රිච්මන්ඩ්කන්ද පාර පැලවත්ත ප්‍රදේශය ජනාකීර්ණය. මඟ දෙපස මාර්ගයේ නිවෙස්වලින් තොර ස්ථානයක් නොමැති තරමය. අතුරු පාර හා මංසන්ධි තරුණ ගැටවුන්ගෙන් පිරී පවතී. අසල්වැසි නිවාස දෙකක තරුණයන් දෙන්නෙක් හොඳම මිතුරෝ වූහ. බොහෝ විට එකට කල්ගෙවන දෙන්නා වඩාත් ළෙන්ගතුය. මොවුන් දෙදෙනා ගමේ බාල පිරිමි ළමුන් වෙත දැක්වූයේ පුදුම උනන්දුවකි.
මේ වටපිටාව තුළදී බාලවයස්කාර පාසල් සිසුන් දෙදෙනකුට අතවර කර එය ජංගම දුරකථනයේ වීඩියෝ තාක්ෂණයෙන් පටිගත කර විදෙස්ගතව සිටි ලාංකික පුද්ගලයකු වෙත යැවීම සම්බන්ධයෙන් රිච්මන්ඩ්කන්ද පාරේ තරුණයන් දෙදෙනෙක් ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණය වෙත යොමුකරනු ලැබූහ. මෙම සැකකාර තරුණයන් දෙන්නා ද්විත්ියීක ලිංගික ලක්ෂණ සහිත වූවන් නිසා ඔවුන් කරාපිටිය වෛද්‍ය පීඨයේ විශේෂ ඒකකය වෙත ඉදිරිපත් කර වැඩිදුර වාර්තාවක් ලබාගන්නා ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය නියෝග කළාය.
මෙම සැකකාර ද්විතියීක ලිංගික ලක්ෂණ සහිත තරුණයන් දෙදෙනාට එරෙහිව ගාල්ල පොලීසියේ පැමිණිලි දෙකක් සටහන්ව ඇති අතර අදාළ සිදුවීම් දෙක සිදුකර ඇත්තේ ඉකුත් වසරේ සැප්තැම්බර් හා නොවැම්බර් මාසවලදී බව සඳහන් වේ. එම නඩුවේ පැමිණිල්ල හා විත්තිය දෙපාර්ශ්වයේ සිව්දෙනාම මුස්ලිම් ජාතිකයන් බව වාර්තා වේ. සැකකාර තරුණයන් දෙදෙනා වයස අවුරුදු 25 සහ 26 වයසේ පසුවන්නෝ වෙති. ඔවුන් දෙන්නා කීපවතාවක් විදෙස්ගතව සිට පැමිණ ඇත. එසේ පැමිණෙන විට ටොෆි චොකලට් ඇතුළු පැණිරස කැවිලි රාශියක් රැගෙන එන්නට අමතක නොකරන බව කියති. විටින් විට මේ අය එම විදේශ රසකැවිලි වර්ග ගමේ පාසල් වයසේ පසුවන පිරිමි දරුවන්ට ලබාදෙති. ඊට රුචිවන දරුවෝ ඉහත තරුණයන්ගේ ආශ්‍රයට යන්නේ නොදැනීමය. ටොෆි චොකලට්වලට ආශා කරන දරුවන්ට ඒවා ලබාදී අනතුරුව තරුණයන්ට අවශ්‍ය කටයුතු බාල ළමුන් යොදවා සිදුකර ගැනීමට තරුණයන් උපක්‍රමශීලී වූ බවට චෝදනා නැගෙයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දිනයකි. 15 හැවිරිදි වියේ පසුවන පාසල් දරුවෙක් සිය සොයුරියකගේ නිවෙස වෙත පාගමනින් යමින් සිටියේය. ඔහු යා යුතුව තිබුණේ පෙර කී සැකකාර තරුණයකුගේ නිවස ඉදිරියෙනි. එතැනින් යනු දුටු තරුණයා බාලවයස්කාර සිසුවාට කතා කර නිවසට කැඳවා තිබුණි. කලාතුරකින් ලැබෙන අපූරු රසයෙන් යුත් චොකලට් පෙත්තක් ලැබුණේ ඉන් පසුවය.
ඒ අතර සැකකාර තරුණයා ඔහුගේ මිතුරාට දුරකතන ඇමතුමක් ලබාදී එහි පැමිණෙන ලෙස දැන්වීය. මේ අතර පෙර කී තරුණයා පාසල් සිසුවා බියගන්වා තිබුණේ නිවසේ කිසිවෙක් නොමැති තැනය. එහිදී සිසුවා බිත්තියට හේත්තු කර ඔහුගේ මුව තදකර දමා බරපතළ ලිංගික අතවරයක් සිදුකරන්නට ඔහු ක්‍රියාකොට තිබුණි. මේ අතරතුර එහි පැමිණි අනෙක් මිතුරා පාසල් සිසුවා පුටුවක වාඩිකරවා යළිත් වරක් බරපතළ ලිංගික අපයෝජනයකට පත් කර තිබුණි.
