තුෂාරි අබේසේකර
සම්මානනීය ලේඛිකාවක වන තුෂාරි අබේසේකර ටෙලිනාට්‍ය පිටපත් රචිකාවියකි. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරියකි. ලාබයි ඇපල්, ස්නේහයේ දාසි, සිහින දූවිලි ඇතුළු නිර්මාණ ඔස්සේ දිවයන ඇගේ අලුත්ම නවකතාව මාතා (ඇම්.ඩී. ගුණසේන ප්‍රකාශන) කෙටි කලකින්ම පාඨකයන් අතර ජනප්‍රිය වූ කෘතියකි. මේ තුෂාරි අප සමඟ ඒ පිළිබඳව දැක්වූ අදහස් කීපයකි.
ඔබේ මාතා නවකතාවට වංග සාහිත්‍යයේ සෙවණැල්ලක් වැටී ඇති බව පේනවා.
සමහරවිට එහෙම වෙන්න ඇති. මගේ උත්පත්තියේත් එයට සම්බන්ධකමක් තිබෙනවා. මම වංග සාහිත්‍යයට හරිම කැමතියි. මගේ ලිවීමේ විලාසිතාවෙත් පරිවර්තන ශෛලියක් තිබෙන බවත් පාඨකයන් පවසනවා. ලිව්වට පස්සෙ කියවන විට එය පරිවර්තන කෘතියක් වගේ දැනෙන බව කියනවා.
මාතා කෘතියෙන් පීඩනයට ලක්වුණු තරුණියකගේ සිතට එබී බලමින් ඇගේ මනස සියුම්ව විවරණය කරන බව පේනවා. ඒකට ඔබේ පෞද්ගලික අත්දැකීම් හේතුවුණාද?
ඕකට මට තනි වචනයෙන් උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරවිට.
මාතා කියන සවිමත් ගැහැනිය ඔබ අවසානයේ මරාදමනවා. එවැනි අවසානයකට යාමට විශේෂ හේතුවක් තිබුණද?
මාතා කියන්නේ වැඩවලින් පිරුණු යහපත් දේ නිතර කරන කාන්තාවක්. අත්දැකීම්වලින් පිරුණු දිරිමත් දක්ෂ ඒ වගේ ගැහැනියකට ලොකු ආයු කාලයක් නැතිබව තමයි මට දැනුණේ. එතැනින් එහාට ඇයට තවත් ජීවිතය අනවශ්‍ය බව මට දැනුණා.
මාතා සාධාරණත්වය සොයායන චරිතයක්. නමුත් ඔබ කියන්නේ ඇයට දිගු ආයු කාලයක් නැතිබව දැනුණු බවයි.
මම සොබාදහම විශ්වාස කරන කෙනෙක්. මට සීයා පුංචි කාලෙ කියල දීපු කාරණාවක් තමයි අඩු වයසෙ ගොඩක් වැඩ කරන පුද්ගලයා ඉක්මනින් මෙලොවින් සමුගන්නා බව. ඒ හින්දා තමයි මාතාගේ ජීවිතය ඉක්මනින් කෙළවර වන්නේ. ඇය අවුරුදු 47දී මරණය වැළඳගන්නවා.
පොතට ලැබුණු ප්‍රතිචාර කෙසේද?
ඇත්තටම ලොකු ප්‍රතිචාර ලැබුණා. දවසක් මාතර ගිය වෙලාවකත් ඒ පොත ලිව්වෙ මම කියලා දැනගත් විට පාඨකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ප්‍රකාශකයන් පවසන්නේ එහි මුල් මුද්‍රණය මාස තුනකින් අවසන් වූ බවයි. බුද්ධිමත් පාඨකයා පොත ආදරයෙන් වැළඳගත් බව පේනවා. මෑතකදී පැමිණි අනෙක් නවකතාවලට වඩා වැඩි පිරිසක් මාතා පොත කියවා තිබෙන බව ලැබෙන ප්‍රතිචාරවලින් පේනවා.
ඔබ මුලින්ම ජනප්‍රිය පුවත්පත්වලට ලියපු ලේඛිකාවක්. අද ඔබ උසස් රසවින්දනයකට කැපවූ කෙනෙක්.
ඔව්. මුලින්ම ඒ පත්තරවලට ලිව්වේ ලියපු ඒවා පළකරගැනීමට තැනක් අවශ්‍ය නිසයි. ඒ අතර තමයි සුදු කපුරු පෙති නවකතාව ලියවෙන්නේ. එයට 2003 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබෙනවා. ඊටපස්සෙ මම ලියපු නවකතාවලටත් මොනවහරි දෙයක් ලැබුණා. කලාත්මක නිර්මාණ පිටුපස්සේ දුවන්න මම හරිම තැමතියි.
සුදු කපුරු පෙති ආශ්‍රයෙන් තැනූ ටෙලිනාට්‍යය අතරමඟදී තහනම් වෙනවා නේද?
ඔව්. ජාතික රූපවාහිනියේ විකාශය වන අතර එය නවතිනවා. ඒක ලිව්වෙ සිංහල - දෙමළ අරගලය පසුබිම් කරගෙන. ඊටපස්සේ ඒකෙ සමහර කොටස් ඉවත් කර නැවත විකාශය කළා.
ඔබේ හැම නවකතාවකම වගේ අපට හමුවන්නේ පීඩාවට පත් තම තැන හොයාගෙන යන කාන්තා චරිතයි. ඒ ගැන පැවසුවහොත්?
මගේ විශ්වවිද්‍යාලය වන්නේ මහපාරයි. මම හැමතිස්සේම විවිධ දේ හොයාගෙන යන කෙනෙක්. එතැනදී මට හමුවුණා විවිධ කාන්තා චරිත. ඒ නිසයි මට හිතුණේ දූවිල්ල කාගෙන ජීවත්වන චරිත ගැන ලියන්න. මහපොළොවේ අඩිය තබාගෙන සිටින චරිත මම නිර්මාණවලට පාදක කරගන්නේ ඒ නිසයි.
තුෂාරි ටෙලිනාට්‍ය තිරපිටපත් රචනය වගේම අධ්‍යක්ෂණයටත් එළඹි කාන්තාවක්. නමුත් අද බහුතරයක් මෙගා ටෙලිනාට්‍යවල තිබෙන්නේ සිල්ලර කාන්තා චරිත නේද?
ඒවා දකින විට මම උඩුගංබලා පිහිනීමක් කරනවා කියල හිතනවා. මම අධ්‍යක්ෂණය කළ පත්තිනි, භෝපලු අරණ, අසමජ්ජාතියා වගේ ටෙලිනාට්‍යවලින් උත්සාහ කළෙත් ගැහැනිය මලක් වගේ උඩට අරගෙන පුබුදුවන්නයි. ඒක පවිත්‍ර චේතනාවෙන් කරන දෙයක්.
අද ටෙලිනාට්‍යවල අර්බුදයට මූලික හේතුව දුර්වල තිරනාටකයි. එවැනි තත්ත්වයකට වැටීමට හේතුව ඔබ දකින්නේ කෙසේද?
ඒකට එක් හේතුවක් තමයි අපේ රටේ තිරරචනා ලියූ උගත් පුද්ගලයන් ගෝලයෝ හදලා නැතිකම. තිරපිටපතටත් සාහිත්‍ය කියන කාරණය අවශ්‍යයි. ඒක වචන පෙළහරක් නොවෙයි. තිරපිටපත රෑපගත කිරීමේදී සාහිත්‍යය මතුවීමත් අවශ්‍යයි. බොහෝ දෙනෙක් මේක නොදැන තමයි අතපත ගාන්නේ. තිරරචනය කියන්නේ කියන්නේ ගැඹුරු සාහිත්‍ය කාරණයක්.
ඔබ පවසන විදිහට අපේ තිරරචනා ක්ෂේත්‍රයේ නිරත වූ පූර්වගාමීන් ඉදිරි පරපුරට මඟහෙළිකර නැහැ.
ඔව්. ඒ කිසිම කෙනෙක් තම දැනුම බෙදලා නැහැ. ප්‍රසාරණය වෙලා නැහැ. එක තැනම තිබිලා හැංගිලා. මේ ක්ෂේත්‍රය පවත්වාගෙන යාමට කාලෙන් කාලෙට දක්ෂයො මතුවිය යුතුයි. බාල තිරපිටපත්වලට පෞද්ගලික නාලිකා අවස්ථාව ලබාදෙනවා. අපේ රටේ බහුතරයක් කුණුරසට කැමතියි. පුද්ගලික නාලිකා බොහොමයක් කුණුරස විකුණන තැනට පත්වෙලා තියෙනවා. ඕනෑම දෙයක් විකුණන්න යන කාරණයේදී නොදැන අතපත ගාන බොහෝ පිරිසක් මතුවෙලා සිටිනවා. මුදල් හෙව්වත් රටේ සදාචාරය, සංස්කෘතිය විනාශ වෙනවා.
ඔබ මෙවැනි ක්ෂේත්‍රයක වෙනසකට මුලපුරා තිබෙනවා.
ඔව්. මමත් මේ ක්ෂේත්‍රය අල්ලාගෙන අල්ලාගෙන ඉදිරියට යාමටයි උත්සාහ කරන්නේ, බාධක මැඩපවත්වා ගනිමින්.
අද කාන්තාවන් කිහිපදෙනෙකුම නවකතා ක්ෂේත්‍රයේ කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරනවා, සුනේත්‍රා රාජකරුණානායක, සුමිත්‍රා රාහුබද්ධ, කැත්ලීන් ජයවර්ධන ඇතුළුව.
ඔව්. කාන්තාවන් නවකතා ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණිය යුතුයි. පිරිමින්ට වඩා සියුම්ව බොහෝ දේවල් අතපත ගාන්න කාන්තාවන්ට පුළුවන්. හරියට දරැවො හදනවා වගේ.
අපේ නවකතාව එකතැන පල්වෙන බව සමහර විචාරකයන් පවසනවා. ඔබ එය දකින්නේ කෙසේද?
ඔය කාරණය ගැන මම කතා කර තිබෙනවා. මාතා ඒකට හොඳ විසඳුමක් වෙන්නත් පුළුවන්. මම නවකතාවක් ලියන විට ඒකට හොඳ වියමනක් හදාගැනීමට උත්සාහ කරනවා. මාතා වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. අපි මුහුණදෙන දහසක් ගැටලු අස්සේ විශාල වස්තුබීජ ප්‍රමාණයක් තිබෙනවා. ඒ වස්තුබීජ පවසන්න විසිතුරු වියමනක් ගොඩනගාගත්තොත් අපිත් නවකතාවෙන් ඉදිරියට යාවි. ජාත්‍යන්තර ලේඛකයන් කාලෙන් කාලෙට අමුතු අමුතු දේවල් සොයාගෙන ඉදිරියට යනවා.
ඔබේ කෘතියට විශාල පාඨක ප්‍රතිචාර ලැබුණත්, එය සාහිත්‍ය සම්මාන උළෙලවලදී ඉදිරියට පැමිණියේ නැහැ නේද?
අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් කරපු සමීක්ෂණයකින් මාතා හොඳම නවකතාව බවට පත්වුණා. නමුත් සම්මාන උළෙලවලදී සිදුවූ දේවල් කිවයුතුම නැහැ. මිනිසුන් අතරට පොත යනවානම් කියවනවානම් ඒක තමයි මට දැනෙන සතුට.
කුසුම්සිරි