“ප්‍රජා” නමැති තාපසයෙක්, වනගත පෙදෙසක කූඩාරමක් ඉදිකරගෙන එහි වැඩවාසය කළේය. එක් දිනක් එහි පැමිණි “සීලනීස්” නමැති පුද්ගලයෙක්, තාපසයාට වැඳ නමස්කාර කර කතා කළේය.
“තාපසතුමා... මම බොහෝම දුරක ඉඳලා එන කෙනෙක්. අවුරුදු හැත්තෑවක් තිස්සේ මම ඉබාගාතේ ඇවිදිනවා. මට දැන් හරි මහන්සියි. ටිකක් විවේක ගන්ඩ මේ කූඩාරම ඇතුළට එන්ඩ අවසරද?”
“අපොයි ඒක නම් කරන්ඩ බෑ. මීට අවුරුදු දෙක තුනකට උඩදිත් ඔහොම කෙනෙක් ඇවිල්ලා, කූඩාරම ඇතුළට ඔළුව විතරක් දාන්ඩ අවසර ඉල්ලුවා. අන්තිමේදි මිනිහ එලවගන්ඩ, නක්ෂත්‍රකාරයෙක්ගෙ උදව් ලබාගන්ඩත් සිද්ධවුණා.”
“ඔබතුමා ඔය කියන්නෙ ඔටුවගෙ කතාව නේද?”
“නෑ නෑ. ඒක පරණ කතාවක්නෙ. මේ මිනිහෙක්. තව පොඩ්ඩෙන් මිනිහ මට මානව අයිතිවාසිකම් නඩුවකුත් දානවා. මිනිස්සු කෙළෙහිගුණ දන්නෙ නෑ. දැන් කාලෙ ඔටුවො හොඳයි. පොල්ලකින් ගහල හරි උන්ව එලවගත්තැකි.
“අනේ මා ගැන එහෙම හිතන්ඩ එපා, තාපසතුමා. මට කාගෙවත් කූඩාරම් අයිතිකර ගන්ඩ ඕන නැහැ. ටික වෙලාවක් විවේක ගන්ඩ තිබුණොත් හොඳටම ඇති.”
“ප්‍රජා” තාපසතුමා කරුණා හදැති පුද්ගලයෙකු වූ බැවින්, සීලනීස්ට, කූඩාරමට පිවිසෙන්නට වරම් දුන්නේය. එහෙත්, එක දිනක් නොව දින සීයක් ගතවුණත් ඔහු යන පාටක් නොවීය. බැරිම තැන තාපසයා ඔහුට කතා කළේය.
“සීලනීස් උන්නැහේ... දැන් ඉතින් මෙහෙන් ගියොත් හොඳයි නේද?”
“මම කොහෙ යන්ඩද?”
“යකෝ ඒක මාර කතාවක්නෙ. තමුසෙ ඉක්මනට යනව කියලනෙ මේක අස්සට රිංගා ගත්තෙ.” තාපසයාට “සීලය” ද අමතක විය.
“කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි කියලා කතාවක් තියෙනවනෙ. මට තව ටික කාලයක් ඉඩදෙන්ඩ තාපසතුමා.”
“ටික කාලයක් කිව්වෙ?”
“තව අවුරුදු පහක් හයක්...? ගාණ මම හරියටම කියන්නම්, අදාළ පුද්ගලයන්ගෙන් අහලා බලලා.”
“අවුරුදු ගණන් මෙතන ලගින්ඩ දෙන්නට බෑ සීලනීස් උන්නැහෙ. ආපු අතක් බලාගෙන යනවා”
ඒ ඇසූ සීලනීස්, කපටි සිනාවක් පා නිහඬ වුණා මිස, ආපසු යන පාටක් නම් නොපෙන්වීය.
“මොන කෙංගෙඩියකටද තමුසෙ අවුරුදු ගණන් මෙහෙ ඉන්ඩ හදන්නෙ? ඇයි යන්ඩ තැනක් නැද්ද?” තාපසයා විමසීය.
“යන්ඩ නම් තැන් තියෙනවා. ඒත් මං එකම තැන ඉන්න ආස මිනිහෙක්. අනිත් කාරණය තමයි, මට හිටපු ගමන් අදහසක් ආවා, මේ කූඩාරම අවට තියෙන මහ කැලෑව සුද්ධ කරල දාන්ඩ ඕනෙ කියලා.”
”ඕක මෙහෙට ආපු හුඟදෙනෙක් කිව්වා. ඒත් කාටවත් කරන්ඩ බැරිවුණා. අන්තිමේදි උනුත් කැලේටම රිංගුවා.”
සීලනිස් නැවත වරක්, කපටි සිනාව පා, නිහඬ වූයේය.
