2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

එකම පවුලේ 4ක් මරාගත් අනතුරට හේතුව බුලත්විට!

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 229

ජීවිතය කොහේ කොතනකදී කුමන විලාසයකින් නවතීදැයි කාටනම් කිවහැකිද? කිවහැකි එකම කරුණ නම් කුමන මොහොතකදී හෝ අප හැමකෙක් කරාම මරණය නිශ්චිතව එන බව පමණක්මය. වෙනස් විය හැක්කේ දවස සහ වෙලාව පමණකි. එහෙත් සසරේ පතා ආ පරිදි සිය සමීපතයන් සමඟ එකටම අවසන් හුස්ම පොද නිහඬ වාතලය හා මුසුකරන අවස්ථාවන් ද නැතිවා නොවේ. ඒ වගට මනාව දෙස් දෙමින් අනුරාධපුරය, ගල්නෑව, තිස්පනේපුර ගම් මායිමේ වෙල්යාය අද්දර කාපට් ඇතුරෑ මහමඟදී එකම පවුලේ ලේ නෑසියන් සිවුදෙනෙකු සසර ගමන අතරමග අතෑර ගියේ කිසිවෙකු සිහිනෙන් හෝ නොපැතු මොහොතකදීය.

මෙසේ ඉකුත් 04 වැනිදා උදෑසන 06.45 ට පමණ ත‍්‍රීරෝද රථයක් හා කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත‍්‍රීරෝද රථයේ ගමන් කළ සිවුදෙනොම මරණයට පත්වී ලොරියේ රියදුරා හා තවත් අයෙකු තුවාල ලද්දේ ඛේදවාචකයක හඬින් අසල ගම්මැදි හිටිහැටියේ දෙදුරුම් කවමිනි.

එදින ජාතික නිදහස් දිනය මෙන්ම ඉරිදා දිනයක් වූ හෙයින් බොහෝ දෙනෙකු සිටියේ නිවෙස් තුළය. ගල්නෑවල සුදර්ශනගම පදිංචි 82 හැවිරිදි එම්.ජී. සයිමන් මහතා සහ ඔවුන්ගේ බාල පුත‍්‍රයා වන එම්.ජී. ගුණරත්න මුණුපුරා එම්.ජී. අදීශ ලක්නුවන් ගුණරත්න සහ  බෑණනුවන් වන සංජීව චන්දන දිසානායක සමඟ උදෑසන හයට පමණ බෑණාගේ ත‍්‍රීරෝද රථයෙන් නිවසින් බැහැර වී ඇත්තේ දානමය කටයුත්තකට දායක වීමේ අරමුණ ඇතිවය.

දරුවන් 09 කට තාත්තා වූ පාරම්පරික වෙදමහතෙකු ලෙසත් දානෙට, පිරිතට, මරණෙට, මඟුලට පිහිට වූ අයකු ලෙසත් ගමේ කා අතරත් නමක් දිනා සිට ඇති සයිමන් මහතා පවුලේ ඥාතීන් හා එක්ව අනුරාධපුරය, මිහින්තලය ප‍්‍රදේශයේ පිහිටි කළුදිය පොකුණ තපෝ වන ආරණ්‍යයට දන් දෙනුයේ වසර පහක පමණ කාලයක සිටය. ඉකුත් 03 වැනි දින සවස පවුලේ ඥාතීන් 15 කු පමණ කළුදිය පොකුණ ආරණ්‍යයට ගොස් ඇත්තේ පසුදින පැවැත්වෙන දානමය කටයුත්ත පිළියෙල කිරීම සඳහාය. ඉකුත් හැමවරකදීම පාහේ පෙර දිනයේ ඥාතීන් සමග ගොස් දානයේ කටයුතු පිළියෙල කරන සයිමන් මහතාගේ ගමන මෙවර පසුදිනට කල් තබා ඇත්තේ දෛවය විසින්මය. සයිමන් වෙද මහතාගේ බිරිඳ වන ජී.පී.ජී.ප්‍රේ මාවති මහත්මිය මහත් සංවේගයෙන් යුතුව පැවසුයේ මෙවැන්නකි.

අපි දැන් අවුරුදු 05 ක් විතර තිස්සේ ඉඳන් හැම මාස තුනකට සැරයක්ම පවුලේ කට්ටිය එකතු වෙලා කළුදිය පොකුණ පන්සලට දානේ දෙනවා. එයා නැති දවසක වුණත් දානේ දෙන එක නවත්තන්ඩ එපා කියලා නිතරම මට කිව්වා. එදා අපි කට්ටිය කලින් දවසේ ගියා. එයාට ටිකක් සෙම අමාරුව තිබ්බ හින්දා පහුවදා එන්නම් කියලා නැවතුණා. අනේ ඒ නැවතුනේ මේ ටික වෙන්ඩ තමයි.” 

