2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

සුදුවෙන්න ගිහින් පිළිකා හදාගන්න එපා

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 300

අද වෙද්දී වෙළෙඳපොළේ බොහෝ විලවුන් වර්ග මෙන්ම බොහෝ රූපලාවණ්‍ය ආලේපන අලෙවි වෙමින් පවතී. මේවායින් බොහෝමයක් විදෙස් රටවල්වලින් මෙරටට ආනයන වූ ආලේපනයන්ය. විශේෂයෙන් තදාසන්න නගරවල මෙම සුවඳ විලවුන් මෙන්ම රූපලාවණ්‍ය ආලේපන පදික වේදිකාවේද ඉතා අඩු මුදලකට අලෙවි වෙමින් පවතී.

මේ අතර හතු පිපෙන්නා සේ රූපලාවණ්‍ය ශිල්පි ශිල්පිනියන් බිහිවීමත් රට පුරා ඉතා සීඝ්‍රයෙන් රූපලාවණ්‍යාගාරයන්ද බිහිවිය. අද ඇතැම් කාන්තාවෝ ඉතා ඉක්මණින් තම ශරීරයේ පැහැය වෙනස් කරගැනීමට උත්සාහ ගනිති. මේ සඳහා ඔවුන් මෑත කාලයේදී සොයාගත් අලුත්ම ක්‍රමය වූයේ එන්නත් මඟින් තම ශරීරයේ පැහැය වෙනස් කර ගැනීමයි. මෙයින් සම පැහැපත් වීම වෙනුවට සිදුවන්නේ සම සුදුමැලි වීමය. නමුත් බොහෝ තරුණියෝ එය සම සුදුවීම ලෙසින් සලකා තම හිත සතුටු කරගැනීමට උත්සාහ ගනිති. නමුත් වෛද්‍ය අනුමැතියකින් තොරව ශරීරයට ඇතුළු කරගනු ලබන එන්නත්වල විපාක ඇයට අත්විඳින්නට සිදුවෙද්දී ඇතැම්විට ඇය ප්‍රමාද වූවා වන්නටද ඇත. හේතුව මෙවැනි ප්‍රතිකාර ක්‍රම බොහොමයක පිළිකා කාරක අඩංගුව තිබීමය. ඇතැම් ආලේපනවල ඇත්තේ රසදියයි. එමඟින් පිළිකාමය තත්ත්වයන් ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත.

අප රටේ බොහෝ දෙනෙක් අද වෙද්දී ස්ටීරොයිඩ ගණයේ සංයෝග ඇතුළත් ආලේපන භාවිත කරලා දවසින් දෙකින් සුදුවෙන්න උත්සාහ කරනවා. නමුත් එම ගණයේ සංයෝග ශරීරයට ඉතාම අහිතකරයි. මේ නිසා සම විනාශ වෙලා විකෘතිතා ඇතිවෙනවා. ආසියාතික රටක ජීවත් වෙන අප රටේ ජනතාවගේ සමේ වර්ණකය දුඹුරු පැහැයට හුරුයි. එය වෙනස් කිරීමට උත්සාහ කිරීම ඇත්තටම මෝඩකමක්.

මෙසේ කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කමල් ජයසිංහයි.

රටපුරා විසිරී පවතින අනවසර විලවුන්, ආලේපන හා උපකරණ, ඖෂධ පිළිබඳව පරීක්ෂාවට ලක්කොට සොයාබැලීමේ අයිතිය පැවරී තිබෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියටයි.

මේ සඳහා අපි කඩිනමින් සොයාබැලීම් සිදුකරනවා. අපි වෙබ් අඩවියක් සකස් කරමින් ඉන්නවා. එයින් අනුමත ඖෂධ සහ අනුමත නොවුණු ඖෂධ සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් පාරිභෝගිකයාට බලාගත හැකියි. එමෙන්ම දේශීය වශයෙන් නිපදවන ආලේපන සහ ඔසු සම්බන්ධවද අපගේ අවධානය යොමුකරනවා. එවන් ලාංකික නිෂ්පාදකයෙක් අපිට තොරතුරු ලබාදුන් විට ඒ අදාළ නිෂ්පාදනාගාරයට ගොස් අදාළ කටයුතු සොයාබලා නියම ප්‍රමිතියට අනුව සිදුවන්නේ නම් එයට අදාළ අනුමැතිය ලබාදෙනවා... යැයි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කමල් ජයසිංහ පවසයි.

මේ සම්බන්ධව ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා ද සිල්වා මෙනවියගෙන්ද අපි විමසීමක් කළෙමු.

වෙළෙඳපොළේ නොයෙකුත් ආලේපන වර්ග තියෙනවා. මේ ආලේපන හොඳ සහ නරක යනුවෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආලේපන මිලදී ගැනීමෙන් පසුව එහි අහිතකර බලපෑමක් සිදු වී නම් එයට මුලින්ම වගකිව යුත්තේ පාරිභෝගිකයාමයි. අද සියලු දේ පිළිබඳව සොයා බැලිය හැකි තාක්ෂණය අපට අසලම තියෙනවා. අපි කවුරුත් ලස්සන වෙන්න කැමතියි. ආලේපනවලට ප්‍රිය කරනවා. මිනිසුන් මේ දේවල්වලට සමීප වීමත් සමඟ වෙළෙඳපොළට අලුත් ආලේපනයන් එකතුවීමද වැඩියි...
අද බොහෝ ආලේපන වර්ග රූපලාවණ්‍යගාරවද වෙළෙඳ පොළේද පවතී. මෙම බොහෝ ආලේපනවල කිසිදු ප්‍රමිතියක් නැත.

මේ බොහෝ ආලේපනවල බෙදාහැරීම් ආයතනය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, අන්තර්ගත දෑ පිළිබඳව කිසිදු තොරතුරක් නැහැ. මේ ආලේපන වලින් මේ අතුරු ආබාධයන් ඇතිවුණොත් ඒ පිළිබඳව දැනුම් දෙන්නට අදාළ ආයතනයත් සඳහන් කරලා නැහැ. එමෙන්ම වෙළෙඳ පොළේ පවතින ආලේපන අතර තවත් ආලේපන පොඩි කුප්පියක හෝ පොඩි ඇසුරුමක බහා එය වටේ ස්ටිකරයකින් ආවරණය කරලා තියෙනවා. ඕනෑම කෙනෙකුට මෙම ස්ටිකරය ගලවන්නට පුළුවන්. එවිට කල් ඉකුත් වූ ආලේපනයක වුවත් අලුත් දිනයක් දමා නැවත ස්ටිකරය ඇලවීමට පුළුවනි. “මේ ආලේපනවල කිසිම ප්‍රමිතියක් නෑ....” යැයි ඇය පැවසුවාය.

බොහෝ ආලේපනවල කහ, කෝමාරිකා වැනි ආයුර්වේද ඖෂධ අන්තර්ගතව ඇති බවට සඳහන් නමුත් බොහෝ ආලේපනයන් තුළ සියයට සියයක්ම එම ඖෂධීය ද්‍රව්‍ය අන්තර්ගත නොවේ. ඒ වෙනුවට බොහෝ ආලේපන වර්ගයන් තුළ ඇත්තේ ස්ටීරොයිඩ ගණයේ සංයෝග, රසදිය, බ්ලීචිං වැනි ද්‍රව්‍යයන්ය. මේ වනවිට වෙළෙඳ පොළේ ඇති රූපලාවණ්‍ය ආලේපන නිසා අතුරු ආබාධවලට මුහුණ දුන් පාරිභෝගිකයෝ විශාල සංඛ්‍යාවක් සිටිති. නමුත් ඔවුහු තමන් මුහුණ දුන් තත්ත්වය පිළිබඳව සමාජයට කීමට මැලිකමක් දක්වති.

වෙළෙඳ පොළේ පවතින ආලේපනවලට රැවටෙන්න එපා. මුලින්ම නිෂ්පාදනයේ නාමය, නිෂ්පාදිත දිනය, කල්ඉකුත් වූ දිනය, අන්තර්ගත දෑ යන සියලුම ප්‍රමිතිය සොයාබලා ආලේපන මිලදී ගැනීමට තීරණය කරන්න. කිසිම ප්‍රමිතියක් නැති නිෂ්පාදන, කවුරු කොහොම කිව්වත් ඔබ ළං කරගන්න එපා....යැයි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා ද සිල්වා මෙනවිය වැඩිදුරටත් කීවාය.

ආසියාතික රටවල්වලට තමයි මේ උමතුව වැඩියෙන් තියෙන්නේ. අපිට බොහෝ විට ඇත්තේ දුඹුරු මිශ්‍ර සමක්. සුදුවීම සහ පැහැපත් වීම යනු දෙකකි. නියම ලස්සන සැමවිටම රැඳිලා තියෙන්නේ නිරෝගීමත් පැහැපත් සමකයි. සම බොහෝවිට අපගේ ජානවලින් ලැබුණු දෙයක්. කල්යද්දී පාරිසරික හේතුන්, ශරීරයේ එක් එක් වෙනස් වීම් අනුව අපගේ ශරීරයේ පැහැය අඩුවැඩි වෙනවා. නමුත් අද වෙද්දී බොහෝ තරුණියන් එන්නත් ක්‍රම මඟින් සුදු වන්නට උත්සාහ ග්නනවා. එයින් අපගේ ශරීරයේ ඇති මෙලනින් සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. එවිට ශරීරයේ මෙලනින් අඩුවීමෙන් සම සුදුවීමකට ලක්වෙනවා. නමුත් රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට ශරීරයට මෙලනින් එන්නත් කර ගැනීම අවදානම් කියලයි මම කියන්නේ.

මේ අනුව ඉදිරියේදී ඖෂධ නියාමන අධිකාරිය මඟින් මෙරටට පැමිණෙන ආනයනික හා මෙරට නිෂ්පාදිත ආලේපන හා විලවුන් ආදිය පරීක්ෂාවට ලක්කොට සුදුසු ආලේපනවලට පමණක් අනුමැතිය ලබාදීමට කටයුතු කරමින් පවතී. ඔබත් වෙළෙඳ පොළේ ඇති ආලේපනවලින් සුදුවන්නට උත්සාහ ගන්නා තරුණියක් නම් ඒ පිළිබඳව තව වරක් සිතා බැලිය යුතුය.

► දිශානි ජයමාලි කරුණාරත්න