අනෙක් සිදුවීම වාර්තා වන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දිනයකදීය. පාසල් වියේ පසුවන 14 හැවිරිදි දරුවෙකි. ඔහු පෙර කී අතවරයට පත් සිසුවාගේ මිතුරෙකි. මේ දරුවා සෙසු දරුවන් මෙන්ම ප්‍රදේශයේ පල්ලියට ළැදිව කටයුතු කළේය. දිනෙක ඔහුට සිදුව තිබුණේ යම් පුණ්‍ය කටයුත්තක් සඳහා ගමේ ගෙයින් ගෙට ඇවිද මුදල් සම්මාදමේ යාමය. එසේ ඇවිදයමින් සිටියදී සැකකාර තරුණයකුගේ නිවසට යාමට සිදුවිය. එහි යාමටත් මත්තෙන් පෙරමඟ බලා උන් තරුණයා කතා කර තිබුණේ “අපේ ගෙදරටත් එන්න මමත් සල්ලි දෙන්නම්” කියාය. මෙසේ නිවසට කැඳවාගත් තරුණයා නිවසේ සිටියදී දොර අගුළු දමා සිය ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබාගෙන තිබුණේ ඔහුගේ මිතුරාටය. වැඩි වේලාවක් ගතවූයේ නැත. මිත්‍රයා එම නිවසට පැමිණියේය. ඒ අතරතුර පාසල් දරුවාට ටොෆි චොකලට් සංග්‍රහ කරන්නට පෙර කී තරුණයා කටයුතු කර හමාරය.
මෙහිදී සැකකාර තරුණයන් දෙන්නා පාසල් දරුවා නිවසේ කාමරයකට රැගෙන ගියහ. “කෑගහන්න එහෙම එපා.. අපේ අයියා එයා කාමරයේ ඉන්නවා” යැයි මුසාබස් කියා දරුවා රවටා තිබුණි. එහිදී බරපතළ ලිංගික අතවරයක් සිදුකර ඉවත් වූ තරුණයා පසුපසින් කාමරයට ඇතුළු වූ අනෙක් සැකකරුද ටොෆි, චොකලට්වලින් පාසල් දරුවාට සංග්‍රහ කර තිබුණි. ඒ අතර ඔහුගෙන් ද දරුවාට සිදුව තිබුණේ බරපතළ ලිංගික අතවරයකි. එතෙකින් නොනැවතුණු අනෙක් සැකකාර තරුණයා ඔහුගේ ජංගම දුරකතනයෙන් සිදුවීම වීඩියෝගත කළේය. එදා සිදුවීම එතැනින් අවසන් වුවද පසු දිනෙකදී මෙම සිදුවීමට මුහුණදුන් පාසල් දරුවා සමඟ තරුණයන් විරසකයක් ඇතිකරගෙන තිබුණි. එහිදී ඔවුන් සතුව තිබුණු අතවර සිද්ධියේ වීඩියෝ දර්ශනය එම පාසල් දරුවාගේ ඥාතියකු වන විදේශ සේවයේ සිටින තරුණයෙක් වෙත වයිබර් තාක්ෂණයෙන් යවා ඇති බව කියති. එය දුටු පුද්ගලයා මේ කාරණය දරුවාගේ මව්පියන්ට දන්වා ඇති අතර ඔවුන් සිදුවීම ගාල්ල පොලීසියට පැමිණ පැමිණිලි කර තිබීමෙන් මේ සිදුවීම් හෙළිදරව් විය.
මේ අනුව එක් සැකකරුවෙක් එදිනම අත්අඩංගුවට ගත් අතර අනෙක් සැකකරු සැඟව සිටියදී දින කීපයකට පසුව අත්අඩංගුවට ගනු ලැබීය. සාක්ෂියක් වශයෙන් තිබූ වීඩියෝ දර්ශනයේ කාලය විනාඩියක් පමණ වන බවත් මෙවැනි සිදුවීම් වැළැක්වීමට නම් දරුවන් හා මව්පියන් මෙන්ම ගුරුවරුන් අවධානයෙන් පසුවිය යුතු බවත් පොලීසිය අවධාරණය කරයි. එවැනි කාරණා පිළිබඳ පාසල් මගින් දරුවන් දැනුම්වත් කිරීම වටිනා බව කියන අතර පොලීසිය මගින් එවැනි දැනුම්වත් කිරීම් ද සිදුකරයි. එසේම පොලීසිය පවසන්නේ බාලවයස්කාර දරු දැරියන් කිසි වගකිව හැකි බාරකාරත්වයකින් තොරව නාඳුනන පුද්ගලයන්ගේ ඇසුරට නොයවන ලෙසටය.
ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂක සවිද්ද්රි, 25312 සැරයන් සමරනායක පොලිස් කොස්තාපල් 49862 නිශාන්ත, කාන්තා පොලිස් කොස්තාපල් 5122 හිමාලි, 8672 මධුවන්ති, 5621 නෙල්කා යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර