2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

අධිරුධිර පීඩනයට අත්බෙහෙත් හොඳ නැහැ

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 632

අධිරුධිර පීඩනය අද සමාජයේ බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකික ජනතාවගෙන් සෑම පස්දෙනකුගෙන් එක් අයෙක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බවට සමීක්ෂණ වාර්තා තොරතුරු සපයයි. මෙය සමස්ත ජනගහණයෙන් සියයට විස්සකි. එය නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවේ. රැධිර පීඩනය ඉහළ ගොස් තිබෙන තත්ත්වයක දී වුවද බොහෝවිට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. එබැවින් එයින් වන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය නිසි දැනුවත්වීම් හා අවබෝධය ඉතා වැදගත් වේ.

මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වයන් නිසිපරිදි පවත්වාගැනීම සඳහා ඔක්සිජන් හා පෝෂණය අවශ්‍ය ස්ථාන කරා පරිවහනය කිරීම රැධිරය මගින් සිදුකරයි. මෙසේ පරිවහනය සඳහා අවශ්‍ය පීඩනය හෘදය මගින් ලබා දේ. එනම් යම්කිසි රුධිර පීඩනයක් මෙකී අවශ්‍යතා සඳහා පවත්වාගත යුතුය.

රුධිර පීඩනය, සාමාන්‍ය රුධිර පීඩනයට වඩා අඩු හෝ වැඩිවීම රෝග තත්ත්වයක් ලෙස හඳුනාගනු ලබයි. මෙහිදී රුධිර පීඩනය සාමාන්‍ය රැධිර පීඩනයට වඩා වැඩිවීමේ ප්‍රමාණය අනුව අධිරුධිර පීඩන තත්ත්වයක් ලෙස වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි.

සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ රුධිර පීඩනය දවසේ වෙලාව, චිත්තවේගය, මානසික පීඩා, මත්පැන් පානය, නින්ද අඩුකම, විවිධ රෝගී තත්ත්වයන් ආදී හේතු රාශියක් මත වෙනස් විය හැකිය.

එසේම ස්ත්‍රී පුරුෂභාවය හා වයස අනුව ද රුධිර පීඩනය වෙනස් වෙයි. මෙකී සියලු සාධක සලකා බලා රුධිර පීඩනය ඉහළ ගොස් එසේ දිගින් දිගටම පවතී නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එසේම කලාතුරකින් සාමාන්‍ය රුධිර පීඩනයට වඩා වැඩි හෝ අඩු අගයක් දිගින් දිගටම පැවතුණත් එයින් රෝගියාට අහිතකර කිසිදු බලපෑමක් නොවන අවස්ථාද දක්නට ලැබේ.

අධිරුධිර පීඩනය ඇතිවීමට බලපා හැකි හේතු රාශියකි. ජානමය හේතුන්, පරම්පරාවෙන් පරම්පරාවට, එනම් මවුපියන්ගෙන් සහෝදර සහෝදරියන්ට අධිරුධිර පීඩනය ඇත්නම්, එවැනි තත්ත්වයන්ට පත්වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

නමුත් රුධිර පීඩනය ඇතිවීමට බලපාන හේතුන් නිශ්චිතවම සඳහන් කළ නොහැකි අවස්ථා වැඩිපුර හමුවේ.

මෙය වෙනත් රෝග තත්ත්වයක ප්‍රතිඵලයක් ලෙසද ඇතිවිය හැකිය. වකුගඩු රෝග, උපත් පාලන පෙති භාවිතය, ශරීරයේ සිදුවන හෝර්මෝන අසමතුලිතතා ද මෙයට හේතුවිය හැකිය. ආහාර හේතුන් ද ඇති අතර, අධික ලුණු අනුභවය නිසා රුධිරයේ ලුණු සාන්ද්‍රණය වැඩිවීමේ දී රුධිරය මගින් ජලය රඳවා තබාගැනීම ද වැඩිවේ. එමගින් රුධිර පීඩනය ඉහළ යයි.

තරබාරුකම -  හෘදයට වැඩි රැධිර ප්‍රමාණයක් වැඩි බලයකින් පොම්ප කිරීමට සිදුවීම නිසා රුධිරනාලවල වැඩිපුර ඇති මේදය තැන්පත් වීමද රුධිර පීඩනයට හේතු වේ.

මානසික ආතතිය වැඩිවීම - නිතර ප්‍රශ්න, කරදරවලින් පෙළීම, බිය, කේන්තිය යනාදියට නිතර මුහුණදීමෙන් ශරීරයේ රසායනික වෙනස්කම් සිදුවේ. එසේ ඇතිවන මානසික පීඩනය ක්ෂණිකව පහව නොයයි. එහිදී ඉහළ යන රුධිර පීඩනය ද දීර්ඝ වේලාවක් පවතී. කල්යාමේදී දීර්ඝකාලීන අධිරැධිර පීඩනය වැළඳීමට අවකාශයක් පවතී.

දුම්පානය, මත්පැන් පානය, ක්ෂණික ආහාර, ව්‍යායාම නොමැතිකම ආදිය අධිරුධිර පීඩනය ඇතුළු සියලුම බෝනොවන රෝගවලට හේතු සාධක සපයයි. දරුවන් කුඩා කල සිටම නිවැරදි ආහාර රටාවන්ට, ක්‍රියාශීලී ජීවන රටාවන්ට හුරැකළ යුතුය. එවිට මෙවැනි රෝගයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබේ.

එසේම යමකු අධිරුධිර පීඩනයෙන් පෙළේනම් එය නිවැරදිව පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය. සුදුසු වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීම, නිසියාකාරයෙන් ඖෂධ භාවිත කිරීම මෙන්ම රුධිර පීඩනය පාලනය වී ඇත්දැයි අවධානයෙන් සිටීම කළ යුතුය. මන්ද එසේ නොවුණහොත් ඉන් ඇතිවන අහිතකර ප්‍රතිඵල ලෙස ආඝාතය තත්ත්වයක් (Stroke) ඇතිවීම, හෘදයාබාධ ඇතිවීම, වකුගඩු අකර්මණ්‍ය වීම ආදිය ඇතිවිය හැක.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අධිරුධිර පීඩනය හා සංසන්දනය කළ හැකි රෝග තත්ත්වයන් විස්තර කර නොමැති වුවත්, අධිරක්වාතාපය, රක්තගතවාත සඳහා වූ ප්‍රතිකාර පද්ධති මගින් රුධිර පීඩනය සාර්ථකව පාලනය කළ හැකිය.

හිසරදය, නිදිමත ගතිය, හිස කැරකිල්ල වැනි රෝග තත්ත්වයන් ඇතිවේනම් වහාම වෛද්‍යවරයකු මුණගැසෙන්න. අධිරුධිර පීඩන රෝගීන්ට ලුණු එතරම් ගුණදායක නොවන අතර අධිරුධිර පීඩනය ඇතිවිට හිසට සුදුසු තෙලක් යෙදීම, උළුහාල් වතුර තම්බා බීමට ගැනීම වැනි දේ කළ හැකි වුවද අධිරුධිර පීඩනයට අත්බෙහෙත් නොකර ඉක්මනින් වෛද්‍ය  උපදෙස් පිළිපදින්න.