මේ ඉරණම් ගමනට සයිමන් වෙද මහතා සමඟ පිටත්ව ගොස් ඇති 38 හැවිරිදි පුත‍්‍රයාත්, අට හැවිරිදි මුණුබුරාත් සුදර්ශනගම මහ ගෙදර එකට ජීවත් ඇති අතර, 36 හැවිරිදි බෑණා මකුලෑව, බොරළුකන්ද ප‍්‍රදේශයේ පදිංචිව සිට ඇත. සිවුදෙනා මහ ගෙදරින් පිටත්ව ගල්නෑව-තඹුත්තේගම ප‍්‍රධාන මාර්ගයේ කිලෝමීටර් හතරක් පමණ දුර ගෙවා තිස්පනේපුර හන්දිය තෙක් පැමිණ ඇත්තේ මාරයා එහි සැඟව සිටින බව කිසිත් නොදැනය. ත‍්‍රීරෝද රථය පදවා ඇති සංජීව චන්දන දිසානායක බුලත්විට කෑමෙහි මහා රුසියෙකි. එයම අවසන විපතට හේතුවී ඇති බව පැවසුයේ සංජීවගේ ඥාතී සහෝදරයකු වන ජයන්ත කුමාර මහතාය. ඔහු කීයේ මෙවැන්නකි.

තිස්පනේපුර හන්දියේ තියෙන කඩේකින් වීල් එකට පැට්‍රල් බෝතලේකුත් ගහගෙන එක මීටර් සියයක් යන්ඩ හම්බවෙලා නෑ. මල්ලිගේ කටේ බුලත් විටක් තිබිලා තියෙනවා. මෙයා නිතරම බුලත් විට කනවා. කොහොම හරි යන වේගෙන්ම වීල් එකෙන් එළියට ඔළුව දාලා බුලත් කෙළ ගහන්ඩ යන්ඩ ඇති. කාපට් පාරෙනේ මෙතැන. අනිත් එක කන්ද පාමුල පල්ලම. වීල් එක පාලනය කරගන්ඩ බැරිව ගිහින් අනිත් පැත්තට කැපිලා ලොරියේ වදින්ඩ ඇති. කොයිදේ වෙන්ඩත් වැඩි වෙලාවක් යන්නෑ. තව පොඩ්ඩක් කල්පනා කෙරුව නම් මෙහෙම දෙයක් වෙන්නෑ.” 

අනතුර සිදුවූ අවස්ථාවේ බරපතළ තුවාල ලබා සිටි සයිමන් වෙදමහතා එම ස්ථානයේදීත්, ත‍්‍රීරෝද රථය පදවා ඇති සංජීව තඹුත්තේගම රෝහලට රැගෙන යන අතරතුරදීත්, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ගුණරත්න සහ ඔහුගේ පුංචි පුත‍්‍රයා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන එනු ලැබීමෙන් පසුවත් මරණයට පත්වී ඇත. අනතුරින් මියගිය සංජීව චන්දන දිසානායක තිදරු පියකු වූ අතර, මියගිය එම්.ජී. ගුණරත්න දෙදරු පියෙකි. ඔහුගේ බිරිඳ අනෝමා රංජනී තුන් හැවිරිදි දරු සිඟිත්තා ළමැදට තුරුලු කොටගෙන හැඬූ කඳුළින් පැවසූයේ ත‍්‍රීරෝද රථයේ ඉඩ ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් තම ගමන නැවතුණු බවය. 

පිළිකාවකින් පීඩා විඳින තම මවගේ රුධිර පරීක්ෂාවක් සිදුකොටගෙන මකුලෑවේ නිවස බලා රැගෙන යමින් සිටි තිදෙනෙක් අනතුරට ලක්වූ ලොරියේ ගමන් කර තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අනතුරින් එම කාන්තාවට හා තවත් පුද්ගලයකුට තුවාල සිදුවී නැති බව පොලිසිය කීය. තුවාල ලැබූ රියදුරා ප‍්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත. අනතුරට ලක්වු ත‍්‍රී රෝද රථයේ සහ ලොරි රථයේ ගමන් ගත් දෙපිරිස එකිනෙකා හඳුනන එකම ගමේ වෙසෙන්නන් වීම මගින් ද පසක් කරනුයේ ජීවිතයේ සැබෑ ස්වභාවයයි.

අනතුරකට ලක්වුවන් රෝහල්ගත කිරීමට පැයකට වැඩි කාලයක් ගතවීමද ඔවුන්ගේ මරණය කඩිනම් වීමට හේතුවන්නට ඇති බව ඥාතීහු පැවසූහ. සයිමන් වෙද මහතාගේ වැඩිමහල් දියණියගේ සැමියා වන වී. කරුණාදාස මහතා පැවසූයේ අනතුර සිදුවී පැයක පමණ කාලයක් තුවාලකරුවන් මහමඟ රැඳී සිට ඇති බවය. කවර හෝ කාරුණික හදවතත් ඇති අයකු තවත් මිනිත්තු කිහිපයකට මත්තෙන් ඒ මඟ ගියේ නම් ජීවිත එකක් දෙකක් හෝ බේරාගත හැකිව තිබූ බව ඔහු කීය. එහෙත් ඥාතීන්ද ගමෙන් බැහැර කළ මාරයා ඒ හැම වළකා තිබිණි. 

තඹුත්තේගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මොහොමඩ් නියාස් මහතාගේ මෙහෙයවීමෙන් මෙම අනතුර ගැන පරීක්ෂණ සිදුකෙරේ.

► සටහන හා ‍සේයාරූ - 
     තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග