2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

නිදහස කියන්නේ අමු බේගලයක්!

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

හැම අවුරුද්දෙම පෙබරවාරි හතරවැනිදා කිව්වම අපිට මතක් වෙන්නෙ, ගෝල්ෆේස් පිට්ටනිය ඉස්සරට වෙලා අපේ රටේ නායකයෝ ටික අව් කණ්ණාඩි දාගෙන නිදහස සමරන එක විතරයි කිව්වොත් වැරැද්දක් නෑ. 

ලක්ෂ ගාණක් වියදම් කරලා බොහොම උජාරුවට සංවිධානය කරන මේ නිදහස් සමරුව අපේ මිනිස්සු ගෙදරට වෙලා ටීවී එකෙන් බලන් ඉන්නෙ බාගෙට කටත් ඇරගෙනයි.  ජනාධිපති එන්නෙ කීයටද? ජනාධිපතිගෙ වාහනේ කොයි වගේද? අගමැති ජනාධිපතිව පිළිගන්නෙ කොහොමද? අනිත් ඇමැතිලා ඔක්කොම ඇවිත්ද? කොයි ඇමැතිගෙ වයිෆ්ද වැඩියෙන්ම ලස්සන? ජාතික ගීයේ වචන වරද්ද ගන්න ඇමැතිලා කවුද? ජනාධිපතිට වෙඩි මුර 21ක්ම ගැහුවද? ඔය වගේ දාහක් දේවල් එක්ක තමයි අපි ටීවි එකෙන් නිදහස් සමරුව බලන් ඉන්නෙ. 

ඔය අතරෙ නාවික හමුදාව මුහුදෙ වැඩ පෙන්නද්දි ගුවන් හමුදාව අහසෙ කරණම් ගහනවා. ඔක්කොටම වඩා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද බලය ප්‍රදර්ශනය කරමින් යුද හමුදාවේ රථ පෙළපාලිය යනවා. ඉතින් ඔන්න ඕක තමා අපේ නිදහස් සමරුව. මතුපිටින් බැලුවත්, කොයි තරම් ගැඹුරට ගිහින් බැලුවත් ඔච්චරම තමයි. 

ජාතික මට්ටමින් ඔහොම සරසද්දි අපිත් අතාරින්නේ නෑ. රුපියල් සීයට එකසිය පනහට පේමන්ට් එකෙන් ගන්න ජාතික කොඩිය අපි ගේ ඉස්සරහ එල්ලන්නේ අල්ලපු ගෙදර මිනිහට පරදින්න බැරි හින්දයි. පාරෙ තොටෙත් ඒ වගේමයි. බෙන්ස් එකේ, අවුඩියේ ජාතික කොඩි නොඑල්ලුණාට, ත්‍රීවිල් එකේ බස් එකේ විතරක් නෙමේ, ෆුට් සයිකලෙත් ජාතික කොඩිය වරදින්නෙ නෑ. 

හතරවැනිදාට ටීවි එකත් හරියට නිකන් ‘නිදහස විසින් බදු අරගන්නා ලදී’ වගේ තමයි. රවීන්ද්‍ර රඟපාන පුරන් අප්පු චිත්‍රපටය වගේ විවිධ චිත්‍රපට පෙන්නනවා. ආචාර්යවරු මහාචාර්යවරු නිදහස ගැන ලොකු ලොකු කතා කියනවා. ඔය සේරම ඉවර වෙද්දි හතරවැනිදා දවස ගෙවිලා ඉවරයි. 

ඒත් අවුරුද්දට එක පාරක් අපි සමරන නිදහස ගැන මේ එක දවසකදිවත් අපි හරියට හිතලා බලලා තියෙනවාද? තමන්ගෙන්ම අහලා බලන්න. සුද්දො මෙහෙන් යද්දි ආසියාවේ ලොක්කෙක් වෙලා හිටපු ලංකාව අද හතරගාතෙන් වැටිච්ච සොක්කෙක් වුණේ කොහොමද? එහෙම කල්පනා කරද්දි ‘නිදහස කියන්නේ මාර ෆන් එකක්නෙ’ කියන හැඟීම හෝස් ගාලා අතුරැදන් වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි. 

සුද්දෝ අපිව දාලා ගියා. ඇත්ත. හැබැයි ඒ ගියේ අර කිව්වත් වගේ ඔරිජිනල් සුද්දටත් වඩා සුද්දො වෙච්ච ඩුප්ලිකේට් සුද්දො ටිකක් මෙහේ හදලා ඉවර වෙලයි. හතළිස් අටේ ඉඳන් මේ වෙනකල් අපේ රට පාලනය වෙන්නෙ ඔය ඩුප්ලිකේට් සුද්දන්ගෙන් තමයි. 

ඔය ඩුප්ලිකේට් සුද්දන්ට මේ රටේ අනිත් මිනිස්සු ඉන්නවා කියලා මතක් වෙන්නෙ ඡන්දයක් එද්දි විතරමයි. මේක අතිශයෝක්තියක් එහෙම නෙමේ. ඒ තමා අවුරුදු හැත්තෑවක් අපි අත්දැකපු තිත්ත ඇත්ත. 

අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට නිදහස කියන්නේ තවත් එක ආටෝපයක් වුණාට මේ ඩුප්ලිකට් සුද්දන්ට එහෙමත් නැත්නම් අපේ පොලිටික්කන්ට නිදහස් සමරුව කියන එක ගොඩක් වටිනවා. මොකද සුද්දො අතේ තිබ්බ පාලනේ තමන්ගෙ අතට ගත්ත එක එයාලට කියන්න බැරි තරම් වටිනවා. 

අපේ රටේ පොලිටික්කන්ට ලංකාව කියන්නෙ උන් උන් විතරයි. ඒ කියන්නේ තමනුයි තමන්ගේ වටේ ඉන්න සෙට් එකයි. ඉතින් ඒ හින්දම එයාලාට පොලිටික්ස් කියන්නේ දේශපාලනය නෙමේ, පක්ෂ පාලනය විතරයි. පක්ෂ පාලනය කරලා වෙලාවක් තිබුණොත් විතරක් පොඩ්ඩක් රට පාලනය (දේශපාලනේ) කරනවා. 

ඒ හින්දා පෙබරවාරි හතරවැනිදා මේ මහා ලොකුවට සමරන නිදහස කියන්නේ අමු බේගලයක්, ටොම් පචයක් මිසක් ඇත්තට අපේ මිනිස්සුන්ට ලැබිච්ච නිදහසක් නෙමෙයි. එහෙම නිදහසක් ලැබිලා තිබ්බ නම් ගෙවිච්ච අවුරුදු හැත්තෑව ඇතුළෙදි තරුණ කැරලි දෙකක්, ත්‍රස්තවාදී යුද්ධයක් විතරක් නෙමේ මෙච්චර වැඩ වර්ජන, උද්ඝෝෂණ රට පුරා තියෙන්න හේතුවකුත්  නැහැ. හතරවැනිදාට ගොල්ෆේස් පිට්ටනියෙන් ඇහෙන ජයමංගල ගාථාවලට කන්දෙන ගමන් ඒ ගැනත් නිකමට හිතලා බලන්න. 

► ජා