“මේ කූඩාරමේ දෙන්නෙක්ට ඉන්ඩ බෑ. ඒක තමුසෙට තේරෙන්නෙ නැද්ද?” තාපසයා ගිගිරුවේය. (මේ අවස්ථාවේදි එතුමා වෙහෙස මහන්සියෙන් ලබා තිබූ ධ්‍යාන බල දෙකක්ම අහිමි වී ගියේය.)
“අපි මේක ටිකක් ලොකු කරල, ශක්තිමත්ව හදාගමු. මේ කබල් කූඩාරම ගලවලා පැත්තකට දාලා, චීනෙන් හොඳ කූඩාරමක් ඉල්ලගමු. ඊටපස්සෙ අපි දෙන්නව එලවන්ඩ සැක්කරයගෙ පුතා වයිමටවත් බෑ.”
එන පොට හොඳ නැති බව වැටහුණු තාපසයා වෙනත් උපායක් කල්පනා කරන අටියෙන්, වනය දෙසට පියමැන්නේය. එහිදී පැරැණි තවුසන් කීපදෙනකු මුණගැසුණෙන් ආපසු ඒමට ටික දිනක් ගත විය.
තවුසා ආපසු එද්දී, කූඩාරම තුළ තවත් අමුත්තෙකි.
“මෙයා කවුද?”
තවුසා, සීලනීස්ගෙන් ඇසුවේය.
“මෙයත් අපේම කෙනෙක් තමයි.”
“කාගෙන් අවසර අරගෙනද මේකට රිංගුවෙ?”
“සමාවෙන්ඩ.” අමුතු පාට ඇඳුමකින් සැරසී සිටි අමුත්තා කතා කරන්නට විය.
“බොහොම කාලෙකට උඩදි මාත් මේ කූඩාරමේ හිටියා. හිටපු ගමන් මට යන්ඩ සිද්ධ වුණා. ඒත් ගියදා ඉඳන් හරිහැටි නින්දක් නෑ. ආපහු මේකට රිංගන්ඩමයි හිත. ඒකයි ආවෙ. මටත් ඉඩ ටිකක් දෙන්ඩ.”
තාපසතුමා කරුණා පෙරදැරිව එය ඉවසුවෙන්, අපහසුවෙන් හෝ තිදෙනාම කූඩාරම බෙදාහදාගත්හ.
එක් දිනක්, රතු කමිසයක් හැඳගත් තරුණයෙක් පැමිණ කූඩාරමට එබී බැලුවේය.
“තමුසෙලා තාම මේක අස්සෙද? දැන් ඉතින් එළියට යනවකො. අපිටත් ටිකක් ඇතුළට එන්ඩ.”
තරුණයාගේ හඬ ඇසුණු තවුසා හිස පිටතට දැමුවේය.
“ආ ඒ පාර තමුසෙත් ආවද? තමුසෙලා මේ කූඩාරම එපා කියපු මිනිස්සුනෙ... මොකද මේකට රිංගන්න හදන්නෙ?”
“ඔතන තියෙන සැප පහසුකම්වලින් අපිට වැඩක් නෑ. කූඩාරමේ ඉඳගෙන, මිනිස්සුන්ට වැඩක් කරන්ඩයි අපිට ඕනෙ.”
“ඒක නම් වෙන වැඩක් නෙවෙයි සහෝ! මේක ඇතුළට ආවට පස්සෙ අනුන්ට වැඩ කරන්ඩ හිත දෙන්නෙ නෑ. තමන්ටයි තමන්ගෙ එවුන්ටයි විතරමයි.”
සීලනීස් සිනාසෙමින් කීය.
“හොඳයි, ඇවිල්ලම ඒක බලාගමුකො” කියමින් රතු කමිස තරැණයා පිටට ගියේය. එසැණින්, තාපසයා, තම බොරු රැවුල්, කොණ්ඩ හා ඇඳුම් පැළඳුම් ගලවා දැමීය. ඔහු තුළින් මතුවූයේ ලංකාවේ සිටි සුප්‍රසිද්ධ පාලකයෙකි. ඔහු සිනාසෙමින් මෙසේ කීය.
“තමුසෙලාගෙ කතාව ඇත්ත. මේ කූඩාරමට රිංගුවට පස්සෙ පිටවෙන්ඩ නම් හිතෙන්නෙ නෑ. මැරුණට පස්සෙත් මළපෙරේතයෙක් වෙලා හරි මේක අස්සෙමයි උපදින්නෙ! පරම හතුරො එක්ක හරි කරට අත දාගෙන ඉන්ඩ හිතෙනවා. මේක පුදුම කූඩාරමක් තමයි අයිසෙ! අර, ඔටුවට බණින එක පව් ඕයි!”
► කපිල කුමාර කාලිංග