ඔසවන්නට බැරි ලෙස ග්‍රහ බලය විසින් එය දෙකඩ කර හමාරය.

පුංචි පාර්ලිමේන්තු බලය තහවුරු කිරීම පමණක් නොව අනාගත එ.ජා.පෙරමුණ ජනාධිපතිවරයා තෝරා පත්කරන ඉලක්කය සපුරන එ.ජා. පෙරමුණේ විජයග්‍රහණය සනිටුහන් කරන මැතිවරණයක් 2018 දී ප්‍රාදූර්භූත වී ඇත.

විශ්ව කීර්ති, ජ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත, ශිරෝමනී
ගාල්ලේ, තලගල, අක්මීමණ 
සුරා ශ්‍රී ගුණවර්ධන 

පොහොට්ටුව දිනනවා!

රවි ග්‍රහයා ප්‍රධානකොට බුධ සිකුරු සඳු රාහු කේතු හා කුජ යන අභ්‍යන්තර ග්‍රහයින් පෘථිවියෙහි වෙසෙන සියලුම ජීවීන්ගේ අසීමිත ආශාවන් සන්තර්පණය කරන්නටත් ඒවා දුර්වල කරන්නටත් දායකත්වය සපයයි. එහෙත් බාහිර ග්‍රහයින් වන ගුරු හා සෙනසුරු යන ග්‍රහයින් පෘථිවියෙහි වෙසෙන මනසක් සහිත බුද්ධිමත් මිනිසා වෙනුවෙන් විශාල දායකත්වයක් සපයන ග්‍රහයින් දෙදෙනෙකි. මිනිසාගේ නිර්මාණශීලීත්වය, ප්‍රඥාව හා තම ශරීරය අසීමිත ආසාවන්ගෙන් පිනවීමේ ක්‍රියාවලියේදී එහි සදාචාරාත්මක බව හා නොවන බව සකසා ගන්නේද මිනිසුන් විසින්මය. එහෙයින් මිනිසාගේ යහපත් පැවැත්ම වෙනුවෙන් නොයෙක් ආකාරයේ සංවිධාන, එකමුතු, දේශපාලන පක්ෂ, නීති, මැතිවරණ, ආණ්ඩු, පළාත් සභා, ප්‍රාදේශීය සභා, පාර්ලිමේන්තුව මේ ආදී සෑම ආයතනයක්ම පිහිටුවා ගැනීම මිනිසුන්ගේ වගකීමය. ඔවුහු නොයෙක් රටවල්, ශිෂ්ටාචාර, සංස්කෘති, භාෂා නානාවිධ ස්වරෑපයෙන් පවත්වාගෙන යති. එසේම සූර්යයා, ගුරු, සෙනසුරු ප්‍රධානව අනිකුත් ග්‍රහයන්ගේ දායකත්වයත් සමඟ මෙහි වෙසෙන මිනිසුන්ගේ ක්‍රියාකාරකම්වලට බලපෑමක් ඇති කරන්නට සමත් වෙති. 

මැතිවරණයක් යනු මිනිසුන් විසින් සම්මත කරගත් දින වකවානුවල රට පාලනය කිරීම සඳහා බහුතර ජනතාවගේ කැමැත්ත උරගා බලන තරගයකි. කෙසේ වෙතත් මැතිවරණයක් ග්‍රහයන්ගේ බලපෑම මත පවත්වන්නක් නොවන බව අවබෝධ කරගත යුතුයි. පෙබරවාරි මාසයේ පවත්වන්නේ පළාත් පාලන මැතිවරණයේ අරමුණ වන්නේ ගම හදන්නට දක්ෂ උගත් බුද්ධිමත් පිරිසක් දේශපාලන පක්ෂ විසින් රටට හඳුන්වාදී ඔවුනට ජනතාවගේ කැමැත්ත කොතරම්ද? කවුරුන්ද සුදුසු යන්න හඳුනා ගැනීමයි. කුමන තරාතිරමක අය කුමන පක්ෂයකින් ඉදිරිපත් වුවත් එම අපේක්ෂකයාට ජනතාව දක්වන පිළිගැනීම මෙන්ම ඉහළ තනතුරකට පත්වන්නට ඔහුට මේ කාලයේ කොතරම් බලයක් ලබා ගැනීමට හැකි දැයි ඔහුගේ ජන්ම පතින් ද කිසියම් ඉඟියක් ලබා ගැනීමට හැකියාව ඇත. මෙහිදී ප්‍රධාන පක්ෂවලට අයත් නායකයින් කිහිප දෙනකුගේ ජන්ම පත්‍ර ඇසුරින් වඩා බලවත් වන්නේ කවුරුන්ද යන වගට යම් ඉඟියක් දැනගන්නට ජෝතිෂ්‍යයෙන් හැකිවෙයි.

මෙම මැතිවරණය ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වුවහොත් පොහොට්ටුව ලකුණේ බලවතා ලෙස දැනට මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන කණ්ඩායමට සුවිශේෂ ජයක් අත්කර ගත හැකි බව පෙනෙන්නට තිබේ. ජනතා බලය පොහොට්ටුව දෙසට ගමන් කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. 

මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රයේ මේ වනවිට ගුරුගේ මහ දශාවේ සිකුරුගේ අන්තර් දශාව පවතී. සිකුරු රාජයෝග කාරක වේ. ඔහු වටා එක්රොක් වන ජනතා බලවේගය අති විශාල බව කිව යුතු වන්නේ මහ දශා අධිපති ගුරු ග්‍රහයා උපන් කේන්ද්‍රයේ බලවත් සිකුරු තැන්පත් රාශියේ ගමනක යෙදීමයි. පැවැත්ම සඳහා සියලු දේ ලබා දෙන කාලයකි. මෛත්‍රීපාල හා රනිල් යන මහත්වරැන් අභිබවා ජනතා ආකර්ෂණය ලබා ගනී.

මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම 2017 අගෝස්තු 21 වැනි දින සිට ශක්තිමත්ව පවතී. එයට ලැබෙන බලය වර්ධනය වෙයි. එහෙත් එතුමා කොතරම් බලගතු වුවද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට සිදුවන බව තාජික හා ජයමිණි ජ්‍යොතිෂ්‍යයට අනුව පැහැදිලි වේ. එතුමාගේ පැවැත්ම සඳහා නිහඬ වන්නට සිදුවන බව බන්ධන, කාර්ය සිද්ධි, පුන්‍ය, රජ යන සහගමයන්ගෙන් මනාව පැහැදිලි වේ. 

හිටපු මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම පත්‍රය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම පතට අනුව 2018 ජනවාරි සිට රාහුගේ අන්තර් දශාව ඉතාමත් බලවත් බවක් පෙන්වයි. මට ලැබී ඇති එතුමාගේ උපන් වෙලාවට අනුව ජනවාරි 16 වැනිදා සිට එතුමාගේ බලය වැඩිවන බවක් පෙනෙන්නට තිබේ. යෝග කාරක සෙනසුරුගේ රාශියක හා ත්‍රිකෝණ බලයකත් වර්ගෝත්තම බලයකින් ද තැන්පත්ව ඇති රාහු ග්‍රහයා මේ වනවිට 10 වැන්නේ ගමන් කරමින් සිටීම නිසා එතුමාගේ රාජ යෝග බලය ජනවාරි 16 සිට සක්‍රිය වන්නට පටන්ගෙන ඇත. තවද එතුමාගේ මහ දශා අධිපතියා සෙනසුරු වන අතර එම ග්‍රහයා උපන් කේන්දරයේ සූර්යයාගේ රශ්මි මණ්ඩලය තුළ සූර්යයාට ත්‍රිකෝණ ගතව 3 වැන්නේ ගමනක යෙදීම තවදුරටත් බලවත් වී ප්‍රබල ලෙස නැගී සිටීමට හැකිවනු ඇත. “ජයමිණි” ජෝතිෂ්‍ය ක්‍රමයට අනුව සිංහ හා කුම්භ චර දශාවන් ගෙවන මෙම කාල පරිච්ඡේදය තුළ සිංහ අධිපති 4 වැන්නේ ගෝචරව සිටිමින් උපන් කේන්දරයේ රවිට දෘෂ්ටි දීමත් කුම්භ අධිපති සෙනසුරැ 3 වැන්නේ ගෝචරය කරමින් උපන් කේන්දරයේ සෙනසුරුට දෘෂ්ටි දීමත් එතුමා බොහෝ සක්‍රීය හා ආකර්ෂණයට ලක්වීමට ග්‍රහචාරය පොළඹවයි. එහෙත් යම් අවස්ථාවල අසහනකාරී හා වෙහෙසකාරී බවක් පෙන්වයි..

රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්දරයට අනුව එතුමාට හිතකර නොවන තත්ත්වයක් උදාවී ඇති බව කිව යුතුයි. උපන් කේන්දරයේ රාජ්‍ය කාරක රවි ග්‍රහයා ගෝචර සෙනසුරැට දෘෂ්ටියක් දීම මෛත්‍රීපාල සහ මහින්ද මහතුන්ගේ බලයට වඩා ඉතා අඩු බලයක් පෙන්වයි. රාහු සහ කේතු තැන්පත් භාව අධිපතියන්ගේ සංයෝගය තුළ රාහු අන්තරය ගෙවූ කාලයේ වෙනත් අයකුගේ බලය හරහා බලවත් වූ එතුමාගේ බලය මේ වනවිට අහිමි වී යමින් ඇති බවක් පෙන්වයි.

ඉහත සඳහන් කළ තිදෙනාම මෙම පළාත් පාලන මැතිවරණයට සෘජුව සම්බන්ධ නැති මුත් තිදෙනාගෙන් වඩාත් ප්‍රබල ලෙස බලවත් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බව පෙනුනත් පරිසරයේ පවතින බලය අනුව මහින්ද මහතාව නිහඬ කරන්නට තරම් බලයක් සිරිසේන මහතාට ඇති බව පෙනෙන්නට තිබේ.

ඉදිරියේදී පවතින ග්‍රහ බලපෑම හරහා මහා දේශපාලන අර්බුදයක් ඇතිවන බවක් ද පෙනෙන්නට තිබේ. කිසිඳු ජනතා සහයෝගයක් නැතිව පාර්ලිමේන්තුවට යා හැකි දේශපාලන ක්‍රමවේදයක් නිර්මාණය කරගත් ලාංකික දේශපාලන ක්‍රමය තුළ පවතින ග්‍රහචාරය හා පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ ලබාගන්නා ඡන්ද ගණනෙහි බල තුළනය පාලනය කරන්නට ජනාධිපති සිරිසේන මහතාට  පැවරෙන කාර්යයක් බව පෙනෙන්නට තිබේ. අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ මෙම මැතිවරණය ආණ්ඩු පෙරලියක් නොවුණ ද එවැනි තත්ත්වයක් උදාකරගන්නවානම් එය ජනාධිපතිගේ තීරණය මත සිදුවිය හැකි බවය.

ජ්‍යොතිෂ විඥාණාචාර්ය සාමවිනිසුරු වෛද්‍ය ඩබ්ලිව්. තිලක් ද සිල්වා.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00